28 February, 2017

9 පන්තියට යන්න කළින් මම ලොකු ළමයෙක් වුණා - මාස දෙකක්ම හිටියේ මිනී පෙට්ටියෙ

semini-iddamalgoda-28-02-2017

‘‘9 පන්තියට යන්න කළින් මම ලොකු ළමයෙක් වුණා.’’

අලූත් අච්චු පොත් හම්බවුණ ගමන්ම අපි පෙරලූවේ විද්‍යාව පොතේ අගටම තිබුණ ප‍්‍රජනන පාඩම. ‘‘දැන් මට අවුරුදු 38ක් තවමත් ඒ පාඩම මට උගන්නලා නැහැ’’

මෙය සත්‍යයක්, එහෙත් මේ සත්‍ය කෙදිනකවත් එළිපත්තට නොඑන වග විශ්වාසයි. 28 ඊට හොඳම හෘද සාක්ෂියයි. ප‍්‍රතිභාපූර්ණ සිනමාවේදියකු වන ප‍්‍රසන්න ජයකොඩි නම් සිනමාවේදියාගේ නවතම සිනමා නිර්මණය ‘‘28’’ තවත් නොබෝ දිනයකින් තිරගත වීමට නියමිතයි. වර්තමානයේ බිහිවන බහුතර චිත‍්‍රපටවලින් හුදු විනෝදය සපයන අතර ප‍්‍රසන්න ජයකොඩිගේ ‘‘28 සිනමා නිර්මාණය’’ තැබිය හැක්කේ අපේ කාලයේ වින්දන පරාසය තුළ බිහිවූ අග‍්‍ර ගණයේ නිර්මාණයක් ලෙසය.

මාධ්‍ය සිරස්තලවල ලියවෙන අපරාධ, ස්ත‍්‍රී දුෂණ වැනි සිද්ධිදාමයන් තුළ 28 සිනමා නිර්මාණය දිග හැරෙන්නේද දූෂණය කොට මරා දැමූ ‘සුද්දී’ නම් ගැමි යුවතියකගෙනි. සුද්දී නම් කවුරුන්ද?

ඇය නම් අපේ කාලයේ ගැහැණියයි. මේ ප‍්‍රවීණ රංගන ශිල්පිනී සේමිණී ඉද්දමල්ගොඩ. තවත් නොබෝ දිනකින් සිනමා ශාලාවට එන ‘‘28’’ සිනමා නිර්මාණයේ සුද්දිගේ චරිතය නිරූපණය කරන ඇයව අපි කතාබහට එකතු කරගත්තා.

ඉතින් කොහොමද මොනවද මේ දවස්වල අලූත්ම වැඩ

වැඩ නම් කිහිපයකටම අතගහලා තියෙන්නේ. බෙනට් රත්නායකගේ ෆිල්ම් එකකට සම්බන්ධ වෙලා ඉන්නවා. ඊට අමතරව ‘‘කතා කරන හීන’’ ළමා චිත‍්‍රපටයක වැඩ ආරම්භ වුණා. ටෙලි නාට්‍ය පැත්තෙන් අවුරුදු පහකට පස්සේ ටෙලි නාට්‍ය දෙකකට සම්බන්ධ වුණා. ඇත්තටම දැන් හොඳ ටෙලි නාට්‍ය බිහි වෙනවා අඩුයි.

ඔබ වැඩිපුරම පේ‍්‍රක්‍ෂකයා අතර ජනප‍්‍රිය වුණා යර්ස් බොස් හරහා. නැවත කොමඩිවල රඟපාන්නේ නැද්ද?

නැවතත් කොමඩි ටෙලි නාට්‍යටකට සම්බන්ධ වෙන්න ආසයි. ඒත් ‘‘යර්ස් බොස්’’ නාට්‍යයේ විජය නන්දසිරි මහත්මයා සමඟ කළ රංඟනය මගේ ජීවිතේ හැමදාම අමරණීයයි.

එහෙනම් අපි හැරෙමු ‘‘28’’ සිනමා නිර්මාණයේ ‘‘සුද්දිගේ’’ චරිතය පැත්තට. තියෙනවා කතා කරන්න ගොඩක් දේවල් මේ සිනමා නිර්මාණයේ ඔබ නිරූපණය කරන සුද්දිගේ චරිතය ගැන කතා කරොත්?

28 කියන්නේ කාන්තාවට විශේෂ සහ සෑම කාන්තාවක්ම නැරඹිය යුතු චිත‍්‍රපටියක්. අපේ සමාජයේ සංස්කෘතියත් එක්ක හැඟීම් හිරකරගෙන ඉඳලා ඒවා පිටකරන අවස්ථාවන්වලදී සිද්ධ වෙන සිදුවීම් සමුදායක් තමයි 28 හරහා ඔබට ගෙන එන්නේ. සුද්දි කියන්නේ කතාකරන මෘත ශරීරයක්.

සුද්දි මේ සමාජයේ පීඩාවට පත්වෙලා කුරිරු සමාජයෙන් හෙම්බත් වුණ ගැහැණියක්. ජීවත් වෙලා හිටපු සුද්දිට වඩා දූෂණය කරලා මරලා දාපු සුද්දී සමාජයට ඇත්ත කතා කරනවා. 28 හරහා සුද්දී සමාජයට කියන්න හදනදේ මොකක්ද?

සුද්දි කියන්න හදන්නෙත් මේ සමාජයේ එක්තරා පැතිකඩක් ගැන. කාන්තා හිංසනය ස්ත‍්‍රී දූෂණය කියන සමාජයේ හැංගුණ ලිංගිකත්ව ආශාව ඇතුළේ තෙරපෙන තිරිසන්කම නිසා සමාජයේ අපට නිතරම ඇහෙන කතා අපගේ සුද්දිගේ ඉරණමත් ඒ වාගේම අවනඩුවක්

ඒ කියන්නේ චිත‍්‍රපටය ඇතුළේ වැඩිපුර කතා කෙරෙන්නේ ලිංගිකත්වය ගැනද?

මේ කතාවේ කොහේවත් ලිංගිකත්වය ගැන කතා කරන්නේ නැහැ. සුද්දි වසර පහළවක් ස්වාමියාගෙන් වෙන් වෙලා ඉදපු කාන්තාවක්.

‘‘මගේ මනුස්සයා මට හම්බ වුණේ හම්බවෙන්න ඕනම නැති තැනකදී එයා මාව කසාද බඳින්නම් කිව්වා.

ඒත්..’’

සැමියාගෙන් වෙන් වෙලා සුද්දි කොළඹ රස්සාවක් සොයාගෙන යනවා. එහිදී ඇය දූෂණයට ලක්වෙලා ඝාතනයට ලක්වෙනවා.

සුද්දි මිය ගියාට පස්සේ සැමියා එයාගේ මිනිය ගමට ගේන අතරතුරේදී සිද්ධීන් සමුදායක් සිද්ධ වෙනවා. සුද්දි මියගියත් ඇය සත්‍ය සමාජයට කියනවා. ඇත්තටම මේ කතාව තේරුම් ගන්න ඕන නරඹලාම තමයි. කතාව කිව්වට තේරුම් ගන්න අමාරුයි.



මේ මැරුණු චරිතයක් කරපු පළමු වතාවද?

නැහැ. ටෙලි නාට්‍යවල මියගිය චරිත නිරූපණය කරලා තියෙනවා. ඒත් ඒ හැම චරිතයකටම වඩා සුද්දිගේ චරිතය වෙනස්. සුද්දි කියන චරිතයෙන් වෙන්නේ මරණය තුළ ඉඳගෙන පේ‍්‍රක්‍ෂකයා ආමන්ත‍්‍රණය කිරීමක්.

ඒ කියන්නේ ඔබේ චරිතය අභියෝගාත්මකයි?

මේ රංගනය අභියෝගාත්මකයි කියනවට වඩා බොහොම අමාරු රංගනයක් කිව්වොත් නිවැරදියි. දුවලා පැනලා කරන රංගනයත් ලේසියෙන් කරන්න පුළුවන් වුණාට මළ මිනියක් ඇතුළේ ඉන්න චරිතයක් රඟපාන එක ලේසි නැහැ.

චිත‍්‍රපයට පුරාවටම ඉන්නේ චරිත හතරයි. මහේන්ද්‍ර පෙරේරා, රුක්මල් නිරෝෂ්, සරත් කොතලාවල සහ මම. අපි එකිනෙකට නොදෙවෙනි රංගනයක් මෙහි කෙරෙනවා.

මෙහි අනෙක් චරිත එක්ක මට එකට රඟපාන්න ලැබුණ අවස්ථාවන් ගොඩක් අඩුයි. ඇත්තටම ප‍්‍රසන්න අයියගේ දක්‍ෂතාව නොවන්නට මට මේ තරම් සාර්ථකව ඒ චරිතය නිරූපණය කරන්න ලැබෙන එකක් නැහැ කියලා විශ්වාස කරනවා.

පිට නැති ඇඳුම ඇඳගෙන මිනී පෙට්ටියක් ඇතුලේ ඉන්නවා කියන එක මුලදී පොඩි ගැස්මක් ඇති වුවත් චරිතය හිතට ඇතුල් වුණාම පස්සේ නුහුරු බව එච්චරම දැනුනේ නැහැ. පිට නැති ඇඳුම ඇඳගෙන මාස දෙකක්ම මට ඉන්න වුණෙ මිනී පෙට්ටියේ. මිනී පෙට්ටියේ ඉඳපු මාස දෙකට මට ජීවත් වෙන්න තවත් ආස හිතුණා.

මුලින්ම ඔබ පේ‍්‍රක්‍ෂකයාට මුණ ගැහෙන්නේ මෘත ශරීරාගාරයේදී ලාච්චුවෙන් ලාච්චුවට ඇරලා පෙන්වන මෘත ශරීරවලින් මොකද්ද පේ‍්‍රක්‍ෂකයාට කියන්න හදන්නේ.

කාන්තාවට තියෙන අනාරක්ෂිත බව ලිංගික හිංසනයේ අදෝනාව දිනෙන් දින ඉහළ යන මේ ඛේදවාචකය පෙන්වන්න තමයි දූෂණය වෙලා මැරුණු තරුණියන්ගේ ශරීර පෙන්වන්නේ. රාගයෙන් පිපාසිත වෙලා ඉන්න තිරිසන් මිනිස්සුන්ගේ තිරිසන් වැඩ පේන්න බැරි නිසයි, ඒ විදියට තමයි මේ රටේ ඛේදවාචකය සුද්දී පේ‍්‍රක්ෂකයාට කියන්න උත්සහ කරන්නේ.

‘‘අවුරුදු පහළොවකට පස්සේ තමයි අබසිරි මගේ හෙළුව දකින්නේ. ඒ මම මැරුණට පස්සේ. මෘත ශරීරාගාරයේ දී ඔහු මට කළ දේවල් දන්නේ මම විතරයි.

අපේ රටේ තමන් ගැන ඇත්ත කියන්න පණ තියෙන මනුස්සයෙකුටනම් බැහැ. මම ඇත්තමයි කියන්නේ. සුද්දි කියන්නේ දූෂණය කොට මරා දැමුණු ගැහැණියකගේ ජීවිතය විවරණය කරගැනීමට කරන උත්සහයක්. 28 සිනමා කෘතියෙන් ඔබට මේ කෘතාංගය විඳිය හැකියි.

-නදීශා අතුකෝරළ-saaravita

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "9 පන්තියට යන්න කළින් මම ලොකු ළමයෙක් වුණා - මාස දෙකක්ම හිටියේ මිනී පෙට්ටියෙ"

    Post a Comment