28 February, 2017

විවාහයෙන් පස්සේ නම් මම රඟපෑම් කටයුතුවලින් ඉවත් වෙනවා

shalini-tharaka-28-02-2017

හිරු රූපවාහිනි නාළිකාවේ විකාශය වන "වස්සාන ප්‍රේමය" දිගු ටෙලි නාට්‍යයේ "අස්තා" ලෙස චරිත මැවූ ශලිනි තාරකා මේ දිනවල අලුත්ම ටෙලි නාට්‍යයක් තුළින් ඔබ හමුවට පැමිණෙයි. ඒ, ලිලන්ත කුමරිසිරි අධ්‍යක්ෂණය කරන "මුතුමලි" ටෙලි නාට්‍යය තුළිනි. සිය අලුත්ම ටෙලි නාට්‍යය හා ඉදිරි කලා කටයුතු පිළිබඳව පැවසීමට ඇය "තරුණයා" සමග මෙලෙස එක්වූවාය.

ශලනි ගොඩක් කාර්ය බහුලයි වගේ?

භාරගත්තු නිර්මාණ කිහිපයකම වැඩ කරනවා. ඒ හින්දා ටිකක් විතර කාර්ය බහුලයි. දැනට නිර්මාණ හතක විතර වැඩ භාරගෙන තියෙනවා. තවත් නිර්මාණ තුනක වැඩ ලබන මාසේ පටන් ගන්නවා.

ඔබ රංගනයෙන් දායක වෙන අලුත් ටෙලි නාට්‍යයක් මේ දිනවල විකාශය වෙනවා?

ඔව්, ලිලන්ත කුමාරසිරි මහත්මයාගේ "මුතුමලි" ටෙලි නාට්‍යය. එහි මා "මුතූ වනිගසූරිය" විදිහට ප්‍රධාන චරිත නිරූපණය කරනවා. %මුතූ^ කියන්නේ මට ලැබුණ චරිත අතරින් තරමක් වෙනස් එකක්. ස්වාධීන රූපවාහිනි නාළිකාවේ බදාදා හැර අනෙකුත් දිනයන්හි රාත්‍රී 7.30ට මෙම ටෙලි නාට්‍යය විකාශය වෙනවා.

"වස්සාන ප්‍රේමය" ටෙලි නාට්‍යයේ "අස්තා" කියන චරිතයට කොහොමද ලැබෙන ප්‍රතිචාර?

ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. අවුරුදු එකහාමරක් තිස්සේ මේ ටෙලි නාට්‍යය විකාශය වෙනවා. තවත් නොබෝ දිනකින් එය විකාශය අවසන් වෙන්න නියමිත වෙලා තියෙනවා. පසුගිය කාලයේ රසිකයන් අතර මම වඩාත් ජනප්‍රිය වුණේ මේ චරිතය හරහා කිව්වොත් නිවැරැදියි.

චිත්‍රපට කිහිපයකටම ඔබ දායක වුණත්, ඒවා ප්‍රදර්ශනය වුණේ නැහැ?

ඔව්, මගේ චිත්‍රපට 3ක් විකාශය වෙන්න නියමිත වෙලා තියෙනවා. බොහෝ විට මේ වසරේදී එම චිත්‍රපට විකාශය වෙයි කියලා හිතනවා. මම හිතන විදිහට බෙනට් රත්නායක මහත්මයාගේ 'නීලා' චිත්‍රපටය නුදුරේම ප්‍රදර්ශනය වෙයි. එහි මා උදාර රත්නායක සමග ප්‍රධාන චරිත නිරූපණය කරනවා.

ශලනි ටිකක් ඉක්මන් ගමනක් යනවා වගේ අපි දකිනවා?

"වස්සාන ප්‍රේමය" නාට්‍යය හරහා නිතරම රූපවාහිනිය තුළ දකින නිසා සමහරක් අයට එහෙම හිතෙනවා ඇති. මම ක්ෂේත්‍රයට ඇවිල්ලා අවුරුදු 9ක් විතර වෙනවා. නමුත්, මේ ගෙවුණු කාලය තුළ මම ආවේ බොහෝම හෙමින් ගමනක්. මගේ නිර්මාණ ගත්තොත් බොහෝම අඩු මට්ටමක තමයි තියෙන්නේ. මම කොහොමත් ඉක්මන් ගමනකට කැමති කෙනෙක් නෙවෙයි.

මේ ගෙවුණු කාලය තුළ ආපසු හැරිලා බැලුවොත්?

ගොඩක් සතුටු වෙනවා. 'සිරස කුමරිය' වෙලා හීනෙකින්වත් නොසිතුපු ක්ෂේත්‍රයකට සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබුණා. ඒ හරහා අවුරුදු 9ක් ගෙවලා අද මම රසික, රසිකාවියන්ගේ ආදරණීය චරිතයක් බවට පත්වෙල තියෙනවා. ඒ වගේම මගේ රඟපෑම් ඇගැයීමට ලක්වෙලා සම්මාන පවා ලැබිලා තියෙනවා. එකම සම්මාන උලෙළකදී මට වසරේ ජනප්‍රියතම නිළිය වගේම වසරේ හොඳම නැගී එන නිළිය යන සම්මාන දෙකම ලැබුණා. ඉතින් නිළියක් විදිහට මම ගත කරපු කාලය ගැන ගොඩක් සතුටුයි.

වර්තමානයේ ජනප්‍රිය තරු බොහෝමයක් රියලිටි තරගවලට සම්බන්ධ වෙලා වැඩ කරනවා. ඒ අතර ශලනි නැහැ. ඒ ඇයි?

දැනට තියෙන රියලැටි තරග දෙක සඳහාම මට ආරාධනා ලැබුණා. නමුත්, ඒ ආරාධනා දෙකම මම බොහෝම නිතහමානීව ප්‍රතික්ෂේප කළා. මොකද, මගේ අදහසක් නැහැ රියලිටි තරගවලට සම්බන්ධ වෙන්න. මම මීට අවුරුදු කිහිපයකට පෙර එක් රියලිටි තරගයකට සම්බන්ධ වුණා. එතැනින් පස්සේ මට ඒ අත්දැකීම ඇති කියලා හිතුණා. ඒ හින්දා තමයි මේ ලැබුණු ආරාධනා පවා මම ප්‍රතික්ෂේප කළේ.

පසුගිය කාලයේ ඔබ රංගනයෙන් සමුගන්නවා කියලා කතාවක් ආවා?

එහෙම නම් මම සඳහනක් කරලා තිබුණෙ නැහැ. විවාහයෙන් පස්සේ නම් මම රඟපෑම් කටයුතුවලින් ඉවත් වෙනවා කියලා නම් කිව්වා. මගේ විවාහය සිදුවුණ දවසක එහෙම වෙයි. අනික දැන්ම මට විවාහ වෙන්න අදහසක් නැහැ. විවාහ වුණත් ඒක සිද්ධ වෙන්නේ හැමෝටම කියලා.

-saaravita

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "විවාහයෙන් පස්සේ නම් මම රඟපෑම් කටයුතුවලින් ඉවත් වෙනවා"

    Post a Comment