28 February, 2017

සමයං මැරුවේ අංගොඩ ලොක්කාද..ගත්තේ ලඩියා, බාල්දි ප්‍රියන්තට වෙඩි තැබූ පළියද? වසර ගණනක පතාල ගැටුමක් ගැන තොරතුරු හෙළිවෙයි

කළුතර බන්ධනාගාරයේ සිට කඩුවෙල අධිකරණය බලා ධාවනය වෙමින් තිබූ බන්ධනාගාර බස්‌ රථයකට උතුරු කළුතර මල්වත්ත හන්දියේදී රැක සිට එල්ල කළ ප්‍රහාරයෙන් පාතාල කල්ලි නායකයකු වන “සමයං” ඇතුළු හත්දෙනකු ඊයේ ජීවිතක්ෂයට පත්විය.

මෙම ප්‍රහාරයෙන් බන්ධනාගාර නිලධාරීන් තිදෙනෙකුද බරපතල තුවාල ලබා තිබේ.

ඊයේ (27 වැනිදා) උදැසන 8.30 ට පමණ එල්ල වූ මෙම ප්‍රහාරයෙන් ඝාතනයට ලක්‌වූවන් අතර බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකුද සිටින බව පොලිසිය පවසයි.

අංගොඩ ලොක්‌කා නමැති පාතාල කල්ලි නායකයා විසින් මෙහෙයවන පාතාල කණ්‌ඩායම මෙම ඝාතනය කරන්නට ඇති බවට පොලිසිය සැකපහළ කරයි.

අතුරුගිරිය අරංගල ප්‍රදේශයේදී 2016 වසරේ සිදුවූ වෙඩි තැබීමකට අදාළ නඩුවට පෙනී සිටීම සඳහා සමයා සහ ඔහුගේ ගෝල බාලයන් සිව්දෙනකු කඩුවෙල අධිකරණය වෙත රැගෙන යමින් සිටියදී මෙම ප්‍රහාරය එල්ල විය.

අතුරුගිරිය අරංගල ප්‍රදේශයේදී මෙම ප්‍රහාරය එල්ලවී තිබුණේ අංගොඩ ලොක්‌කා නමැති පාතාල නායකයාගේ ගෝලබාලයන් පිරිසකටය. එහිදී අංගොඩ ලොක්‌කාගේ ගෝලයන් වන ලඩියා, බාල්දි ප්‍රියන්ත ඇතුළු සිව්දෙනකු තුවාල ලැබූ අතර එම වෙඩි තැබීම සම්බන්ධයෙන් සමයා ඇතුළු පාතාල සාමාජිකයන් පස්‌දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබිණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වූ නඩුවට ඉදිරිපත් කිරීම සඳහා සමයා ඇතුළු පාතාල පිරිස රැගත් බන්ධනාගාර බස්‌ රථය කළුතර බන්ධනාගාරයෙන් පිටත් වී ඇත්තේ ඊයේ පෙරවරු 8.20 ට පමණය.

සමයා නැමැති පාතාල අපරාධකරුගේ ආරක්‍ෂාව සඳහා තවත් බන්ධනාගාර බස්‌ රථයක්‌ ධාවනයවී ඇති අතර එහිද සන්නද්ධ බන්ධනාගාර නිලධාරීන් පිරිසක්‌ ගමන් කරමින් සිට ඇත.

බන්ධනාගාර බස්‌ රථ දෙක කළුතර බන්ධනාගාරයෙන් පිටත්වී මීටර් 200 ක පමණ දුරක්‌ මල්වත්ත හන්දිය දෙසට ධාවනය වෙද්දී ඉදිරිපසින් ඩබල් කැබ් රථයක්‌ සහ වෑන් රථයක්‌ ඉතාම සෙමින් ධාවනය කරමින් බන්ධනාගාර බස්‌ රථයට මග අහුරා ඇත.

බන්ධනාගාර බස්‌රථ දෙක ධාවනය වූ මාර්ගය ඉතාම පටු එකක්‌ වන අතර අවට ප්‍රදේශය ද කුඩා කඳුවැටිවලින් සමන්විත විය.

බන්ධනාගාර බස්‌රථ දෙක එම මාර්ගයේ ඉතාම සෙමින් ධාවනය වෙද්දී මාර්ගය අසල කඳු සහිත ප්‍රදේශයේ සිට එක්‌වරම වෙඩි ප්‍රහාර එල්ලවන්නට පටන්ගෙන ඇත.

ප්‍රහාර එල්ල කළ පුද්ගලයන් පොලිස්‌ නිල ඇඳුමට සමාන ඇඳුම් ඇඳ සිටි නිසා බන්ධනාගාර නිලධාරීහු කලබලයට පත් වූහ. පොලිස්‌ නිලධාරීන්ට වැරදීමකින් බස්‌ රථ වෙත ප්‍රහාර එල්ල කරනවා දැයි කියමින් විඡේරත්න නමැති බන්ධනාගාර නිලධාරියා බස්‌ රථයෙන් බැස ඇති අතර ඔහු පාතාල සාමාජිකයන් එල්ල කළ වෙඩි ප්‍රහාරයට ලක්‌විය.

හතර අතට වෙඩි තබමින් පාතාල අපරාධකරුවන් සිටි බන්ධනාගාර බස්‌ රථයට ඇතුළු වූ සන්නද්ධ පිරිස එහි සිරමැදිරියේ සිටි සමයා ඇතුළු පාතාල සාමාජිකයන් පස්‌දෙනාට වෙඩි ප්‍රහාර එල්ල කර ඇත.

බස්‌ රථයේ සිටි සන්නද්ධ බන්ධනාගාර නිලධාරීන් තිදෙනාට ද වෙඩි තැබූ පාතාල සාමාජිකයන් පසුව සමයා නමැති පාතාල නායකයා බිම දිගේ ඇදගෙන ගොස්‌ බස්‌ රථයේ දොරටුව අසලදී ඔහුගේ හිසට වෙඩි ප්‍රහාර කීපයක්‌ එල්ල කර මරා දමා පලා ගොස්‌ ඇත.

මෙම ප්‍රහාරය එල්ල වන අවස්‌ථාවේ පිටුපස බස්‌ රථයේ සිටි බන්ධනාගාර නිලධාරීන් ද පාතාල සාමාජිකයන්ට වෙඩි තබා ඇත. එහෙත් පාතාල කල්ලිය එම බස්‌රථයට ද ප්‍රහාර එල්ල කරමින් මුළු ප්‍රදේශයම භීතියට පත් කර ඔවුන් පැමිණි වෑන් රථයේම නැගී පලා ගොස්‌ තිබේ.

පාතාල කල්ලිය පලාගිය පසු බරපතළ තුවාල ලබා සිටි බන්ධනාගාර නිලධාරීන් සිවුදෙනකු කළුතර නාගොඩ රෝහල වෙත රැගෙන යැමට බන්ධනාගාර නිලධාරීන් විසින් කටයුතු කර තිබේ.

එක්‌ බන්ධනාගාර නිලධාරියකු මියගොස්‌ ඇත්තේ රෝහල්ගත කිරීමෙන් පසුවය. ප්‍රහාරයට ලක්‌වූ සමයා සහ ඔහුගේ කල්ලියේ සිවුදෙනා සහ බන්ධනාගාර නිලධාරියකු සිද්ධිය වූ ස්‌ථානයේම මියගොස්‌ ඇත.

මෙම සිද්ධියෙන් පසු පොලිසිය සහ බන්ධනාගාර නිලධාරීන් ප්‍රදේශය පුරා සෝදිසි මෙහෙයුමක්‌ ක්‍රියාත්මක කළ අතර සැකකරුවන් කිසිවකු අත්අඩංගුවට ගැනීමට හැකි වී නැත.

පාතාල කල්ලිය බන්ධනාගාර බස්‌ රථයට වෙඩි ප්‍රහාර 60 කට වැඩි ප්‍රමාණයක්‌ එල්ල කර තිබිණි.

සමයං නමැති පාතාල නායකයාගේ කල්ලිය සහ අංගොඩ ලොක්‌කාගේ කල්ලිය අතර කාලයක සිට ගැටුම් ඇති වී තිබිණි.

පසුගිය මාස කීපයේදී සමයාගේ පාතාල කල්ලිය විසින් අංගොඩ ලොක්‌කාගේ කල්ලියේ තිදෙනකු වෙඩි තබා ඝාතනය කර තිබිණි.

සමයං අංගොඩ ලොක්‌කා ඝාතනය කිරීමට ද සැලසුමක්‌ සකස්‌ කරගෙන සිටි අතර ඊට පෙර අංගොඩ ලොක්‌කා ක්‍රියාත්මක වී මෙම ප්‍රහාරය එල්ල කරන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

ඉකුත් 2015 වර්ෂයේ සැප්තැම්බර් මස 23 වැනිදා නඩුවකට පෙනී සිටීම සඳහා සමයා කඩුවෙල අධිකරණයට රැගෙන එද්දී අධිකරණ ශාලාවේ සිටි අපරාධකරුවෙක්‌ සමයාට වෙඩි තබා පලා ගියේය.

එහිදී බරපතළ තුවාල ලැබුවත් සමයා පසුව දිවි ගලවා ගත්තේය. එම ප්‍රහාරය එල්ල කරනු ලැබුවේ ද අංගොඩ ලොක්‌කා විසින් ලබාදුන් කොන්ත්‍රාත්තුවක්‌ මත බව පසුව හෙළි විය.

සමයං නමැත්තා ඝාතනයට ලක්‌වූ පුවත සැලවීමෙන් පසු කඩුවෙල, රණාල, නවගමුව ප්‍රදේශවල ජනතාව රතිඤ්ඥා පත්තු කරමින් සිය ප්‍රීතිය ප්‍රකාශ කරනු දක්‌නට ලැබිණි.

සමයං කඩුවෙල ප්‍රදේශයේ ජනතාවගෙන් කප්පම් එකතු කිරීම මහා පරිමාණ හෙරොයින් ජාවාරම් සහ මුදල් කොන්ත්‍රාත් මත මිනිස්‌ ඝාතන සිදු කිරීම නිසා ප්‍රදේශයේ ජනතාව මොහුට දැඩි භීතියකින් පසුවූහ.

සමයංගේ මරණය සැලවීමෙන් පසු ප්‍රදේශවාසීන් සතුට ප්‍රකාශ කර ඇත්තේ ඒ නිසාය.

samayan-murder

-nethgossip

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "සමයං මැරුවේ අංගොඩ ලොක්කාද..ගත්තේ ලඩියා, බාල්දි ප්‍රියන්තට වෙඩි තැබූ පළියද? වසර ගණනක පතාල ගැටුමක් ගැන තොරතුරු හෙළිවෙයි"

    Post a Comment