04 February, 2017

දිගු ගමනක් ඇති දික්වැල්ලගෙන් ඩිල්ස්කූප් පහරට සංශෝධනයක්

niroshan-dickwella-article

ඕනෑම ක්‍රීඩකයකු ඕනෑම තරග රටාවක ක්‍රීඩා කරන 6 වැනි ක්‍රිකට් තරගයේදී තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයා යන සම්මාන දෙකම දිනා ගන්නවා නම් ඔහුගේ හැකියාවන්හි දිග පළල පිළිබඳව කාහටත් යම් අවබෝධයක් ලබා ගන්න හැකියාව තිබෙනවා. ඔහු එම දස්කම කළේ පසුගිය ශ්‍රී ලංකා-දකුණු අප්‍රිකා විස්සයි-20 තරගාවලියේදී වීමත් විශේෂත්වයක්. දකුණු අප්‍රිකානු පිලට එරෙහිව 2014 ජුලි මාසයේ ටෙස්ට් වරම් ලබා එම රටටම එරෙහිව මෙකී සුවිශේෂී දස්කම කළ මෙම වමත් පිතිකරුවා නමින් දික්වල්ල පටබැඳිගේ ඩිලන්ත නිරෝෂන් දික්වැල්ලයි. 

ත්‍රිත්ව විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පිවිසි දික්වැල්ල දක්‍ෂ කඩුලු රකින්නකුද වන අතර පෝර්ට් එළිසබත් පිටියේදී පුහුණුවීම් අතර තුර "මව්බිම" ඇසූ පැනයකට පිළිතුරු දෙමින් "සෑම ක්‍රිකට් ක්‍රීඩකයකුගෙම බලාපොරොත්තුව ජාතික කණ්ඩායම නියෝජනය කිරීමයි. මටත් ඒ අවස්ථාව ලැබුණු දවසෙ ගොඩක් ලොකු සතුටක් දැනුනා" යනුවෙන් පැවැසීය.

නිරෝෂන් දික්වැල්ල හා "මව්බිම" අතර පැවැති කතාබහ තවදුරටත් මෙසේ දිග හැරිණි.
2014 ජුලි මාසයේදී ඔබ පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කළෙත් දකුණු අප්‍රිකාවට එරෙහිවයි. නමුත් ඔබ එතැන් සිට ටෙස්ට් තරග 4ක් ක්‍රීඩා කළත් තවත් වසර 2ක් ගතවන තෙක් ටෙස්ට් තරගයක් ක්‍රීඩා කිරීමට අස්ථාව ලැබුණෙ නැහැ.

ඔව් මම ඒ අතර කාලයේ එක් දින තරගත් විස්සයි-20 තරගත් එහෙන් මෙහෙන් ක්‍රීඩා කළත් වසර දෙකක් විතර යන තෙක් ටෙස්ට් තරගයක් ලැබුණෙ නැහැ.
පාසල් යන කාලෙ ආරම්භක පිතිකරුවෙක් විදියට ක්‍රීඩා කළ ඔබට එම ස්ථානය ජාතික කණ්ඩායමට ආවාම ලැබුණෙ නැහැ.

ටෙස්ට් තරග ක්‍රීඩා කරද්දී මම කඩුලු රකින්නෙක් නිසා මැද පෙළ තමයි ක්‍රීඩා කරන්න වෙන්නෙ. කඩුලු රකින්නෙක් නොවුණ නම් සාමාන්‍යයෙන් පන්දු රැකල ආරම්භක පිතිකරුවෙක් වෙන්න ඉඩ තියෙනවා. තේරීම් කමිටුවෙ අදහස අනුව ඒ දෙය වෙනස් කරන්න මම බලාපොරොත්තු වෙනවා.
ටෙස්ට් - එක් දින හා විස්සසි-20 තරග රටාවන් තුනේදීම ආරම්භක පිතිකරුවෙක් විදියට ක්‍රීඩා කරන්නද කැමැති එහෙම නැත්නම් ....?

මගේ කැමැත්ත ඒ හැම අංශයකදීම ආරම්භක පිතිකරුවෙක් හැටියට ක්‍රීඩා කරන්නයි.

පාසල් යන කාලෙ හිතුනද මේ වගේ ජාත්‍යන්තර තරගවලට ක්‍රීඩා කරන්න ලැබේවි කියල ?
බලාපොරොත්තු තිබුණා. ඒත් මම හිතුවෙ නැහැ 2014 අවුරුද්දෙ වගේ ඉක්මනටම මට ටෙස්ට් ක්‍රිකට් තරගයක් ක්‍රීඩා කරන්න ලැබේවි කියල. ඉතිං අවස්ථාව ලැබුණා. ඉන් ප්‍රයෝජනත් ගත්තා. පසුව අවාසනාවන්ත ලෙස එම අවස්ථාව ගිලිහී ගියා. දැන් නැවතත් කණ්ඩායමට ඇවිල්ල ඉන්නවා.
පාසලෙන් පසුව ඔබේ ජාත්‍යන්තරයට පිවිසීම ගැන කතා තළොත්.?

මම පාසල් කණ්ඩායමේ ඉන්න කාලෙදිම අවුරුදු 19දීම ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සමඟ සංචාර දෙකක් ගියා. ඊට පසුව මට අවුරුදු 20දී ජාතික කණ්ඩායම නියෝජනය කරන්න අවස්ථාව ලැබුණා. අවුරුදු 3ක් 4ක් ක්ලබ් ක්‍රිකට් ගහල හොඳට දක්‍ෂතා පෙන්නල ජාතික කණ්ඩායමට එන්න තමයි මගේ බලාපොරොත්තුව තිබුණෙ.
ඔබේ ප්‍රථම ජාත්‍යන්තර තරග සංචාරය කුමක්ද?

ශ්‍රී ලංකා පිලේ 2014 අයර්ලන්ත-එංගලන්ත තරගාවලිය මගේ ප්‍රථම සංචාරය වුණත් ඒකෙදි මට ක්‍රීඩා කරන්න ලැබුණෙ නැහැ. ඒ අවුරුද්දෙම දකුණු අප්‍රිකානු පිලට එරෙහිව තමයි මම ප්‍රථම ටෙස්ට් තරගයට සහභාගි වුණේ.
වැඩිපුර කැමැත්ත පිතිකරුවෙක් ලෙස පමණක් ක්‍රීඩා කරන්නද නැත්නම් කඩුලු රකින්නකු ලෙසත් කණ්ඩායමට එක්වන්නද?

මම වැඩිපුර කැමැති කඩුලු රකින්නෙක් ලෙස ක්‍රීඩා කරන්නයි. මගේ බලාපොරොත්තුව කවදා හෝ ලෝකයේ හොඳම කඩුලු රකින්නෙක් වෙමින් පිතිකරුවෙක් ලෙස ක්‍රීඩා කරන්නයි.

ඔබ අනුගමනය හෝ අනුකරණය කරන කෙනෙක් ක්‍රිකට් ලෝකෙ ඉන්නවද?
ඔව්. කුමාර් සංගක්කාර.

පසුගිය විස්සයි-20 තරගාවලියේදී ඔබට තුන්වැනි තරගයේ වීරයාත් තරගාවලියේ වීරයාත් යන සම්මාන දෙකම ලැබුණා. ඒ පිළිබඳව ඔබේ තක්සේරුව හා ඇතිවුණ හැඟීම මොනවගේද?

එම සම්මාන දෙකම එකම තරගාවලියකදී ලැබෙන්න මම අනිවාර්යයෙන්ම ලොකු සේවයක් කණ්ඩායමට පිතිකරණ අංශයෙන් කරල තියෙනවා. අනෙක දකුණු අප්‍රිකාව වගේ කණ්ඩායමක් එක්ක විස්සයි-20 තරගාවලියක වීරයා වෙන්නත් තරගයේ වීරයා වෙන්නත් දෙකම එක් වර වීම එතරම් පහසු දෙයක් නොවෙයි. ඒ ගැන ලොකු සතුටක් තියෙනව.

විස්සයි-20 කියන්නෙ ඉක්මනින්ම ලකුණු රැස් කළ යුතු ක්‍රීඩාවක්. ඒ අනුව බැලුවාම ඔබේ පිතිකරණයේදී වැඩිපුරම කැමැත්තක් දක්වන පහර කුමක්ද?

ඩිල්ෂාන් අයියා හොයා ගත්ත ඩිල්ස් කූප් පහර වැඩිපුර එල්ල කරන්න මම කැමැතියි. මම ඒක පාසලේදීත් පුරුදු වෙනකොට දවසක් බෝලෙ මගේ ඔළුවෙ වැදුණා. ඒත් මම ඒ පහර දිගටම පුරුදු වුණා. ඩිල්ෂාන් අයිය ඒ පහර හරියට ඔළුව උඩින් ගහන්නෙ. මම ඒක දෙපැත්තටම ගහනව. මගේ නම දාල "ඩික්ස් කූප්" කියල දැන් කට්ටිය ඒකට අලුත් නමක් දාල තියනවා. මම හරියටම දන්නෙ නැහැ ඒකට කියන නම මොකක්ද කියලා.
පවුලේ විස්තර ටිකක් කීවොත්..

අපේ පවුලෙ අම්මයි තාත්තයි නංගියි ඉන්නෙ. තාත්තා ඩී.පී.විරංජන, අම්මා සුනේත්‍රා දික්වැල්ල, නංගි සොනාලි දික්වැල්ල. තාත්තා ව්‍යාපාරිකයෙක්. නංගි මාලඹේ සිලිට් ආයතනයේ ඉගෙන ගන්නවා. අපි මහනුවර ජීවත් වෙන්නෙ.

මෙම ක්‍රිකට් ක්‍රීඩාවට ඔබ ගෙන ආවෙ කවුද?

තාත්තායි අම්මයි තමයි මාව ක්‍රීඩාවට යොමු කළේ. මම පොඩි කාලෙ ගෙදරදි ක්‍රිකට් ක්‍රීඩාව කරනව දැකල බර්නාඩ් පෙරේරා සහ හැරල්ඩ් රණසිංහ සර්ල කරපු මහනුවර ක්‍රිකට් ඇකඩමියට මාව දැම්මා. ඊට පස්සෙ ඒකෙන් තමයි සෙල්ලම් කරල උඩට ආවෙ.

ඔබට ක්‍රිකට් කියල දුන්න තවත් අය ගැනත් කතා කළොත්..

මගේ ප්‍රථම පුහුණුකරුවන් විදියට බර්නාඩ් සර් සහ හැරල්ඩ් සර් හිටියට පස්සෙ ගොඩක් පුහුණුකරුවො හිටිය. ඒත් සම්පත් පෙරේරා පුහුණුකරු ඒ අතරින් විශේෂයි. ඔහු නිසා තමයි අද මේ තත්ත්වයට ආවෙ.

විස්සයි-20 තරගාවලිය ආරම්භ කරන්න කලින් මොන වගේ හැඟීමකින්ද ශ්‍රී ලංකා කණ්ඩායමට සම්බන්ධ වුණේ.

අපි එන විට ටෙස්ට් තරගාවලිය පරාජය වෙලයි හිටියෙ. ඒ නිසා විස්සයි-20 තරගාවලිය කෙසේ හෝ ජයග්‍රහණය කළ යුතුයි කියන තැන අපි හිටියෙ. නමුත් පළමු තරගය පරාජය වුණාට පසුව අපි ලොකු පසුබෑමක හිටියෙ. ඒත් අපි කවුරුවත් මානසිකව වැටිල හිටියෙ නැහැ. එවැනි තත්ත්වයක ඉඳල ඒ විදියට අපි තරගාවලිය දිනපු එක විශාල ජයග්‍රහණයක්. මීට පෙර දකුණු අප්‍රිකාවෙදි අපි කිසිම ක්‍රිකට් තරගාවලියක් දිනල තිබුණෙත් නැහැ. ඒ අනුව බැලුවාම අපි දකුණු අප්‍රිකාවට එරෙහිව ඉහළ තත්ත්වක ඉන්නව කියන්න පුළුවන්.

ලෝකයේ ක්‍රිකට් ගැන කතා කළොත් ඔබේ ක්‍රිකට් තරුව කවුද ?
කුමාර් සංගක්කාර තමයි.

ඔබ විස්සයි-20 තරගාවලියේ වීරයා වීම ගැන මොනවද හිතෙන්නේ.
සන්තෝෂයි. නමුත් එක තරගාවලියක වීරයා වුණා කියල මම අංගසම්පූර්ණයි කියල මම හිතන්නෙ නැහැ. මම සාර්ථක ක්‍රීඩකයෙක් කියල. එන හැම තරගයකදීම ලකුණු රැස්කරගෙන මාස 6ක් විතර හොඳින් ක්‍රීඩා කළොත් මගේ ස්ථානය ස්ථාවර වෙයි කියල හිතෙනවා.

_මව්බිම

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "දිගු ගමනක් ඇති දික්වැල්ලගෙන් ඩිල්ස්කූප් පහරට සංශෝධනයක්"

    Post a Comment