05 February, 2017

මරණය පෙනි පෙනී ජීවිතය යදින පිළිකා රෝගීන්ට බෙහෙත් හදපු අපේ කෙල්ල

sumashi-munaveera

"පිළිකාවක් වැලඳී කිසිවකු නොමළ ගෙයකින් අබ මිටක් ගෙන එන්නැයි ඔබට කිසිවකු කීවොත් ඒකාන්තවම කිසාගෝතමියට වඩා සතුටින් ඔබ අබ සොයා යනු ඇත. එහෙත් ඔබට එන්නට වෙන්නේ හිස් අතිනි!

ඒ තරමටම හැම ගෙදරක්ම පාසා 'පිළිකා' ත්‍රස්තවාදියා කඩා වැදී කවුරුන් හෝ උදුරාගෙන ගොස් ඇත. දිනකට අඩු තරමේ 50ක් හැටක් අතර වන මිනිස් ජීවිත ප්‍රමාණයක් රැගෙන යෑමේ වගකීම කැටුව එන පිළිකා ත්‍රස්තවාදියා මොන තරම් බිහිසුණුදැයි සිතා ගන්නටවත් නොහැකිය. අපේ රටේ පිළිකා රෝගය කැස්ස සහ සෙම්ප්‍රතිශ්‍යාව තරමටම පැතිරී තිබේ.

ඉතින් කොහෙන්ද ඔබට 'අබ'

අපට සිහිපත් වන්නේ මංජුල වෙඩිවර්ධන 'බත්තලන් ගුණ්ඩුවේ' ලියා ඇති සටහනකි.

'මා කුඩා කල කිරි උරා බිවු ළැම මඬලෙහි පිළිකා රෝග කාරක තිබූ බව දැන සිටියේ නම් නිසැකවම මම ඒ සියල්ලම මගේ කුසට ඇද ගනිමි. මට එසේ කළ හැකි වී නම් 'අම්මාට' තාමත් දෛනික නුවානයට සහභාගි වීමට ඉඩ තිබිණි."

පිළිකාව යනු අනුකම්පාවක් නැති කුරිරු ඝාතකයෙකි. නිකමටවත් තෙතමනයක් නැති වියරු මාරයෙකි.

වැරැදීමකින් හෝ ඔබ මහරගම පිළිකා රෝහලට ගොස් තිබේ නම් ඔබට බොහෝ දේ දැනෙනු ඇත. ලොව දැක වසර පහ හයක් නැති නොදරුවෝ දසැඟිලි ගුළි කරගෙන කෙස් වැරූ හිස් ඇතිව 'ආගන්තුකයා' එනතුරු ඇසට හසුවනා මානය බලා සිටින අයුරු ඔබ දැක තිබේද? දරුවන්ට අනුපම ස්නේහයෙන් කිරි ශිරා පෙවූ 'පියයුර' අර මාරයා උදුරාගත් කල හිස් දෑසින් අෑත බලා සිටින අම්මාවරුන් ඔබ දැක තිබේද?

ඉතිං කෙතරම් වේදනාවක්ද?

එහෙත් සමහර 'අන්ධකාර කෙවෙනි ඔස්සේ රිදී රේඛා' මතුවන අවස්ථා කලාතුරකින් හෝ බලාපොරොත්තු විය හැකිය.

මේ එහෙම කතාවකි.

"පිළිකාව හැදිලා දුක් විඳින නොදරුවෝ මම දැකලා තියෙනවා. ජීවිතේ මොන වෙලාවක නවතීද කියලා බලාගත්ත අතේ බලාගෙන හිස් අතින් ඉන්න මිනිස්සු මගේ ඇස් දෙකට හමුවෙලා තියෙනවා. එක පියයුරකින් දරුවන්ට කිරි දෙන අම්මලා මම දැකලා තියෙනවා. ඒ කම්පනය එක්ක මට හිතුණා යමක් කරන්න පුළුවන්නම් කොච්චර දෙයක්ද කියලා'

මෙහෙම කියන්නේ සොළොස් හැවිරිදි දැරියකි. ඕ සමාෂි මුණවීරය. අෑ අද්විතීය කටයුත්තක් කළාය.

සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලේ සාමාන්‍ය පෙළ පන්තියේ ශිල්ප ඇහිඳින්නී නිරන්තර බොහෝ දේ සෙවීම කෙරෙහි සිත යොමු කළ යුවතියකි. සමාෂි කොහොමත් විද්‍යාව කෙරෙහි ලොල් දැරියකි. නොදරු වියේ සිටම කුතුහලය සේම යම් යම් පරීක්ෂණ සිදු කිරීම කෙරෙහි මහත් උනන්දුවක් දැක්වූ අෑ හට නිමාලී ගමගේ මවත්, කපිල මුණවීර පියාත් ඊට ඇවැසි නිදහස හා සහාය දුන්හ.

ඊටම සරිලන 'සිරිමාවෝ බණ්ඩාරනායක' විදුහල අෑට කෙම්බිමක් විය. අෑ විද්‍යාව සේම ඒ හරහා කෙරෙන පර්යේෂණ කෙරෙහි නිරන්තර උනන්දුවක් දැක්වූවාය. මේ නිසාම විදුහලේ කැපී පෙනෙන සිසුවියක වූ අෑ එහි සුවිශේෂී ජයග්‍රාහී පිම්මකට පසුගියදා පා තැබුවාය.

ඒ 'පිළිකා පියවි සෛල නසන්නට ස්වාභාවික ඔෟෂධයක්' සොයා ගැනීමේ අපූර්වතම කටයුත්ත සිදුකිරීමය.

ඩ්‍රැගන් ෆෘට් පලතුර උපයෝගි කරගෙන පිළිකා පියවි සෛල නැසීම සඳහා ස්වාභාවික ඔෟෂධයක් නිපදවීමට මේ යුවතිය සමත් වූවාය. එය එතෙක් මෙතෙක් කළ අපූර්වතම පර්යේෂණයකි. විවිධ පලතුරු සහ ස්වාභාවික ද්‍රව්‍ය උපයෝගි කොටගෙන පිළිකා ඔෟෂධය නිපදවීමට ලොව බොහෝ පර්යේෂකයන් උත්සාහ කොට තිබුණද ඩ්‍රැගන් ෆෘට් පලතුර මේ සඳහා යොදාගෙන සාර්ථක අත්හදා බැලීමක් කළේ මෙවරය.

කුතුහලයත්, පර්යේෂණත් අතරේ හැදෑරීම් කරන්නට රුචි සමාෂිට පාසල ශක්තිමත් පාලමක් විය. ඒ පාලමේ යන්නට ඇයට බාලිකාව අත්වැල් පවුරක්ද විය.

'මට මගේ පාසල විශාල ශක්තියක් වගේම රුකුලක් වුණා. විදුහල්පතිනියගේ ඉඳලා සියලු ගුරුවරු අපිට ශක්තියක්. මම 10 ශේ‍ර්ණියේ ඉගෙනුම ලබන විට පාසලේ විද්‍යා විෂය උගන්වන සාගරිකා ජයතිලක ගුරු මහත්මිය වෙතට මම යොමුවුණා.

සමාෂි කියන්නීය.

'සාගරිකා ජයතිලක' සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලේ 9, 10, 11 විද්‍යා විෂය ධාරාව දරුවන්ට උගන්වන ගුරුමාතාවය. අෑ ස්වකීය සිසුවියන් කෙරෙහි වඩා උනන්දුවෙන් කටයුතු කරන්නියකි. ජාතික විද්‍යා පදනම මඟින් පැවැත්වීමට සංවිධාන කර තිබූ විද්‍යා පර්යේෂණ තරගය පිළිබඳ දැන්වීම් ලිපිය ලැබූ වහාම අෑ සිය දරුවන් ඒ වෙත යොමු කරන්නට කටයුතු කළාය.

මේ තරගය හරිම වටින බව මම තේරුම් ගත්තා. සැඟවිලා ඉන්න අති දක්ෂ දරුවෝ ඉන්නවා. සමාෂි ඉතාම දක්ෂ දරුවෙක්. ඒත් මීට කලින් එයා මෙහෙම තරගවලට ගිහින් නෑ. විෂය බාහිර කටයුතුවලදී පවා සමාෂි නිහඬ දැරියක්. ඒත් එයා විද්‍යාවට ඉතාම කැමැතියි. ජාතික විද්‍යා පදනම මඟින් පැවැත්වීමට සංවිධානය කර තිබූ විද්‍යා පර්යේෂණ තරගය පිළිබඳ දැනුවත් කළා වගේම ඒ සඳහා සූදානම් විය යුතු ආකාරය ගැන විශේෂඥවරුන් හරහා දරුවන් දැනුවත් කළා. අපි දරුවෝ 50ක් මේකට ඉදිරිපත් කළා. ව්‍යාපෘති 8ක් තේරුණා. ඉන් අවසානෙට මේ ව්‍යාපෘතිය ඉදිරියට ආවා. ගුරුතුමිය කීවාය.

"මට ඕන වුණේ වෙනස් දෙයක් කරන්න. පිළිකා රෝගය නිසා වෙන අතුරු ආබාධ මොනතරම්ද. ඒවා හරිම සංවේදීයි. ඉතින් සමාජය තුළ ඉතා සුලබව දක්නට ලැබෙන පිළිකා රෝගයට අතුරු ආබාධවලින් තොර ස්වාභාවික ඔෟෂධයක් නිපදවීමට පර්යේෂණ යෝජනාවක් මම ඉදිරිපත් කළා. ඒ සඳහා අවශ්‍ය තොරතුරු පොත්පත් කියැවීමෙන් සහ අන්තර්ජාල භාවිතයෙන් රැස් කළා."

සමාෂි කියයි. ස්වකීය සොයාගැනීම ගැන අෑ අපමණ සතුටිනි.

'ව්‍යාපෘති යෝජනාව ඉදිරිපත් කර මසකට පමණ පස්සෙ ජාතික විද්‍යා පදනම විසින් මගේ යෝජනාවද තෝරාගත් බව දන්වා සිටියා. පසුව ජාතික විද්‍යා පදනම මඟින් මෙම පර්යේෂණය සිදුකිරීම සඳහා අදාළ උපදෙස් සහ මඟපෙන්වීම ලබාගැනීමට කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්ය සමීර ආර්. සමරකෝන් මහතා වෙත මා යොමු කළා.

කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායන අනුක ජෛවවේදය හා ජෛව තාක්ෂණ ආයතනයේ ආචාර්ය සමීර ආර්. සමරකෝන් මහතා කලක් තිස්සේ පිළිකා සම්බන්ධ විවිධ පර්යේෂණ සිදුකරන පර්යේෂකයෙකි.

අත්දැකීම් බහුල ගුරුහරුකම් සමාෂිට ලැබෙන්නේ ඒ මහතා හරහාය. වඩාත් නිවැරැදි, නිසි මඟපෙන්වීම අෑ හට ශක්තියක් විය. 'ඒ වන විටත් ඔහු මගේ ව්‍යාපෘති යෝජනාව කියවා තිබුණා. මම ඒ ඔෟෂධය නිපදවීමට කහ ශාකය යෝජනා කර තිබුණද ඔහු කියා සිටියේ කහ ශාකයෙන් ඔෟෂධ දැනටමත් නිපදවා තිබෙන නිසා නව සොයාගැනීමක් වෙන්නේ නැහැ කියලා'

ආචාර්ය සමීර ආර්. සමරකෝන් මහතා මේ කාර්යය වෙනුවෙන් සමාෂිට නොමඳ මඟ පෙන්වීමක් කළේය.

'අපි කාලයක් තිස්සේ මේ වගේ පර්යේෂණ කරනවා. ඩ්‍රැගන් ෆෘට් හරහා මෙහෙම පර්යේෂණයක් කරපු පළමු අවස්ථාව මේක. අපි මේක කළේ ලෝකෙන් එන අනෙක් තරගකරුවන්ට අභියෝගයක් වෙන විදියට. මේ සොයාගැනීම ඇත්තටම ලොකු ජයග්‍රහණයක්. සමාෂි මුලින් හිතුවේ කහ යොදාගෙන පර්යේෂණය කරන්න. නමුත් කහවලින් මීට පෙර එහෙම පර්යේෂණ කරලා තියෙනවා. අපිට ඕන වුණා අලුත්ම දෙයක් මේකට යොදා ගන්න. පස්සේ අපි ඩ්‍රැගන්ෆෘට් යොදා ගත්තා'

ඒ මහතා පවසයි.

මිනිස් සිරුරෙහි කුඩාම ඒකකය සෛලයක් ලෙස හඳුන්වන අතර සෛලයක න්‍යෂ්ටියේ ඇති වර්ණදේහ නම්වූ ජාන කොටස්වල ඇති ඩී.එන්.ඒ. පලක 4 නම් රසායනිකය සෛල බෙදීම කෙරෙහි බලපායි. සෛල බෙදෙමින් නව සෛල නිර්මාණය වීමත් පැරැණි සෛලවල කාලය අවසන් වීමත් සිදුවෙයි. මෙම සෛල බෙදීම ක්‍රමිකව පාලනයක් ඇතිව සිදුවේ. නමුත් පිළිකා ඇති කරන හේතු සාදක මෙම ජාන සෑදී ඇති ඩී.එන්.ඒ. පටල විකෘති කරන අතර මේ නිසා ඒවා පිළිකා ජාන බවට පත්වී පිළිකා සෛල සෑදීම ආරම්භ කරයි. මෙම පිළිකා සෛල ඒ වටා ඇති පටකවලටද අෑතින් ඇති පටකවලටද රුධිර ලසිකා ආදී මාර්ග ඔස්සේ ශරීරය පුරා පැතිරී යයි. පිළිකාවක ස්වභාවය ඕකය.

'පිළිකා සෛල පමණක් නොවෙයි දැනට පවතින ඔෟෂධ සහ රේඩියෝ තෙරපිවලට ප්‍රතිරෝධී වන පියයුරු පිළිකා පියවි සෛල ඉලක්ක කරගැනීමටත් මෙම පලතුරට හැකිද යන්න පිළිබඳ අපි සොයා බැලුවා. අපි සිදුකළ මූලික පරීක්ෂණයේදී සනාථ වුණේ එම පලතුරේ පොත්ත, මදයට වඩා වේගයෙන් පිළිකා පියවි සෛල විනාශ කරන බවයි."

සමාෂි දැන් ස්වකීය පර්යේෂණය ගැන බෙහෙවින් දැනුවත්ය.

'අපි මුලින්ම කල්පිතයක් ගොඩනැඟුවා. ඒ තමයි ඩ්‍රැගන්ෆෘට්වල පොත්ත සතු පිළිකා නාශක අනෙක් සම්මත ඔෟෂධ තරම් සක්‍රිය නොවීමට හේතුව විය හැක්කේ, සාමාන්‍යයෙන් පිළිකා පියවි සෛල සතු සෛලවලට උරාගත් ඔෟෂධ නැවත සෛල පටලයේ එක්තරා ප්‍රෝටීනයක් මඟින් සිදුරු සාදා ඒවා සෛලයෙන් ඉවත් කරන නිසා කියන එක. ඇමෙරිකාවේ එෆ්.ඩී.ඒ. ආයතනය පවා ඔෟෂධයක් ලෙස පිළිගෙන ඇති පපුවේ වේදනාවට හා අධික රුධිර පීඩනටයට භාවිත කරන එක්තරා ඔෟෂධයක් ඩ්‍රැගන් ෆෘට් පලතුරු පොත්තෙන් නිස්සාරිත නිස්සාරණය සමඟ යම් අනුපාතයකට මිශ්‍ර කර පිළිකා පියවි සෛල වෙත යොමුකිරීම සිදු කළා.

කල්පිතය සාර්ථක විය. බල්බය දල්වන්නට දහස් වරක් උත්සාහ කළ තෝමස් අල්වා එඩිසන් ඉන් 999 වතාවකදී අසාර්ථක විය. ඔහු කීවේ 'තමාට බල්බය දල්වන්නට උත්සාහ කිරීමට අවස්ථාවන් 1000ක් තිබූ බවත් 999 වතාවක්ම බල්බයක් නොදැල්වෙන ක්‍රම අත්හදා බැලූ බවත්ය. පර්යේෂණ යනු එහෙම දෙයකි. කෙසේ වෙතත් සමාෂිට එතරම් කරදරයක් වූයේ නැත.

'අන්තිමට එම සුසංයෝගයට පිළිකා පියවි සෛල විනාශ කළ හැකි බව සොයාගැනීමට හැකිවුණා. මෙම සුසංයෝගී ඔෟෂධයෙන් සාමාන්‍ය පියයුරු සෛලවලට හානි සිදු නොකරන අරත, පියයුරු පිළිකා නසන ගුණය ඇති බවද සොයාගැනීමට හැකිවුණා.

සමාෂි උද්දාමයෙන් කීවාය. මෙහි ඇති විශේෂත්වය නම් එම ඇමෙරිකානු ඔෟෂධය මීට පෙර පිළිකා සම්බන්ධ කිසිදු පර්යේෂණයකට භාවිත කර නොතිබීමය.

'ලොව ප්‍රථම වරට මෙවැනි ස්වාභාවික සුසංයෝගී ඔෟෂධයක් නිපදවීමට මට හැකිවීම ගැන ඇත්තේ නිහතමානී ආඩම්බරයක්. මගේ සොයාගැනීම පසුගියදා ජාතික විද්‍යා පදනම මෙහෙයවූ කනිෂ්ඨ විද්‍යා සමුළුවේදී හොඳම දසදෙනා අතරට පැමිණීමට හැකිවුණා. එමෙන්ම මගේ සොයාගැනීම නුදුරේදීම අන්තර්ජාතිකව පළවන පිළිගත් විද්‍යා සඟරාවට සූදානම් කරනවා."

දැන් සමාෂි ඉන්නේ තීරණාත්මක තැනකය. අන්තර්ජාතික කීර්තියක් මේ මවුබිමට අත්පත් කරදීමට තව නොබෝ දිනකින් ඇයට හැකිවනවාට සැක නැත. පෙබරවාරි මස 09 වැනිදා පැවැත්වීමට නියමිත අවසන් වටයෙන් ප්‍රථම ස්ථානය ලබාගෙන ඇමෙරිකාවේ ධ්ව්ඊඡ්ඹ් ධ්ඉඡ්ජ් 2017 තරගයට සහභාගි වීමට අෑ බලාපොරොත්තු දල්වාගෙන සිටින්නීය. සමාෂි සේම මේ වෙනුවෙන් ස්වකීය බුද්ධිම ශ්‍රමය කැප කළ ආචාර්ය සමීර ආර්.

සමරකෝන් මහතා, මහාචාර්ය කමනී තෙන්නකෝන් මෙන්ම නිර්මලී ලූව්, ටෙරාන් එදිරිවීර, වරුණි වින්ද්‍යා, රනා මොහාන් යන තරුණ පර්යේෂකයින් ඇයට ශක්තියක් විය. සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලේ විදුහල්පතිනිය ඇතුළු සියලු ගුරුභවතුන්, ජාතික විද්‍යා පදනමේ සභාපති මහාචාර්ය සිරිමලී ප්‍රනාන්දු සහ විද්‍යාව ප්‍රචලිත කිරීමට අදාළ අංශයේ අධ්‍යක්ෂ ජනක කරුණාසේන මහතා ඇතුළු එකී කාර්යමණ්ඩලය මේ වන විට එකී බලාපොරොත්තු හදවත්හි දරාගෙන සිටී.

ලෝකය දියුණු වන්නේත් තාක්ෂණය මුහුකුරා යන්නේත් අසුරුසැණිනි. ලොව එතරම් තාක්ෂණික පෙරළියක් නොවූ සමයේ මාරි කියුරිලා අද්විතීය සොයාගැනීම් කළ අතර ඒවා හේතුවෙන් ලෝකය අතිමහත් අස්වැසිල්ලක් ලැබීය. මාරි කියුරිලාද නොදරු වියේ සිටම 'කුහුල මුසු සොයාගැනීම්' උදෙසා ලොල්ව සිටි බව නොරහසකි. සමාෂිලාටද එය නොකළ හැකි නොවේ. අවැසි වන්නේ ඊට මඟ පෙන්වීමය.

_මව්බිම

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "මරණය පෙනි පෙනී ජීවිතය යදින පිළිකා රෝගීන්ට බෙහෙත් හදපු අපේ කෙල්ල"

    Post a Comment