04 February, 2017

දකුණු අප්‍රිකානු තණතිල්‍ලේ ආකර්ෂණීය පිතිකරු – නිරෝෂන් දික්වැල්ල

niroshan-dickwella

දකුණු අප්‍රිකානු ක්‍රිකට් සංචාරයේ යෙදෙමින් සිටින ශ්‍රී ලංකා පිල ප්‍රථම වරට තරගාවලියක් දකුණු අප්‍රිකානු තණතිල්‍ලේ ලැබිම විශේෂත්වයක් බව අමුතුවෙන් කිවයුතු නැත්තේ වේග තණතිල්‍ලේ ශ්‍රී ලංකා පිතිකරුවන් මීට ඉහත වතාවලදීත් සෑහෙන පීඩනයකට මැදිවූ හෙයින් ලොකු පසුබෑමකට පත්වූ බැවිනි.

කෙසේ වුවත් මෙවර ප්‍රථම වතාවට ඕවර විස්ස-20 තරගාවලිය දිනා ගනිමින් ශ්‍රී ලංකා පිල දැක්වූ සුවිශේෂී දක්ෂතා කලකට අමතක නොවන්නේ තරගාවලිය පුරාම හොඳ සටන්කාමී විලාසයන්ද පෙන්නුම් කළ බැවිනි.

සෙන්චූරියන් තණතිල්ල, ජොහැන්නස්බර්ග්හි වොන්ඩර්ස් තණතිල්ල හා කේප්ටවුන් තණතිල්‍ලේ විස්ස-20 තරගාවලියේ තරග තුන ක්‍රීඩා කරනු ලැබූ පිතිකරුවන් අතර වඩාත් අවධානය දිනූ පිතිකරු නිරෝෂන් දික්වැල්ල අද අපේ කථානායක බවට පත්කර ගත්තේ ඔහු මේ තරගාවලියේ අවසන් තරගයේ වීරයා හා තරගාවලියේ වීරයා සම්මාන ද්විත්වයම හිමිකරගත් නිසා පමණක් නොව, ඔහුගේ ආක්‍රමණශීලී පිති හරඹය තුළ විටක දකුණු අප්‍රිකානු පන්දු යවන්නෝද අන්දමන්ද වූ හෙයිනි.

23 හැවිරිදි වමත් පිතිකරුවකු ලෙස දික්වැල්ල විස්ස-20 තරගාවලිය තුළ ලකුණු 133ක් රැස්කර ගනිමින් තම මංගල විස්ස-20 අර්ධ ශතකය ලකුණු 68ක් කේප්ටවුන් තීරණාත්මක තරගයේදී රැස් කිරීම තරගාවලියේ ජයග්‍රහණයට නියම අඩිතාලම විය.

මහනුවර ත්‍රිත්ව විදුහලින් ක්‍රිකට් ක්‍රීඩාව හදාරනු ලැබූ දික්වැල්ල කුඩා අවධියේම බර්නාඩ් පෙරේරා ක්‍රිකට් ඇකඩමියෙන් ක්‍රිකට් පිළිබඳ මූලික සිද්ධාන්ත හැදෑරුවේය. කෙසේ වුවත් ත්‍රිත්ව විදුහ‍ලේ දික්වැල්ලගේ ක්‍රීඩා දිවිය ඔපවත් කරනු ලැබූ පුහුණුකරු වූයේ සම්පත් පෙරේරායි.

මේ නිසාම දික්වැල්ල ඉතා නිහතමානීව පවසන්නේ සම්පත් පෙරේරා පුහුණුකරු නිසා තමා අද මේ තත්ත්වයේ සිටින බවයි.

දික්වැල්ල කඩුලු රකින්නකු සහ පිතිකරුවකු ලෙස සිටිමින් ත්‍රිත්ව පි‍ලේ අවුරුදු 19න් පහළ නායකත්වයද ලබා ශ්‍රී ලංකා අවු. 19න් පහළ පිල, ශ්‍රී ලංකා අවුරුදු 23න් පහළ පිල, ශ්‍රී ලංකා ‘ඒ’ පිල සිට පියවරෙන් පියවර ජාතික පිල දක්වා ඒමද ඔහුගේ සාර්ථකත්වයට හේතුවක් වී ඇති බව පැහැදිලිය.

2014 ජුනි 24දා එස්.එස්.සී. පිටියේදී මංගල ටෙස්ට් වරම් ලැබූ දික්වැල්ල අංක 7 පිතිකරු ලෙස ලකුණු 72ක් ලැබිමෙන් තමා එදා දකුණු අප්‍රිකානුවන්ට එරෙහි දක්ෂතා දක්වා මෙදා දකුණු අප්‍රිකානු තණතිල්‍ලේද දක්ෂතා දැක්වීමද සුවිශේෂත්වයකි.

‘මේ මගේ මුල්ම දකුණු අප්‍රිකානු සංචාරය. ඉතින් මේ සංචාරයේදි මට මේ තණතිලිවල ලකුණු අතරට ඒමට හැකිවීම සතුටක්. ටෙස්ට් තරගාවලියට ලැබුණේ තණකොළ සහිත වේගපන්දු යවන්නන්ට වඩාත් උචිත තණතිලි. ඒත් විස්ස-20 තරග සඳහා තණකොළ රහිත පිතිකරුවන්ට වාසිදායක තණතිලි ලැබිමේ වාසිය අපි ලබාගත්තා’ යනුවෙන් පැවසූ දික්වැල්ල තමාගේ සුපුරුදු පිති හරඹයට ගිය බවද සඳහන් කළේය.

‘ඇත්තටම විශාල පහරවල්වලට යනවට වඩා මම හුරුවී සිටියේ පන්දුව නිවැරදිව ස්ථානගත කිරීම. මේ තුළ මට අවශ්‍ය පරිදි ලකුණු ලබාගත්තා. ඩිල්ස්කූප් පහරවල් වගේම මට ආවේණික පහරවල්ද ස්වීප් පහරවල්, රිවස් ස්වීප් පහරවල් මගින් පන්දුව නියමිත ලෙස ස්ථානගත කිරීමෙන් ලකුණු ලබාගත්තා. ඒ වගේම ආරම්භක පිතිකරු ලෙස මම ඕවර 5-6ක් යනතෙක් පිටියේ සිට ලකුණු ලබා අවශ්‍ය වුණේ ඕවර 15-16 වනතෙක්ම ලකුණු ලැබිමයි. මගේ උපරිම දායකත්වය කණ්ඩායම වෙනුවෙන් ලැබුවා යැයි කියා සතුටු වෙන්න පුළුවන්’ බව දික්වැල්ල පවසයි.

දික්වැල්ල මීට පෙර සිම්බාබ්වේ සංචාරයේදී ද එක්දින තරගවල ලකුණු අතර සිට ප්‍රිමියර් ලීග් තරගාවලියේදී ද එන්.සී.සී. පිල වෙනුවෙන් ඔහුගේ ආරම්භක පිතිකරණයේ උපරිම වගකීම සිදු කරනු ලැබිමෙන් පසු දකුණු අප්‍රිකානු විස්ස-20 සංචාරයට නම්වූයේ ටෙස්ට් තරගාවලියෙන් අනතුරුවය.

කෙසේ වුවත් දික්වැල්ල පවසන්නේ කඩුලු රකින්නකු ලෙස සිටිමින් ආරම්භක පිතිකරණයට වැඩි මනාපයක් තමාගේ ඇති බවයි. ඒ වගේම ටෙස්ට් පිටියටද නැවත යෑමේ ප්‍රබල ආසාවකින් දික්වැල්ල සිටින බව පවසයි.

එක්දින, විස්ස-20 තරග රටාවේ අපට සිටි ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරාගේ අඩුව කදිමට දික්වැල්ල පුරවන බව නම් පැහැදිලිය. එහෙත් මේ යොවුන් වමත් පිතිකරුට තවත් තරග අත්දැකීම් ලැබිම තුළ ජගත් ක්‍රිකට් පිටියේ දක්ෂතා අතරට එනු ඇත.

තවමත් ටෙස්ට් තරග 4ක්, විස්ස-20 තරග 6ක් මෙවර දෙවැනි එක්දින තරගය වනවිට එක්දින තරග 7ක අඩු අත්දැකීමක් තිබුණද දික්වැල්ල තමාගේ මනස ඉතා හොඳින් යොදවමින් පිතිකරණයේ යෙදෙන්නේ විටෙක කිසිම අපහසුවකින් තොරව ලකුණු ලබමිනි. එය පරිණත පිතිකරුවකු සිහිගන්වන්නකි.

ජාත්‍යන්තර විස්තර විචාරකයන් පැවසුවේ දික්වැල්ලගේ පිතිකරණයේදී පන්දු ස්ථානගත කිරීම වඩාත් හොඳින් සිදුවූ බවයි. මේ තුළ ශ්‍රී ලංකා පිලටද ඉදිරියට යෑමට හැකිවිය. කෙසේ වුවත් මේ වමත් යොවුන් පිතිකරුවා රැක ගැනීම ක්‍රිකට් බලධාරීන්ගේ වගකීම වනු ඇත. දික්වැල්ලට ජගත් ක්‍රිකට් පිටියේ යායුතු තව දුර බොහෝය. ඒ සඳහා ඔහුට නිවැරදි මග පෙන්වීම ලැබේ නම් එය ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහාද සුබපල දෙනු ඇත. කෙසේ වුවත් දකුණු අප්‍රිකානු සංචාරයේ සාර්ථකම පිතිකරු වූ දික්වැල්ල එක්දින තරගාවලියේදී ද ලකුණු අතරට එනු ඇතැයි අපේ පැතුමයි.

ධම්මික රත්නවීර දකුණු අප්‍රිකාවේ සිට_රිවිර
ඡායාරූපය -සමීර පීරිස්

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "දකුණු අප්‍රිකානු තණතිල්‍ලේ ආකර්ෂණීය පිතිකරු – නිරෝෂන් දික්වැල්ල"

    Post a Comment