04 February, 2017

සමහරවිට මම හඳපානෙ පැනලා යාවි – ශෙහානි කහඳවල

shehani-kahandawala-article

ශෙහානි කහඳවල කියන්නේ ක්ෂේත්‍රයට ඇවිත් කෙටි කාලෙකින් ලොකු ජනප්‍රියත්වයක් අත්කර ගත් රංගන ශිල්පිනියක්. රිවිසරසියේ අපි ශෙහානි එක්ක පුංචි කතාබහකට එකතු වුණා.

කොහොමද මේ දවස්වල වැඩ කටයුතු?
රියැලිටි වැඩසටහන් එක්ක තමයි කාලය ගවෛන්නේ. ඒ නිසා ටිකකට රඟපෑම් නතරවෙලා.

ඒක බුද්ධිමත් තීරණයක් කියලා විශ්වාසයිද?
ඔව්. ඉතින් වැඩක් භාරගත්තොත් හරියට කරන්න එපැයි. ඒ නිසා කමක් නැහැ කියලා හිතෙනවා.

ශෙහානි නිළියක් වුණේ වුවමනාවෙන්ද?
නැහැ. ඉස්කෝ‍ලේ යන කා‍ලේ පටන් මගේ බලා‍පොරොත්තුව වුණේ ගුවන් නියමුවරියක් වීම.

ඒ කියන්නේ කලාවට ඒම අහම්බයක්?
ඔව්. ජනප්‍රිය, ලස්සන කෙනෙක් වෙන්න ආසාවක් තිබුණා. ඒත් නිළියක් වෙන්න ඕන කියලා හිතාගෙන මහන්සි වුණේ නැහැ

පාසල් වේදිකාවේ රඟපාලා තියෙනවද?
නැහැ. කවදාවත් නෑ.

එතකොට මුලින්ම කැමරාවක් ඉදිරිපිට හිටගත්තේ කවදාද?
2015 මාර්තු 04 වැනිදා කියලා මතකයි. ඒත් මට එදා සිද්ධ වෙච්ච දේවල් නම් මුකුත්ම මතක නැහැ.

වෙන කෙනෙක් අතරමැදින් දාලා ගියපු චරිතයක් නේද මුලින්ම භාරගත්තේ?
ඔව්. සුජාතා චරිතය. ඒක නෙහාරා පීරිස් අතරමග නතර කළ චරිතයක්. ඒක මට ලොකු අභියෝගයක් වුණා. ඒ වගේ චරිතයක් භාරගැනීම මදිකමක් කියලා මට කවදාවත් හිතිලා නැහැ.

නෙහාරා පීරිස් ඒ වෙනකොට හුඟක් ජනප්‍රිය වෙලා හිටියා. බය හිතුණේ නැද්ද චරිතය භාරගන්න?
නැහැ. මගේ පෙනුම, ප්‍රමාණය, කොණ්ඩය, හමේ පාට හැමදේම නෙහාරා අක්කට සමානයි කියලා හුඟක් අය කිව්වා. ඒ නිසා බය හිතුණේ නෑ.

ශෙහානිගේ ජීවිතේ පරමාදර්ශය නෙහාරද?
ඔව්. ඒත් පුද්ගලික ජීවිතය අතින් අපි හරි වෙනස්. නෙහාරා ගැන කවුරු මොන විදිහේ දේවල් කිව්වත්, හිතුවත් මම නම් දන්න විදිහට එයා හිත හොඳ කෙනෙක්. නිහතමානී කෙනෙක්.

නිළියක් නිසා ශෙහානි ආඩම්බරයිද?
ටිකක් ඔව්. නිළියක් වෙන්න හැමෝටම අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මගේ රස්සාව ගැන මම ආඩම්බරයි. හැබැයි ඉතින් හැම නිළියකටම එක වගේ සැලකිල්ලක් ලැබෙන්නෙත් නැහැ. තම තමන් ජීවත්වෙන විදිහට තමයි සැලකිල්ලෙ තරම තීන්දු වෙන්නෙ.

රඟපෑමෙන් ලැබෙන මුදල් ජීවත් වෙන්න ප්‍රමාණවත්ද?
නෑනේ.

ශෙහානි ව්‍යාපාර කරනවා නේද?
ඔව්. ව්‍යාපාර වැඩක් කරගෙන යනවා. ලස්සනට ජීවත් වෙන්න මුදල් ඕනෑ නිසා.
ව්‍යාපාර හෝ කලාව කියන දෙකෙන් එකක් තෝරාගන්න සිද්ධ වුණොත්?
එකක් තෝරාගන්නෙ නෑ. මට දෙකම වටිනවා.

පෙම්වතා ගැන විස්තර මාධ්‍යයට කියන්නෙ නැත්තේ ඇයි?
ඒක ඉස්සරහට කියන්නම්කෝ. එහෙම කෙනෙක් ඉන්නවා. එයා හරි හොඳ මනුස්සයෙක්.

විවාහය ගැන සැලසුමක් ඇති එහෙනම්?
තාම නැහැ. තාම මම ‍පොඩි ළමයෙක්නේ. විවාහය ගැන ලොකුවට සැලසුමක් තවම නම් නැහැ. හැබැයි ඉතින් ඕක සැලසුම් කරද්දි එන ලොකුම ප්‍රශ්නය ආරාධනා කරන්නේ කාටද කියලා තෝරාගන්න එක තමයි. මොකද හැම තැනම යාළුවෝ. කට්ටියට කියලා ඉවරයක් කරන්න බැහැ. ඒ නිසා සමහර විට මම හඳපානේ පැනලා යන්නත් ඉඩ තියෙනවා.

සඳමාලි වර්ණසූරිය_රිවිර
ඡුායාරූප: චමිල කරුණාරත්න

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "සමහරවිට මම හඳපානෙ පැනලා යාවි – ශෙහානි කහඳවල"

    Post a Comment