03 February, 2017

සැමියාගේ මිතුරා එක්ක ඇතිකරගත් අනියම් පෙම නිසා ජීවිත්වීම තහනම් වූ හැටි

women-couple-room

ඔයාගේ වයිෆ් ඩ්‍රයිවර් එක්ක හාද වෙලා..

මාස කිහිපයකින් ඔහු අපේ විශ්වාසය දිනාගත්තා..

මළ බෙර හඬ වරින් වර ඇසෙන්නේ ඈතිනි. ඒ හඬ ඇසෙන වාරයක් පාසා මගේ මතකයට නැගෙන්නේ දිල්කාය.

ඇගේ දිගටි මුහුණෙහි සුන්දරත්වය තවමත් මගේ මතකයෙහි තිබෙන හැටි පුදුමය.

ඒ තරමටම මම ඇයට ආදරය කළා නොවේදැයි යන සිතිවිල්ල නිසා හැඟෙන සිහින් රිදුම හදවත තෙරපයි.

සුදු ඇඳගත් ඈ එහි සැතපී සිටියේ බොහෝ නිහඬවය. ඇගේ නිහඬ බව මගේ සිතට විවිධ සිතුවිලි නංවයි. ඇගේ අවමගුල අවසාන වී තෙමසක් ගෙවී ගියද රබර් බෝලයක් දිය යට හිර කර ගෙන සිටින්නාක් මෙන් වූ සිතුවිලි වරින් වර මතකයට නැගෙන්නේ ඉබේමයි.

ඇය පොළොව යට මිහිදන් වුවද මට මෙහි තවත් වසර හතරක් හෝ පහක් නම් සිරබත් කෑමට සිදුවන බව සැබෑය.

මේ අතරින් සුන්දරව ගෙවුණු ජීවිතයක් අපටත් තිබුණා නොවේදැයි යන සිතුම මා රැගෙන යන්නේ අතීතය වෙතය.

දිල්කා කමල්ට මුණ ගැහෙන්නේ විවාහ යෝජනාවක ප්‍රතිඵලයකිනි. පවුලේ එකම දරුවා වූ කමල් පොලිස් සේවයෙහි නිරත වූයේ උසස් නිලධාරිවරයෙකු වශයෙනි.

සිය වෘත්තීය ජීවිතයේ ගෙවූ සාර්ථක තත්ත්වය හමුවේත් තම පවුලෙහි එකම දරුවාවීම නිසාත් ඔහුට විවාහය අමතක කර දමා සිටීමට නොහැකි විය.

විවාහ නොවීමට සිතා සිටියද තම මව්පියන්ගේ බලවත් පෙරැත්තය හමුවේ නිහඬව සිටීමට ඔහුට නුපුළුවන් විය. සිය රාජකාරිය දේවකාරිය ලෙස ඇදහූ කමල් තරුණියක් හා හාදවීම සැලකුවේ කරදරයක් ලෙසිනි.

සිය මව්පියන් බැලූ කේන්ද්‍රයට අනුව තමන්ට ගැලපෙනවායැයි කියූ මනාලිය බලන්නට කමල් ගියේ තරමක් නුහුරු බවකින් යුතුවය.

“පුතා මොකද කියන්නේ?”

මනාලි බලා පැමිණි පසු මව හා පියා තමා දෙස බලා සිටියේ තීන්දුවක් ලැබෙන තුරු හිඳින විත්තිකරුවන් දෙදෙනෙකු මෙනි.

“මම කැමැතියි”

කමල් හා දිල්කාගේ විවාහය සඳහා සියලු කටයුතු ඉක්මණින් සූදානම් විය. දෙපැත්තෙහිම මව්පියන්ගේ ආශිර්වාදය මැද කමල් සිය මනාලිය කැන්දාගෙන වලස්මුල්ල වූ තම ගම්ප්‍රදේශයට පිවිසියේ නැවුම් ජීවිතයක සුන්දරත්වය විඳීමේ අදිටනිනි.

“මම රැකියාව කළේ කොළඹ ප්‍රදේශයේ. දිල්කිත් සමඟ විවාහ වුණාට පස්සේ සති අන්තයට නිවසට යන පුරුද්දක් මට තිබුණා.

දිල්කිත් සති අන්තයේ මම එනතුරු බලාගෙන හිටියේ හරිම කැමැත්තෙන්.

අලුත විවාහ වුණු යුවළක් විදියට අපි අපේ ජීවිතය සුන්දරව ගෙව්වා. කාලයක් යන කොට සති අන්තයට ගෙදර ගිය මට යන්න සිද්ධ වුණේ සති දෙකකට වරක්. ඊළඟට නිවසට යන එන එක මාසෙකට වරක් සීමා වුණේ මමත් නොසිතූ විදියටයි.

මාසයකට වරක් යන මේ ගමනේදී අලුත් රියැදුරා සමඟ මම ගෙදර ගියේ මගේ පහසුව සඳහාමයි. ඔහු අජිත්. බොහොම ප්‍රිය මනාප සුන්දර වූ තරුණයෙක් වුණු අජිත්ට අපි සැලකුවේ අපේම කෙනෙකුට වගෙයි. “

මේ නිසාම කමල්ට අජිත් පිළිබඳව තිබ්බේ සහෝදර බැම්මකි. සහෝදර සහෝදරියන් නැතුව සිටි ඔහු අජිත් තම සහෝදරයෙකු මෙනැයි සීතීම පුදුමයක් නොවේ.

කමල්ට අජිත්ව කෙතරම් විශ්වාස වීද යත් ඔහු තම බිරිඳ දිල්කිව අජිත් හා රථය සමඟ සාප්පු සවාරි යැවීමට ද පසුබට නොවීය.

සිය මවගේ අනතුරු ඇඟවීම තඹයකට මායිම් නොකළ කමල් සිය බිරිඳ මෙන්ම හිතමිතුරාවද විශ්වාස කළේය.

“මාස කිහිපයක් ඇතුළත ඔහු අපේ විශ්වාසය දිනාගත්තා. ඒ නිසාමයි ඔහු ඒ තරම්ම අපේ ජීවිතවලට ළං වුණේ. ඒත් දවසක් මම කාර්යාලයට වෙලා ඉන්න අවස්ථාවේ ආව දුරකථන ඇමතුම පිළිබඳව මම විශ්වාස කළේ නැහැ.”

“ඔයා දන්නවද? ඔයාගේ වයිෆ් වාහනයේ රියැදුරුත් එක්ක හාද වෙලා...”

දුරකථනයෙන් ගලාගෙන ආවේ ඒ වගේ වචන පෙළක්. මට ඒ වචන පෙළ අදහාගන්න බැරි වුණත් මම ඒ වගක් පෙන්නුවේ නැහැ. කොහෙද යන පිස්සෙක් කියලා ඇමතුම තිබ්බෙත් ඒ නිසාමයි. තරමක් සිත චංචල වුණත් මගේ බිරිඳ ගැන මට විශ්වාසයක් තිබුණා. ඒත් ඒ විශ්වාසය කෙහොම වුණත් වරින් වර පළමුව පැමිණි දුරකථන ඇමතුම ගලාගෙන ආවා.

මේ නිසාම සැකයක් ඇති නොවුණම නොවෙයි. දවසක් හිටිය ගමන් මම තනියම ගෙදර ගියේ මේ නිසාමයි.

ඒත් බිරිඳගේ කිසිම වෙනසක් මට දකින්න ලැබුණේ නැහැ. පෙර පුරුදු විලසම නැවතත් මා අජිත් සමඟ නිවසට ගියත් ඔවුන්ගේ හැසිරීම් රටා නිරීක්ෂණය කළා.

ඒත් කිසිම හෝඩුවාවක් හොයාගන්න මට පුළුවන් වුණේ නැහැ. මම ඒ අදහස අත්හැරලා දැම්මත් සැකය නම් අඩුවුණේ නැති තරම්.”

මෙය සත්‍යයක් නම් සොයා ගන්නේ කෙලෙසදැයි ඔහු දස අතේ කල්පනා කළේය. සිය මවගෙන් හා පියාගෙන් දිල්කිට විරුද්ධව වචනයක් පිට නොවුණි.

දිනක් තම යහළුවන් කිහිප දෙනෙකු සමඟ ඒකරාශී වුණු කමල් හෝටලයකට පිවිසියේ කලකට පසුව මුණ ගැසෙන තම මිතුරන් පිළිගන්නටය.

මධුවිතෙන් සප්පායම් වූ ඔවුන් අතර අජිත් ද විය. අජිත් ද ඒ වන විට සෑහෙන තරමකට මධුවිත තොල ගා තිබුණි. බිල ගෙවීමට කාලය පැමිණිනි.

වේටර්වරයා බිල ගෙනාවේය. තරගයට මෙන් තම පර්ස් ඇදගත් මිතුරෝ බිල ගෙවීමට ඉදිරිපත් විය.

අජිත් බිල නොගෙවිය යුතු යැයි පැවසූ කමල් මුදල් දීමට සැරසෙනවිටම අජිත්ගේ පර්ස් එකට අතින් ගැසුවේ මුදල් දීම වළක්වන්නටය. සිදුවූයේ අනෙකකි. වැටුණු පර්ස් එකෙන් එළියට පැමිණියේ සුන්දර ඡායාරූපයකි.

“අජිත්ගේ පර්ස් එකෙන් එළියට ආවේ දිල්කිගේ පින්තූරයක්. ඒත් සමඟම විසිවුණු ලියුම අහුලාගත් මම සියලු දේ සාක්කුවෙහි ලා ගත්තේ පස්සේ බලන අදහසින්.

එදා හොඳට නිදාගත්ත මං නැවතත් ලියුම හොඳට කියෙව්වා. මටම මේ ගැන අදහාගන්න බැරිවුණා. දිල්කි අජිත්ට ලිව්ව ලියුමක් බව දැනගන්නකොට මම ගොඩක් පරක්කු බව මට තේරුණා.

ඒ ලියුමේ තිබුණු සමහර දේවල් පිළිබඳව මට අදහාගන්නත් බැරිවුණා. මම ගෙදර යන්න තීරණය කළේ ඉන් පස්සෙයි. සුපුරුදු විදියට නිවාඩුවක් දැම්ම මා ගෙදර ගියේ දෙකින් එකක් බේරා ගන්නා අදහසින්”

දිල්කි කමල්ව පිළිගත්තේ සුපුරුදු අයුරින්. ඇගේ පිළිගැනීම කමල්ට මතක් කළේ ලියුමෙහි ලියා තිබුණුදේය.

ඔහු ඈට ලියුම දමා ගැසුවේ කෑ ගසමිනි. සිය ඉනෙහි හිර කරගෙන සිටි පිස්තෝලය ගත් කමල් දිල්කිට වෙඩි තැබුවේ දෙවරක්ම නොසිතාය.

ඈ ලේ විලක් මැද ඇද වැටුණි. කමල් විගසින් තම ගමෙහි පොලිසියට පැමිණ පාපොච්චාරණයක් කළේය.

ඒ තමා දිල්කිව මරා දැමූ බවය. ඔහු නීතියට භාර විය. ඒ නීතියෙන් බේරෙන්නට නොහැකිබව ඒ වන විටත් ඔහු දන්නා බැවිනි.

“නීතියෙන් නිදහස් වෙන්න කාලයක්ගත වුණත් ගෙදර ගිහින් මගේ අම්මා තාත්තා බලා ගන්නවා...ඒක තමයි මගේ අන්තිම ප්‍රාර්ථනය වෙන්නේ.

_හිරුගොසිප්

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "සැමියාගේ මිතුරා එක්ක ඇතිකරගත් අනියම් පෙම නිසා ජීවිත්වීම තහනම් වූ හැටි"

    Post a Comment