01 February, 2017

ගම්පහ ටියුෂන් සිසුසිසුවියන්ට “අනඟ සුව” අවන්හල්

gampaha-tuition-students-sex-3

බොහෝ දෙනකු කතා කිරීමට තබා සිතීමටවත් අකමැති සහ ඇතමුන් විසින් හිතාමතාම යටගසා ඇති මාතෘකාවක් වන ගම්පහ ටියුෂන් සිසුන්ගේ ලිංගික උප සංස්කෘතිය පිළිබඳව විවෘත මට්ටමින් මූල්වරට අදහස් පළ කරන ලද්දේ ගම්පහ හිටපු නගරාධිපති එරංග සේනානායක මහතාය.

ඒ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ඔහු කියා සිටියේ ඉහත සඳහන් කරුණු පිළිබඳව තමන් දන්නා ‘තිත්ත ඇත්ත’ ප්‍රකාශ කිරීම ඔස්සේ විවෘත සමාජ කතිකාවකට මඟ පෑදෙන බවකි. එමෙන්ම මෙම අර්බුදය පිළිබඳව එම සිසු සිසුවියන්ගේ දෙමාපිය වැඩිහිටියන්, ගම්පහ නගරයේ උපකාරක පන්ති පවත්වන ආචාර්ය ප්‍රජාව සේම නීතිය ක්‍රියාත්මක කරන අංශ දැනුවත් කිරීමෙන් මෙම සදාචාර අර්බුදය පිටු දකින උපාය මාර්ග සෙවිය හැකි බව ද හිටපු නගරාධිපතිවරයා අවධාරණය කරයි.

නව යොවුන් වියත් සමඟ තරුණ සිත් සතන් තුළ අනුරාගය පිබිදීම අතිශය සාමාන්‍ය ජෛව විද්‍යාත්මක සංසිද්ධියකි. විස්මයට කරුණ වනුයේ ඒ වයසේ නව යොවුන් වියේ තරුණයන් තුළ එවන් ආවේග පිබිදී නොතිබුණහොත් පමණි. එහෙත් ඔවුන් තුළ එලෙස පිබිද එන ස්වභාවික ආවේගයන් හට සීමා මායිම් පැනවීම ඕනෑම සංස්කෘතියක් මගින් යම් යම් ප්‍රමාණයන්ගෙන් සිදු කරනු ලබන්නකි. 

අප රටේ වුවද මෙම සීමා මායිම් පැනවීම සමාජ තලයන් අනුව වෙනස් වන බව පැහැදිළිව දැකිය හැක. ඒ අනුව සමාජ ශාලා සංස්කෘතියකට හිමිකම් කියන නාගරික ඉහළ සමාජයේ තරුණ තරුණියන්ට ඇති “ශිෂ්ටාචාරයේ වල්මත්වීම”ට ඇති හැකියාව අප රටේ සුවිසල් සමාජතලය වන පොදු මධ්‍යම පාන්තික දරුවන්ට හිමිවිය යුතු යැයි සිතීම සමාජයේ සදාචාර මට්ටම ශිඝ්‍රයෙන් පහළට ඇද හෙළන්නකි.

ටියුෂන් පන්ති සඳහා ගම්පහ නගරයට පැමිණෙන තරුණ තරුණියන් ප්‍රේම සබඳතාවයන් සඳහා යොමු වීමේ අරුමයක් නොමැති අතර එම ටියුෂන් පන්ති වලට සහභාගීවන සිසුන් තම ප්‍රේමය අනුරාගය සහ ලිංගිකත්වය මුල්කොට සිදු කරනු ලබන චර්යාවන් පිළිබඳ අධ්‍යයනය කිරීම සමාජ විද්‍යාත්මකවද වැදගත් වෙයි.

ප්‍රේමයෙන් වෙළෙන තරුණ යුවලක් මඳ වේලාවක් විවේකීව හා සුවපහසු ලෙස පෙම් පිළිසඳරේ යෙදීම පිණිස වන ස්ථානයන් අතර “අවන්හලට” ලොව පුරා ප්‍රමුඛ තැනක් හිමිවෙයි. මේ තත්වය ගම්පහ ටියුෂන් සිසු සිසුවියන්ට ද එක සේ පොදු වන අතර අපගේ මාතෘකාව වන ඔවුන්ගේ ලිංගික උප සංස්කෘතිය හා එම අවන්හල් අතර ඇති සබැඳියාවන් අනාවරණය කරගැනීමට ද මෙම විමසුමේ දී අපට හැකිවිය. සැබැවින්ම මෙම තත්වය දැකිය හැක්කේ ගම්පහ නගරයේ ඇති අවන්හල් සිය ගණනින් අතලොස්සක පමණක් බවද සියල්ලටම පෙර පැවසිය යුතුව තිබේ.

අප එසේ නොකීවහොත් එය සදාචාරාත්මක ලෙස ව්‍යාපාරික කටයුතු මෙහෙයවන ගම්පහ නගරයේ සියළු භෝජනාගාර සහ අවන්හල් වෙත එල්ල කෙරෙන බලවත් අසාධාරණයක් වනු ඇත.

නමුත් අප මේ පවසන ගණයේ අවන්හල් වලට පැමිණෙන්නවුන් සඳහා පනවා ඇති ආසනවලට අමතරව තවත් විශේෂ ආසන විශේෂයක් තිබේ. ඒවා ඇත්තේ එහි වෙන් කළ ඝන චතුරශ්‍ර (Cube) තුළය. සාමාන්‍යයෙන් පවුල් වශයෙන් හෝ යුවලක් වශයෙන් වෙන්ව ආහාර පාන ගැනීමට කැමැත්තවුන් සඳහා මෙවන් ඝන චතුරශ්‍ර සකසා තිබීම ලොව පුරා අවහන්හල් වල දක්නට ලැබෙන පොදු ලක්ෂණයකි. එහෙත් අප මේ පැවසීමට යන අවන්හල් වල ඇති ඝන චතුරශ්‍ර ඒවා තුළට පිවිසෙන පෙම්වතුන් පෙම්වතියන් හට ඊට වඩා වෙනත් අරමුණු ඉටු කර ගැනීමට ඉඩ සලසා දෙන ඒවාය.

අපගේ නිරීක්ෂණ වලට අනුව එම ක්‍රියාවලිය සිදුවන්නේ මෙලෙසිනි.

ගම්පහ නගරයේ හෝ ඒ ආශ්‍රිතව පිහිටි මෙවන් අවහන්හලක ඝන චතුරශ්‍රයකට පිවිසෙන පෙම් යුවලකට එතුළ සිට තමන් කැමති කෑම බීම ඇනවුම් කළ හැක. නිදසුනක් ලෙස ඔවුන් සුළු කෑම වර්ග (Short eats) සහ සිසිල් බීම ඇනවුම් කළේ යැයි සිතමු. දෙදෙනා සඳහාම ඒ ආහාර පාන වෙනුවෙන් ගෙවිය යුතු නියමිත මුදල ‍රුපියල් එකසිය පනහක් යැයිද සිතමු. එහෙත් ඔවුන් එම කෑම බීම ගන්නා මුවාවෙන් පැයක පමණ කාලයක් එතුළ ගත කළහොත් එම රුපියල් එකසිය පනහේ ගාස්තුවට තවත් රුපියල් සියයක් එකතුවනු ඇත. ඒ ඔවුන්ට එම ඝන චතුරශ්‍රය තුළ නිදහස භුක්ති විඳීමට ඉඩ සැලසීමක් වශයෙනි. 

එමෙන්ම අපගේ නිරීක්ෂණය අනුව ඇතැම් අවන්හල් වල මෙම නිදහස කොතරම් ලබා දෙන්නේ ද කිවහොත් ඒවායේ පිවිසුම් දොරටු දොර රෙදිවලින් ආවරණය කොට තිබේ. ඇත්ත ඇති සැටියෙන් ම කිවහොත් ඒ එම තරුණ තරුණියන්ට අර්ධ වශයෙන් ලිංගිකව හැසිරීමට ඉඩ කඩ විවර කරමිනි. නමුදු තමන් නගරාධිපතිවරයාව සිටි කාලයේ පොලිසියේද සහය ඇතිව මෙබඳු ස්ථාන නිරතුරු පරීක්ෂාවට ලක් කොට එවැනි අවකල් ක්‍රියා වැලැක්වීමට මහත් වෙහෙසක් දැරූ බව හිටපු නගරාධිපතිවරයා කියයි. ඒ අතර එලෙස රහසිගතව අයුතු ලෙස මුදල් ඉපැයූ සෑම අවන්හලක්ම පරීක්ෂා කිරීමට තමන්ට සහ පොලිසියට ඉඩ නොලැබෙන්නට ඇතැයි ද ඔහු වැඩිදුරටත් කියා සිටියි.

තවත් තොරතුරු ඉදිරියේ දී බලාපොරොත්තු වන්න...

ප්‍රසංග පෙරේරා - ජා ඇල_ලක්බිම

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ගම්පහ ටියුෂන් සිසුසිසුවියන්ට “අනඟ සුව” අවන්හල්"

    Post a Comment