01 February, 2017

අවුරුදු 10 කට කළින් ඇතිවුණු හිත් අමනාපකම නිසා වෙඩි උණ්ඩයෙන් අවසන් ගමන් ගිය පළතුරු ප්‍රියන්ත

ambalangoda-family-murder

රෑ එකතුවෙලා වැලි චමින්දගේ ගෙදරදී බිව්වා...

සුදු මල්ලි කිව්ව තැනට ගියාම වෙපන් එකක් ගෙනත් දුන්නා..

වීරත්වය යනු සතුරු බලවේග වලට සෘජුව මුහුණ දීමය. හඳුනාගත නොහැකි ලෙස ගොස් නිරායුද අයකු වෙඩි තබා හෝ කපා කොටා ඝාතනය කිරීම නිවට භාවයට එක් උදාහරණයකි.

මෙවැනි පිරිසක් පසුගිය දෙසැම්බර් මාසයේ අම්බලන්ගොඩ වෙඩි තබා සිව් දෙනකු ඝාතනය කළහ.

ඉන් පළමු සිදුවීම ත්‍රිත්ව ඝාතනයකි. අම්බලන්ගොඩ පොලිස් වසමේ ඉඩම්තොට ප්‍රදේශයේ වෙළෙඳසලකදී නිරායුද දරුපවුලකට වෙඩි තබා ඝාතනය කළ අතර වෙඩි උණ්ඩ පහක් තබා මරා තිබු පුංචි පුතුගේ වයස අවුරුදු හතරහමාරකි.

මේ තිදෙනා ඝාතනය සඳහා ටී - 56 අවිත් රිවෝල්වරත් තුන හතරක් පමණ රැගෙන පුද්ගලයන් හය දෙනකු පමණ පැමිණ තිබු අතර එල්ල කළ වෙඩි උණ්ඩ සංඛ්‍යාව තිස් දෙකකි.

ඊට සතියකට පසු මිටියාගොඩ දී පලතුරු වෙළෙන්දකු වෙඩි තබා මරා දමන අතර ඔහු ද නිරායුද අයෙකි.

මෙලෙස පිට පිට නිරායුද පුද්ගලයන් හතර දෙනකු වෙඩි තබා මරා දැමු මෙම කණ්ඩායමේ සාමාජිකයන් හත් දෙනකු අත්අඩංගුවට ගැනීමට අම්බලන්ගොඩ පොලිසියට හා ඇල්පිටිය නොවිසඳුණ අපරාධ විමර්ශන ඒකකයට හැකිවිය.

නිරායුද පුද්ගලයන් මරා දැමිමට එකතු වූ තවත් කිහිපදෙනකු මේ වන විට ප්‍රදේශය හැර පලා ගොසිනි. පොලිසිය ඔවුන් සොයා මෙහෙයුම් වල නිරතව සිටින අතර ඉදිරියේදී මේ අපරාධ කල්ලි සහමුලින්ම උපුටා දැමීම පොලිසියේ ඒකායන අරමුණ වී ඇත.

මෙරට ක්‍රියාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් බොහෝ දෙනකු මේ වනවිට වළ පල්ලේය. ඒ.... කල්ලි කල්ලි අතර ඇති වූ ගැටුම් හා පොලිසිය සමඟ ඇති වු ගැටුම් හේතුවෙනි. සමහර අපරාධකරුවන් මෙරටින් පලා ගොසිනි. තවත් පිරිසක් සිරගෙදරය.

සිරගෙදර යනු වර්තමානය වන විට අපරාධකරුවන්ට කදිම තෝතැන්නකි.

අපරාධකරුවන් එළියේ සිටින්නේ පන බයෙනි. ඒ... කොයි වෙලාවක හෝ තමා කළ පව් තමා පසු පස එන බව දන්නා නිසාය. විරුද්ධ කල්ලියකින් එල්ල විය හැකි ප්‍රහාර මෙන්ම පොලිසියට කොටුවීමේ සම්භාවිතාව ද වැඩි බැවින් කට්ටි පනිමින් සිටීමට එළියේ සිටින අපරාධකාරයන්ට සිදුව ඇත.

එහෙත් .... ඇතුළේ සිටින අපරාධකාරයන්ට මරණ බියක් නැත. ඒ... ඇතුලේ ආරක්ෂාව තිබෙන බැවිනි. එලෙසම එළියේ සිටින තම සහචරයන් සංවිධානය කොට අපරාධ කරවීමටද කිසිම අපහසුවක් නැත.

ඒ දවසේ පැය විසිහතර පුරාම ජංගම දුරකථන ක්‍රියාත්මකව තබා ගත හැකි නිසාත්, එයින් ඕනෑම වේලාවක කතා කිරීමට කාගේ වත් අවහිරයක් හිරගෙදර නොමැති නිසාත්ය.

අම්බලන්ගොඩ, ඉඩම්තොට පදිංචිව සිටි තිරිමාදුර ඉන්දික කුමාර ද සොයිසා බිරිය අගම්පොඩි දේවිකා ද සොයිසා සහ තිරිමාදුර රන්දික ඒෂාන් ද සොයිසා යන තිදෙනාත්, මීටයාගොඩ පදිංචිකරුවකු වූ හික්කඩුව පල්ලිය ගුරුගේ විපුල ප්‍රියන්ත නොහොත් පලතුරු ප්‍රියන්ත ලෙසින් කවුරුත් දන්නා පලතුරු ව්‍යාපාරිකයාත් වෙඩි තබා ඝාතනය කිරීම බන්ධනාගාරය ඇතුලේ නියෝග සහ සැලසුමකට අනුව ක්‍රියාත්මක වූ බව මේ වන විට ඔප්පු වී අවසානය.

සොබනාහන්දි ජයලත් ද සිල්වා නොහොත් සුදුමල්ලී සහ ඔහුගේ බාල සහෝදරයකු වන සොබනාහන්දි සනත් ද සිල්වා නොහොත් රාජු යන දෙදෙනා ඇතුලේ සිට ජංගම දුරකථන උපයෝගී කරගනිමින් මෙම ඝාතන සැලසුම් කළ බවත්, ඔවුන් එලෙස මෙම සිව්දෙනා මරා දමන්නේ ඔවුන්ගේ වැඩවලට එරෙහි විම නිසා බව පරික්ෂණ වලදි හෙළි වි ඇත.

ඉන්දික සොයිසා ඇතුලු පවුලේ සියල්ලෝම වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය පිටුපස ඉන්දිකගේ පවුලේ ළඟම ඥාතීන් සිටීම පුදුමයක් ලෙස දුටුවද එය පුදුමයක් නොවන බව මේ වන විට ඔප්පු වී අවසානය.

ඉන්දිකගේ ජීවනෝපාය වුයේ වෙළෙඳාමයි. සුපිරි වෙඳෙසලක ස්වරූපය ගත් මෙම කුඩා වෙළෙඳසළ ඉදිකර තිබුණේ ඉන්දිකගේ මවුපියන් පදිංචි ඉඩමේම එම නිවෙසට යාබදවය.

ඉන්දිකගේ පියා ටික දිනෙක සිට ඉන්දිකගෙන් රුපියල් දසලක්ෂයක මුදලක් ඉල්ලමින් සිටි බවට තොරතුරු හෙළි වී ඇත. ඒ... ඉන්දික ගමේ පන්සලේ හිමිනම සමඟ හෙළිකළ තොරතුරු කිහිපයක් නිසාය.

පන්සලේ ප්‍රධාන මෙන්ම ක්‍රියාශීලී දායකයෙක් වූ ඉන්දික පසුගිය පෙරහැර සමයේ ඊට උදව් උපකාර කිරීමට එතරම් මහන්සියක් ගත්තේ නැත.

හිමිනම ඒ පිළිබඳ විමසු විට ඉන්දික පවසා තිබුණේ සිය පියා රුපියල් ලක්ෂ දහයක් ඉල්ලන බවත් එතරම් මුදලක් ලබා දීමට තමාට හැකියාවක් නොමැති බැවින් තම දැඩි අසහනයට පත්ව සිටින බවත්ය.

ඉන්දිකගේ වෙළෙඳසලේ සී.සී.ටී.වී. කැමරා ක්‍රියාත්මකය. එහි හාඩ් ඩිස්ක් එක සහ ස්ක්‍රිනය සවිකර තිබුණේ ඉන්දිකගේ මවුපියන් පදිංචි නිවෙසේය. දෙසැම්බර් මස හතරවැනිදා රාත්‍රියේ දී ඉන්දික සමඟ ගෝරියකට පැටලුන පියා සී.සී.ටී.වී. කැමරාවේ සියලුම ස්විච් විසන්ධිකොට තිබුණේ “උඹේ මේවා උඹ අරගෙන පලයං” යැයි කියමිනි.

ඊට පසුදින එනම් පස් වැනිදා රාත්‍රියේ ඉන්දිකගේ වෙළෙඳසලට ඇතුලු වූ අවිගත් පිරිසක් ඉන්දික බිරිය මෙන්ම දරුවා ද වෙඩි තබා මරා දැම්මේය.
සිද්ධියෙන් අනතුරුව පරීක්ෂණ ආරම්භ කළ පොලිසිය සී.සී.ටී.වී. කැමරා පද්ධතිය පරික්ෂා කිරිමේදී හෙළිවුයේ ස්විච් සියල්ලම විසන්ධි කර තිබු බැවින් කිසිවක් රූගතව නොමැති බවයි.

ඊට සතියකට පසු එනම් දෙසැම්බර් මස දොළොස් වැනිදා මිටියාගොඩ නගරයේ පළතුරු වෙළෙඳසලේ සිටියදී ප්‍රියන්ත වෙඩිතබා මරා දමන අතර මෙම ඝාතන සිද්ධි දෙකම එකම කල්ලියක් විසින් සිදුකරන්නට ඇති බව පොලිසියේ අදහස විය.

ඇල්පිටිය නොවිසඳුණු අපරාධ විමර්ශන ඒකකය ද අම්බලන්ගොඩ පොලිසියේ අපරාධ අංශය ද එක්කොට මෙම අපරාධ කරුවන් සෙවීමේ මෙහෙයුම් දියත් කිරීමට කොට්ඨාසය භාර පොලිස් අධිකාරිවරයා කටයුතු කළේය.

ඒ අනුව නවීන තාක්ෂණය උපයෝගී කරගෙන ඇරැඹී මුලික පරීක්ෂණ වලදී හෙළිවුයේ ඉන්දිකගේ මස්සිනා වන රංජීත් යන අය සිරගෙදර සිටින ජයලත් සමඟ ජංගම දුරකථනයෙන් දිගින් දිගමට කතා බහ කර ඇති බවයි.

ඒ අනුව රංජිත් අත්අඩංගුවට ගන්නා අතර දිගින් දිගටම කළ මෙහෙයුම් වලින් අනතුරුව මෙම ඝාතන ද්විත්වයට සම්බන්ධ පුද්ගලයන් හත්දෙනකු අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිවිය.

කැලණිය, ගෝණවල, පමුණුවිල අංක 28 ඒ ලිපිනයේ පදිංචි ලක්ෂමන් හෙංගෙදරගේ නොහොත් රංමහත්තයා (36) මීටයාගොඩ, මහවත්ත පාර ලිපිනයේ පදිංචි බෙන්තර මල්ලවාරච්චි රොහාන් මංගල නොහොත් පොඩි රෝහණ (24), වලල්ලාවිට ලේ දොළ ලිපිනයේ පදිංචි ප්‍රසාද් හර්ෂ කුමාර (27) කහව, වේරගොඩ, දුවවත්ත ලිපිනයේ පදිංචි කාරියවසම් බ්‍රැන්ඩිගොඩ ගමගේ (45) හික්කඩුව, කලුපේ නවාගන්නාකොළවත්ත ලිපිනයේ පදිංචි දේවමුනි චින්තක මදුරංග (24) දේවමුණි විජිත ආනන්ද සොයිසා නොහොත් රංජිත් (36) (ඝාතනය වූ ඉන්දිකගේ මස්සිනා) සහ මීටියාගොඩ, මහවත්ත අංක 287 ලිපිනයේ පදිංචි මහරඹගේ මදුශංඛ නොහොත් ගුලියා (21) අත්අඩංගුවට පත් හත්දෙනා වේ.

මොවුන්ගෙන් හෙළිකරගත් තොරතුරුවලට අනුව කැළණියේ තාවකාලිකව පදිංචිව සිටින රංමහත්තයා අඟුලාන - කිරිබත්ගොඩ බසයක රියැදුරෙකි. ඔහු වටා එක් රොක්ව සිටින කොන්දොස්තර සහ බස්ලෝඩ් කරන තරුණයන් එකතුකරගෙන ඇතුලේ සිටින ජයලත්ගේ මත්ද්‍රව්‍ය ජාවාරම කරගෙන යයි. ඊට අමතරව ජයලත්ගේ මෙහෙයවීමෙන් සිදුකෙරෙන මනුෂ්‍ය ඝාතනවලටද සහාය ලබා දෙයි.

රංමහත්තයාගෙන් දීර්ඝ ලෙස කළ ප්‍රශ්න කිරීමේදී උතුරුපිටිගල පිහිටි ඔහුගේ නිවෙස පිටුපස සඟවා තිබු මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් සොයා ගැනීමට හැකිවිය.

ටී - 56 ගිනි අවියක් සොයා ගන්නේ පොඩි රෝහණ යන අයගෙන් කළ ප්‍රශ්න කිරීමේදී හෙළි වූ තොරතුරු වලට අනුවය. ඉඩම්තොට ත්‍රිත්ව ඝාතනය සඳහා ටී - 56 ගිනි අවි සහ පිස්තෝල කිිහිපයක් භාවිත කර ඇති බවට ඔප්පු වී ඇතත් අත්අඩංගුවට පත් සැකකරුවන් එම ත්‍රිත්ව ඝාතනයේ වගකීම භාර ගැනීමට ඉදිරිපත්ව නැත. එහෙත්... එම ත්‍රිත්ව ඝාතනයට රංමහත්තයා මෙන්ම රංජීත් සහභාගි වී ඇති බව පොලිසිය සාධක සහිතව ඔප්පු කරගෙන ඇත.

එම ත්‍රිත්ව ඝාතනයේ චෝදනාව ප්‍රතික්ෂේප කළ ද පලතුරු ප්‍රියන්තට ඝාතනයට තමන් සම්බන්ධ බව අත්අඩංගුවට පත් වූ සැකකරුවන් හය දෙනාම පාපොච්චරණය කර ඇත. එහෙත්.... ඝාතනයට අවශ්‍ය වට පිටාව සැකසීම තමන් විසින් සිදුකළ නමුත් වෙඩි තැබුවේ වෙනත් අයකු බවත් ඔහු පිළිබඳ එතරම් තොරතුරු තමන් නොදන්නා බවත් අත්අඩංගුවට පත් වූ පිරිස පවසා තිබිණි. එම ඝාතන සැලසුම ජයලත් නොහොත් සුද්දාගේ බවත්, පලතුරු ප්‍රියන්ත ඝාතනය කිරීමේ අවශ්‍යතාව තිබුණේ ද සුද්දාට බවත් අත්අඩංගුවට පත් පිරිස පවසා ඇත.

මෙම ඝාතන සඳහා උපයෝගී කරගත් ටී - 56 ගිනි අවිය මෙම කල්ලියේ සාමාජිකයකු වු ප්‍රසාද් අතට පත්වන්නේ කෑගල්ලේ පදිංචි අයකුගෙනි.

“නොවැම්බර් මාසේ දවසක ඇතුලේ ඉඳලා සුදුමල්ලී මට කෝල් කරලා කිව්වා කෑගල්ලට ගිහින් ටී - 56 වෙපන් එක අරගෙන එන්න කියලා. මම රෙන්ට් කාර් එකක් අරගෙන යාලුවෙක් එක්ක කෑගල්ලට ගියා. සුදුමල්ලී යන්න කිව්ව තැනට ගියාම පුද්ගලයෙක් ඇවිත් බෑග් එකක් දාලා වෙපන් එක ගෙනැත් දුන්නා. ඒ කවුද කියලා දන්නේ නෑ.”

“මම වෙපන් එක ගෙනත් කුලීයට ඉන්න ගෙදර හංගලා තිව්වා. ඊට පස්සේ ජයලත් කෝල් කරලා කිව්වා ආපහු රෙන්ට් ඒ කාර් එකක් අරගෙන වෙපන් එක තෙලිකඩ වැලි චමින්දගේ ගෙදරට ගෙනියන්න ඒක රෙපයාර් කරගන්න ඕන කියලා. කාර් එක රෙන්ට් එකට අරගෙන දුන්නේ කැලණියේ පැත්තේ ඉන්න සුදුමල්ලිගේ යාලුවෙක්.”

“අපි ඒ කාර් එකේ වෙපන් එකත් දාගෙන වැලි චමින්දලාගේ ගෙදරට ගියා.

“පෝද්දල කාසිදෙසියේ රාළයි, සැලුන් රංගයි එහේට ඇවිත් හිටියා. ඒ දෙන්නා මම ගිය කාර් එකෙන් වෙපන් එකත් අරගෙන තිස්සමහාරාමෙට ගියා රෙපයාර් කරගන්න. ඒ ගියේ කොස්ගොඩ අපරාධ කරලා දැන් තිස්සමහාරාමේ ඉන්න රනා ළඟට”

“වෙපන් එක හදාගෙන ඊට පහුවෙනිදා රාළයි, රංගයි. වැලිචමින්දගේ ගෙදරට ආවා. මමත් කලින් දවසේ වළල්ලාවිට ගෙදර ඉඳලා වැලිචමින්දගේ ගෙදරට ගියා. පස්සේ සුදුමල්ලි කෝල් කරලා කිව්වා. ෆුල්ෆේස් හෙල්මට් දෙකකුයි, ජැකට් දෙකකුයි ගන්න කියලා. රංගයි රාළයි ගිහින් කඩෙන් ඒවා අරගෙන ආවා. අපි කට්ටියම රෑ එකතුවෙලා වැලි චමින්දගේ ගෙදර දී බිව්වා. වැඩේ කරන්න තිබුණේ ඊට පහුවෙනිදාට” ප්‍රසාද් එලෙස කරුණු හෙළි කළේය.

පොඩි රෝහණ යනු මත්කුඩට තදින් ඇබ්බැහි වූ තරුණයෙකි. මෙම ඝාතනයේදී තමාට පැවරී තිබු කාර්යය භාර්ය ඔහු විස්තර කළේය.

“සුද්දා අයියා මට දෙසැම්බර් එකොලොස් වෙනිදා හවස කොල් කරලා කිව්වා පොඩි වැඩක් තියෙනවා ලෑස්තිවෙලා ඉන්න කියලා. වැඩේ මොකක්ද කියලා කිව්වේ නෑ. වැඩේ ඉවර වුණාම මත්පෙති පැකැට් දෙකක් දෙනවා කියලත් කිව්වා”

පොඩි රෝහණ එලෙස පාපොච්චරණය යෙදුණේ මත්පෙති නොමැතිව තමාට වැඩිවේලාවක් සිටිය නොහැකි බවද පවසමිනි.

ජයලත් නොහොත් සුද්දා කළ දැනුම් දීමට අනුව දෙසැම්බර් මස දොළොස්වැනිදා උදේ ප්‍රසාද් ඇල්ටෝ කාරයේ නැඟී වැරැල්ලාන ඉන්ධන පිරවුම්හළ අසලට යන්නේ ටී - 56 ගිනි අවියද රැගෙනය.

ඒ ... වෙඩි තැබීම සිදුකරන පුද්ගලයා එම ස්ථානයට පැමිණෙනු ඇති බවත්, ඔහු “මේ සුදුමල්ලිගේ කට්ටිය” දැයි අසනු ඇති බවත් ඔහු මෝටර් රථයෙන් වේරගොඩට රැගෙන යන ලෙසටත් ජයලත් කළ දැනුම්දීමට අනුවය. වේරගොඩදී පොඩිරෝහණ මෝටර් රථයට ගොඩවිය.

ඒ වනවිට ජයලත්ගේ දැනුම් දීමට අනුව වැලිචමින්ද පල්සර් වර්ගයේ යතුරුපැදියකින් ගොස් අතුරලිය ගල්දුව ආරන්‍යයට යන පාලු මාර්ගය අසල නතරව සිට ඇත.

මෝටර් රථයට ගොඩ වූ පිරිස පලතුරු ප්‍රියන්තගේ වෙළෙඳසල දෙසට යන්නේ වෙඩික්කරුට පලතුරු වෙළෙඳසල පෙන්වීමට සඳහාය.

එය පෙන්වන්නේ පොඩි රෝහණ විසිනි. වෙළෙඳසල පසුකරගෙන ඉදිරියට ඇදුන මෝටර් රථය ටික දුරක් ගොස් නතර විය. ඉන් බැසගත් වෙඩික්කරු පලතුරු වෙළෙඳසලට යන්නේ වෙඩි තබා මරා දැමීය යුතු පුද්ගලයා හරි හැටි හඳුනාගැනීම සඳහාය.

ඔහු වෙළෙඳසලට ගොස් කේක් ගෙඩියක් සහ කෙසෙල් ඇවරියක් මිලදී ගෙන මෝටර් රථයට ගොඩවන අතර එය අකුරල දේවාලයට යන මාර්ගය දිගේ ගමන් කරන්නට විය.

පසුව වැලි චමින්ද යතුරුපැදිය නවතාගෙන සිටී ස්ථානයට මෝටර් රථය ළඟා වන අතර මෝටර් රථයේ තිබු ව්‍යාජ අංක තහඩු දෙකක් යතුරුපැදියට සවිකරන්නේ එම ස්ථානයේදීය.

පොඩි රෝහණට යතුරුපැදිය පැදගෙන යාම පැවරෙන අතර ඔහුත් වෙඩිකරුත් මෝටර් රථයේ රැගෙන ආ ෆුල්ෆේස් හෙල්මට් දමා ජැකට් පැළඳ යතුරුපැදියට ගොඩ වන්නේ ටී - 56 ගිනි අවිය වෙඩික්කරු ජැකට්ටුව ඇතුළේ සඟවා ගැනීමෙන් අනතුරුවය.

“ ගල්දුව ආරන්‍ය පාරේ ඉඳලා කුලීගොඩ පාරට ඇවිත් පුෂ්පාරාම පන්සල පාරෙන් මීටියාගොඩ කහව පාරට දාලා මීටියාගොඩට ගියා. මීටයාගොඩ හන්දියෙන් හරවලා කඩේ ඉස්සරහ බයික් එක නැවැත්තුවා. වෙඩි තියපු එක්කෙනා තුවක්කුව අතට අරන් බහිද්දී කඩේ ඉස්සරහ හිටපු ප්‍රියන්ත එක දැක්කා. එයා බයවෙලා කඩේ ඇතුළට දිව්වා. අරයත් තුවක්කුව අරගෙන පස්සෙන් ගිහින් දොර ළඟදී ප්‍රියන්ත එක ෂොට් එකක් තියලා ආපහු ආවා. මොකද එක වෙඩි පාරක් තිබ්බට පස්සේ වෙපන් එක ලොක් වෙලා”

“මිනිහා දුවගෙන ඇවිත් බයික් එකේ වාඩිවුණා. මම බයික් එක පැදගෙන කාර් එක නවත්තලා තිබුණ තැනට ගියා. එතැන එහායින් පාලු ගෙයක් තිබුණා. ඒක පිටිපස්සේ දෙකයි දෙකේ කොන්ක්‍රිට් වලක් තිබුණා. වෙඩිතියපු වෙපන් එක කාර්එකේ තිබුණ මල්ලක දාලා ඔතලා අර වලට දාලා කොන්ක්‍රිට් ලැල්ලෙන් වහලා කොළ රොඩු උඩට දාලා වැහුවා. වැලි චමින්ද බයික් එක අරගෙන ගියා. මමයි වෙඩි තියපු එක්කෙනයි කාර් එකට නැගලා හික්කඩුවෙන් බැස්සා”

“ඊට පස්සේ සුද්දා අයියා කෝල් කරලා කිව්වා මටයි වෙඩි තියපු එක්කෙනාටයි බස් එකෙන් පානදුරේට යන්න කියලා. කාර් එක හයිවේ එකෙන් පානදුරේට ගෙනියන්න කිව්වා. අපි බස් එකෙන් පානදුරේට ගියා. පානදුරේදී මට කුඩු පැකට් දෙකක් ලැබුණා”

ඊට පස්සේ ආපහු ප්‍රසාද් එකක් කාර් එකේ මමයි වෙඩි තියපු එක්කෙනයි හයිවේ එකෙන් මාතර පැත්තට යද්දී වෙඩි තියපු එක්කෙනා ඉමදුව හරියේදී කිව්වා මාව ඉමදුවෙන් දාලා යන්න. මට මෙහේ ෂේප් වෙලා ඉන්න පුලුවන් කියලා.

මමයි ප්‍රසාදුයි මිරිජ්ජවිල අපේ නංගිලාගේ ගෙදර ගිහින් ඉන්දෙද්දී සුද්දා අයියා දවස් දෙකකට පස්සේ කෝල් කරලා කිව්වා කිරිබත්ගොඩ යන්න කියලා. අපි කිරිබත්ගොඩ රංමල්ලිගේ ගෙදර ගිහින් ඉඳලා දවස් තුනකට පස්සේ මම ආපහු ගමට ආවා.

ඒ වෙද්දී මම කේස් පහකට විතර වරෙන්තුවෙලයි හිටියේ.” පොඩි රෝහණ එලෙස පාපොච්චරණය කළේය.

පලතුරු ප්‍රියන්ත මරා දැමීමට තරම් ජයලත්ට තිබු වෛරයද මෙම පරීක්ෂණ වලදී හෙළිවිය. ඒ... මීට වසර දහයකට පහළොවකට පමණ ඉහත දී පලතුරු ප්‍රියන්ත සහ ජයලත්ගේ පියා අතර ඇති වූ ආරවුලක දී ප්‍රියන්ත පියාට පහර දී තුවාල සිදුකිරීමට පලි ගැනීමක් බවය.

මෙම ඝාතන ද්විත්වයේ පරීක්ෂණ වලදී රංජීත් සතුව තිබී රිවෝල්වරයක් ද පොලිසිය විසින් සොයාගනු ලැබීය.

එලෙසම අත්අඩංගුවට ගත් ටී - 56 ගිනි අවියේ දෝෂයක් පවතින අතර එක වරකට එක් උණ්ඩයක් පිටවීමෙන් අනතුරුව එය ලොක් වන බව ද පොලිසිය විසින් අනාවරණය කරගෙන ඇත.

එලෙසම ජයලත්ගේ තවත් සැලසුමක තොරතුරු ද මේ වනවිට හෙළි වී ඇත.

ඒ.... ඉදිරියේ දී අම්බලන්ගොඩ ප්‍රදේශයේ පාතාල චණ්ඩියා වීමට ජයලත් අර අඳින බවය මෙම සියලු තොරතුරු පොලිසිය විසින් අනාවරණය කරගෙන ඇත. ජයලත් නොහොත් සුද්දාගේ සැලසුම් ව්‍යාර්ථ කොට අපරාධ කරුවන් මුලිනුපුටා දැමීම සඳහා පොලිසිය මේ වන විට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කොට ඇත.

පැනගිය සැකකරුවන් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක වේ.

_හිරුගොසිප්

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "අවුරුදු 10 කට කළින් ඇතිවුණු හිත් අමනාපකම නිසා වෙඩි උණ්ඩයෙන් අවසන් ගමන් ගිය පළතුරු ප්‍රියන්ත"

    Post a Comment