30 January, 2017

දික්කසාදය දුකක් කියලා මම හිතන්නේ නැහැ

roshan-pilapitiya-article

රොෂාන් මේ දවස්වල නිර්මාණ කිහිපයකින්ම පේන්න ඉන්නවනේ..?

ඔව්. මම රඟපාන සල්සපුනා, ආදරේ සුවඳ අරන්, සිඳු කියන ටෙලිනාට්‍ය තුනම මේ දවස්වල විකාශය වෙනවා.

කාලයක් රොෂාන් පේන්නවත් නෑ. හැබැයි කාලෙකට ඕනවටත් වඩා පේන්න ඉන්නවා.මොකක්ද මේ වෙන්නේ..?

මම පේන්න හිටියේ නැත්තේ මම වැඩ නොකරපු නිසා නෙමෙයි. මම ඒ කාලෙත් වැඩ කළා. හැබැයි ඒ නාට්‍ය විකාශය වෙන්න පෝලිමේ තිබ්බා. ඉතිං මේ දවස්වල අලුත් නාට්‍ය වගේම නාට්‍ය කිහිපයක් රිපීට් ටෙලිකාස්ට් වෙන නිසා වැඩිපුර පේන්න ඉන්නවා කියලා හිතෙනවා ඇති.

ක්ෂේත්‍රයට අලුත් අලුත් ශිල්පීන් එකතුවෙලා හිටියත් රොෂාන්ට තාමත් පෙම්වතාගේ තැන ලැබෙනවා නේද..?

ඔව්. හැබැයි මම පෙම්වතාට විතරක් සීමාවෙලා නැහැ. මම විවිධ චරිත නිරූපණය කරනවා. සිඳු නාට්‍යයේ මම නිරූපණය කරන්නේ කළු චරිතයක්. සල්සපුනා නාට්‍යයේ මම කරන පෙම්වතාගේ චරිතය ගැහැනු කෙනාට කීකරු වුණ පෙම්වතෙක්ගේ චරිතයක්. ආදරේ සුවඳ අරන් ටෙලි නාට්‍යයේ මම රඟපාන්නේ කළු සුදු ලක්ෂණ තියෙන පෙම්වතෙක්ගේ චරිතයක්. මේ හැම චරිතයක්ම එකකට එකක් වෙනස්.

රොෂාන්ට පුංචි තිරයේ එදා තිබ්බ ඉල්ලුම තාමත් තියෙනවද..?

ක්ෂේත්‍රයට ආපු කාලේ මම ගොඩක් වැඩ කළා. මම 1988දී ගොළු හදවතෙන් තමයි රංගන කටයුතු පටන් ගත්තේ. එදා ඉඳන් අද වෙනකල් මාසයක්වත් මට වැඩ නොකර ඉන්න වෙලා නැහැ.

දැන් තෝරලා බේරලද වැඩ භාරගන්නේ..?

පුළුවන් තරම් තෝරා ගැනීම් කරනවා. හැබැයි දැන් ටෙලි නාට්‍ය ටිකයි හැදෙන්නේ. මොකද කොරියන්, ඉන්දියන් ටෙලි නාට්‍යයනේ ගොඩක් විකාශය වෙන්නේ.

වේදිකාවටත් රොෂාන් එකතු වෙලා ඉන්නවනේ..?

ඔව්. බල්ලොත් එක්ක බෑ. අලුත් හොරෙක් ඕනෑ. සුදු සහ කළු කියන වේදිකා නාට්‍යවලටත් සම්බන්ධ වෙනවා.

සිනමාව පැත්තේ රොෂාන්ව දකින්න ලැබෙන්නේ අඩුවෙන්නේ..?

නෙලා, වෛශ්නාවි, භවතරණ වගේ චිත්‍රපට කිහිපයකම මම රඟපෑවා. ඒවා තාම තිරගත වුණේ නැති ප්‍රශ්නය තමයි තියෙන්නේ.

අධ්‍යක්ෂණයට ආවොත් නරකද..?

තාමත් මම අධ්‍යක්ෂණයට සුදුසු නෑ කියලා හිතනවා.රංගනයට අද ඊයේ ආපු අයත් අධ්‍යක්ෂණයට එකතු වෙනවා.

රංගනයට ඇවිත් දශක තුනකටත් ළංවෙනවා. තාමන් රොෂාන් අධ්‍යක්ෂණයට සුදුසු මදි කියලද හිතන්නේ..?

වෙන රටවල නම් එහෙම ඕන ඕන විදිහට අධ්‍යක්ෂණයට එන්න බෑ. අපේ රටේ ඕන කෙනෙක්ව අධ්‍යක්ෂවරයෙක් විදිහට හඳුන්වා දෙන්න පුළුවන්. අධ්‍යක්ෂවරු වීමටත් ක්‍රමවේදයක් තියෙන්න ඕන. ඕන ඕන අය අධ්‍යක්ෂවරු වුණාම නිෂ්පාදකවරුන් අමාරුවේ වැටෙනවා. වාහන එළවන්නත් ලයිසන් ඕන. අධ්‍යක්ෂවරු විදිහටත් ලියාපදිංචි කිරීමක් අවශ්‍යයි. කලාවේ හැම දෙයක්ම ප්‍රමිතිගත වෙන්න ඕන.

ඔබ අධ්‍යක්ෂණයට සුදුසු නෑ කියලා හිතන්නේ ඇයි..?

රංගනය, අධ්‍යක්ෂණය කියන්නේ වෙනම කාර්යයන් දෙකක්. රඟපෑවා කියන එක අධ්‍යක්ෂණයට එන්න ප්‍රධාන වෙන දෙයක් නෙමෙයි. අධ්‍යක්ෂණයට එන්න හැදෑරීමක් අවශ්‍යයි. මමත් කවදාහරි අධ්‍යක්ෂණයට එයි. හැබැයි අද හෙට නෙමෙයි. ඒකට සමහරවිට අවුරුදු දහයක් වුණත් ගතවෙයි. අධ්‍යක්ෂණයට එනවා නම් එන්නේ
ඒ ගැන හැදෑරීමක් කරලා.

කාලෙකට පස්සේ රොෂාන්ගෙ ගීතයකුත් ඇහෙනවා..?

ඔව්. "දකින්න ආවේ" කියන ගීතය ෆේස්බුක්, යූ ටියුබ් හරහා යැව්වා. කාලෙකට පස්සේ ගීතයක් කළේ. මේකත් ආසාවට කළේ. ප්‍රතිචාරත් හොඳයි.

නාලිකාවලට ගීතය දෙන්න අදහසක් නැද්ද..?

දැන් ගීත ප්‍රචාරය කරගන්න පැකේජ් ක්‍රම තියෙනවනේ. මම ඉතිං නිහඬව කරන දේ කරලා පාඩුවේ ඉන්නවා. නාලිකාවලට ගීතය දෙන්න ගියේ නැහැ. මට තරගයකට යන්න අවශ්‍ය නැහැ.

පෞද්ගලික ජීවිතේ වෙනසක් වෙන්නේ නැද්ද..?

ඒ දේ කාලයට ඉඩදීලා තියෙනවා.

ජීවිතේ සතුටින්ද ඉන්නේ..?

ඔව්. මම සතුටින්. මම මානසිකව වැටිලා නැහැ. දික්කසාද වීම මහා දුකක් කියලා මම හිතන්නෙත් නැහැ. හැමදේම මට ලැබුණා. මට ලැබුණ සියල්ල අත්දැකීම්. කිසිම පසුතැවීමක් නැතුව ජීවිත කාලේ සතුටින්ම ඉන්න කෙනෙක් තමයි මම.

තිළිණි කෞශල්‍යා විජේසිංහ_මව්බිම

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "දික්කසාදය දුකක් කියලා මම හිතන්නේ නැහැ"

    Post a Comment