07 January, 2017

තෑග්ගට ලැබූ ගුවන් ටිකට් විකුණා අම්මා සුව කරන්න යන කායවර්ධන ශූරයා මාධවන්



"69 වැනි මිස්ටර් ශී්‍ර ලංකා ජාතික කායවර්ධන ශූරතා තරගාවලියේ කනිෂ්ඨ ශූරයා ලෙස සම්මාන දිනාගනු ලබන්නේ මහනුවර පවර් රික්රේට් කායවර්ධනාගාරයේ මාධවන් රාජකුමාරන්", නිවේදකයා එසේ පවසත්ම රාජකුමාරන්ගේ දෑස කඳුළින් තෙත් විණි. 

"මේ හම්බ වෙන සල්ලිවලින් මාව උස් මහත් කරල හදපු අද ඇඳට වැටිල ඉන්න අම්මගේ ඔපරේෂන් එක කරන්න මට පුළුවන්" ඔහුගේ හිතට යම් සහනයක් දැනිණි.

තම ආදරණීය අම්මා කෙනෙක් ගැන එහෙම හිතපු පුතෙක් ගැන අපට අසන්නට ලැබුණේ පසුගිය දෙසැම්බර් 23වැනිදා කොළඹ ඩී.එස්.සේනානායක විදුහල් ශ්‍රවණාගාරයේදී පැවැති 69 වැනි මිස්ටර් ශී්‍ර ලංකා ජාතික කායවර්ධන ශූරතාවලිය නිමා වීමෙන් අනතුරුවය.

එදා පැවැති එම තරගයේදී ජයගත් රාජකුමාරන්ට ඉන්දියාවේ චෙන්නායි නුවරට යෑම හා ඒම සඳහා (සියලු නවාතැන් පහසුකම් සමඟින්) ගුවන් ටිකට් පතක්ද හිමිවිය. 

එම වරප්‍රසාදය (ගුවන් ටිකට් පත) කීයකට හෝ විකුණා ලැබෙන මුදලින් දීර්ඝකාලීනව තේ දලු නෙළීම නිසාම බෙල්ලේ නහරයක් දුර්වල වීම හේතුවෙන් එක් අතක් අප්‍රාණික වී ඇති තම මවගේ ශල්‍යකර්මය සඳහා මුදල් ලබාගැනීමට හැකි බවද ක්‍ෂ්ණිකව ඔහුට අවබෝධ විය. 

අහම්බෙන් ලැබුණු මෙම අවස්ථාව අහිමිකර ගැනීම පිළිබඳව ඔහුට දුකක් හෝ කනගාටුවක් දැනුණේද නැත.

කායවර්ධන ක්‍රීඩාවෙන් ලැබූ ජයග්‍රහණ මෙන්ම මෙම ගමන්මඟේදී ලැබූ දුෂ්කරතා පිළිබඳවත් "මව්බිම" ඔහුගෙන් විමසා සිටි අවස්ථාවේදී මඳක් නිහඬව සිට ඔහුගේ කතාව මෙසේ ආවර්ජනය කළේය.

"මගේ අම්මයි, තාත්තයි මාව මේ තත්ත්වයට ගේන්න තවමත් තේ දලු කඩනවා" යැයි පැවැසූ ඔහු මඳක් ගොළු විය. 

ඔහු යළිත් කටහඬ අවදි කරනතෙක් මම නිශ්ශබ්දව සිටියෙමි. 

"අවුරුදු ගණනක් තේ දලු මල්ල කරේ එල්ලන් ඉඳලා දැන් අම්මගේ එක් අතක් පණ නැති වෙලා නිසා තාත්තා විතරයි දැන් තේ දලු කඩන්නේ. එහෙම එක් අතක් පණ නැති වෙලා තියෙන්නේ බෙල්ලෙ නහරයක් අප්‍රාණික වෙච්ච නිසා කියලා වෛද්‍යවරු කියනවා. 

ඒ නිසා අම්මයි, මමයි, මල්ලියි, නංගියි, ආච්චිටයි අපි පස් දෙනාම නඩත්තු කරන්න වෙලා තියෙන්නේ මගේ තාත්තට. මම මේ සේරම නවත්තලා රැකියාවක් හොයාගන්නත් හිතෙන වෙලාවල් තියෙනවා. ඒත් කායවර්ධන ක්‍රීඩාව වෙනුවෙන් මම මගේ ජීවිතයම කැප කරලා තියෙන්නේ.

රැකියාවක් කළොත් මේ ප්‍රශ්නවලින් යම් සහනයක් වෙනවා නේද? මම අතුරු ප්‍රශ්නයක් නැඟුවෙමි.
ඇත්තටම එහෙම ලැබෙනවා නම් නම් හොඳයි. මම කාගෙන් හෝ ඉල්ලා සිටින්නේ මට රැකියාවක් හොයලා දෙන්න කියලයි. රැකියාව කරන ගමන් කායවර්ධන ක්‍රීඩාවත් කරන්න මට පුළුවන් වේවි. එහෙම වුණොත් මේ ප්‍රශ්නවලින් ටිකක් හරි ගොඩඑන්න පුළුවන්.

පාසල් කාලය කොහොමද?

මම පාසල් ගියේ පුස්සැල්ලාව ජාතික පාසලට. පාසල් ගිහින් ඇවිත් අනෙක් ළමයි වගේ මට සෙල්ලම් කරන්න වෙලාවක් තිබුණේ නැහැ. පාසල් ගිහින් ඇවිත් මමත් අම්මලා එක්ක තේ දලු කැඩුවා. අවුරුදු ගාණක් මම දලු කැඩුවා. 

අ.පො.ස. සා.පෙළින් පස්සේ තේ දලු කඩලා ලබාගත් මුදල්වලින් මම කායවර්ධන පුහුණුවීම්වලට ගියා. එහෙම ගිහිල්ලා 2013 වසරේදී මධ්‍යම පළාත් ක්‍රීඩා උළෙලේදී පළමු තැනත්, 2014 ජාතික පාසල් ක්‍රීඩා උළෙලේ පාසල් කායවර්ධන ශූරයාත් වුණා. ඒ වගේම ජාතික ආධුනික කායවර්ධන ශූරතාවලියේදී තෙවැනි තැනත් දිනාගත්තා.

සමහර දිනවල පුහුණුවීම් පවා නවත්වා පවුලේ බර දරා ගැනීමට වෙහෙස වූ ආකාරය සිහිපත් කරමින් කතා කළ මාධවන්, 

"අවුරුදු ගණනක් බෙල්ලේ තේ මල්ල ඔසවාගෙන හිටිය නිසා දැන් අම්මගේ බෙල්ලේ නහරයක් අප්‍රාණික වී අත පණ නැති වෙලා. ඒ නිසා ඒකට ඔපරේෂන් (ශල්‍යකර්මයක්) කරන්න ඕන කියලා වෛද්‍යවරු කිව්වා. මගේ නංගි ඉන්නේ 6 වසරේ, මල්ලි ඉන්නේ 11 වසරේ. ඒ අයත් සමහර දවස්වල තාත්තට උදව් කරනවා. ඒ දෙන්නා තේ දලු කඩනවා මට බලන් ඉන්න බැහැ. 

ඒ වෙලාවට මම පුහුණුවීම් යෑම නවත්තලා ලොරිවලට දලු පටවනවා. කොහොම වුණත් අම්ම සුව කරගන්න මම මොනවා හරි කරන්න ඕන. ඒ නිසා 69 වැනි ජාතික කායවර්ධන ශූරතාවලියේදී මට චෙන්නායි යන්න ලැබුණු ටිකට් එක විකුණලා දෙන්න කියලා කායවර්ධන සම්මේලනයෙන් ඉල්ලීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකෙන් ලැබෙන මුදලයි තවත් මුදලකුයි හොයාගෙන අම්මගේ ඔපරේෂන් එක ඉක්මනින්ම කරන්න ඕන. ඒ සඳහා කවුරු හරි උදව් කරනවා නම් ඒක ලොකු පිනක් යනුවෙන්ද කියා සිටියේය.

කවුරුවත් උදව් කරන්නේ නැද්ද?

ලාල් පෙරේරා මහත්මය මට ගොඩක් උදව් කරනවා. ඒ මහත්මයා තමයි අයැදුම්පත් දාලා මාව කායවර්ධන තරගාවලි සඳහා යොමුකරන්නේ. ඒ වගේම ජනතා ස්ටීල් හා ටියාම් ස්ටීල් හාඩ්වෙයාර් යන ආයතන දෙක මට තරගවලට ඉදිරිපත්වීම සඳහා අතිරේක පෝෂණයන් (ඉභනනතඥථඥදබ) ලබා ගැනීමට සහාය දක්වනවා.
මේ ගැටලු නිසා ඉදිරියේදී කායවර්ධන ක්‍රීඩාව නවත්වන්න බලාපොරොත්තුවක් තියෙනවද?

දැනට නම් එහෙම අදහසක් මගේ නැහැ. කොපමණ අපහසුතා මැද්දෙ වුණත් ලංකාව වෙනුවෙන් යමක් කරන්න මම කැමැතියි. ඉදිරියේදී එන ආසියානු කනිෂ්ඨ කායවර්ධන තරගාවලියකදී ලංකාවට පදක්කමක් දිනාදීම සඳහා මම උපරිම උත්සාහ ගන්නවා. මොන තරම් දුෂ්කරතා ආවත් හොඳින් පුහුණුවීම් කරලා ලබන වසරේත් ජාතික කනිෂ්ඨ ශූරයා වෙන්නෙත් මම තමයි.

අවසන් වශයෙන් මොනවද කියන්න තියෙන්නේ?

ඇත්තටම මේ ගමන ආවේ කොහොමද කියන එක මට හිතාගන්නවත් බැහැ. ඒ හැම දේකම මුලට ඉන්නේ මගේ අම්මයි, තාත්තයි. ඒ දෙන්නා රැකබලා ගෙන රටට යමක් කිරීමට නම් මම කුමන හෝ රැකියාවක් කළ යුතුයි. ඒ සඳහා කවුරු හෝ දුක හඳුනන කෙනෙක් මට උදව් කරනවා නම් ඒක මගේ ජීවිතයට ලොකු රුකුලක් වේවි. ඒ වගේම කායවර්ධන සම්මේලනයේ මහත්වරුත් මට නොයෙක් ආකාරයෙන් උදව් කරනවා. ඒ ගැනත් විශේෂ ස්තුතියක් කරන්න ඕන.

ක්‍රීඩාවන් ඉවතලා සමාජයට පිළිලයක් වන ක්‍රියාවල නියැළෙන තරුණයන් අතරින් ක්‍රීඩාව වෙනුවෙන් තම ජීවිතය කැප කර ජාත්‍යන්තර වශයෙන් ලංකාවට පදක්කමක් දිනාදීමේ එකම අරමුණ ඇතිව ඉතාමත් දුෂ්කර ක්‍රියාදාමයක නිරත වී සිටින මාධවන් රාජකුමාරන් වැනි තරුණයන්ගේ අනාගතය සාර්ථක කරලීමට අත හිත දීම ජාතියට හිතැති සැවොමගේම වගකීමක් හා යුතුකමක් වන්නේය.

තවද මෙය සටහන් කරන මොහොත වන විට (බදාදා (04දා) ඔහුගේ මව රෝහල් ගත කර ඇති බවද වාර්තා වූ අතර, දැඩි ආර්ථික අපහසුතාවයෙන් පෙළෙන හෙයින් ඔහුගේ හෝ ඔහුගේ නිවෙසේ සිටින අනෙක් සාමාජික සාමාජිකාවන්ගේ හෝ ඡායාරූපයක්වත් අපට ලබා ගැනීමට නොහැකි විය.

-විචිත්‍ර වීරසිංහ

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "තෑග්ගට ලැබූ ගුවන් ටිකට් විකුණා අම්මා සුව කරන්න යන කායවර්ධන ශූරයා මාධවන් "

    Post a Comment