11 November, 2016

අවුරුදු දෙකහමාරකට පස්සේ ඉරේෂාට හස්බන්ඩ්ගෙන් ලැබුණු අවසරය මොකද්ද..?

ඉරේෂා කාලෙකට පස්සේ ආයෙත් වැඩපටන් අරගෙන?

ඔව්. මම අවුරුදු දෙකහමාරක් රංගන කටයුතුවලට සම්බන්ධ වුණේ නැහැ. ඒ කාලේ රංගන කටයුතුවලින් නිහඬ වෙලා ඉඳලා " සල් සපුනා" ටෙලි නාට්‍යයෙන් තමයි ආයෙත් වැඩ පටන් ගත්තේ.

වසර දෙකහමාරක් ඉරේෂාව රංගනයෙන් අෑත් කරලා තිබ්බේ කවුද?

මගේ චූටි පුතා අඩු මාසෙන් ඉපදුනේ. ඒ නිසා වැඩි කාලයක් එයත් එක්ක ඉන්න වුණා. එයාව පරිස්සමට බලාගන්න ඕන නිසා තමයි ඒ කාලය මම රංගනයෙන් අෑත් වෙලා හිටියේ.

නිහඬ වෙලා හිටපු කාලේ රංගනයට ආරාධනා ලැබුණේ නැද්ද?

ටෙලි නාට්‍යවලට ගොඩක් ආරාධනා ලැබුණා. ඒත් පොඩි පුතාව දාලා මට යන්න බෑනේ. ඒ නිසා වැඩ භාරගන්නේ නෑ. ඒ කාලය ඇතුළත කලා කටයුතු නම් මිස් වුණා.

නිහඬතාව බිඳලා තිබ්බ පළමුවැනි අඩිය වැරැදුණේ නෑ නේද?

ඇත්තටම වැරැදුණේ නෑ. මොකද සල් සපුනා ටෙලි නාට්‍යයේ මම නිරූපණය කරන ජූඩිගේ චරිතය සෑහෙන ජනප්‍රිය වුණා. ඒ ගැන ගොඩාක් සතුටුයි.

ජූඩිගේ කතා විලාසය බොහෝ අයගේ අවධානය අරගෙන?

ඔව්. ඒ ගැන ගොඩක් අය කතා කරනවා. ජූඩිගේ චරිතයේ ස්වභාවය කිව්වම මමම තමයි ඒ කතා විලාසය චරිතයට ඕන විදියට වෙනස් කර ගත්තේ. මම වෙනස් දෙයක් කරන්න කැමැතියි. ඒ වෙනසට ප්‍රේක්ෂකයොත් කැමැතියි කියලා හිතනවා.

ජූඩිගේ නපුරුකමට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

මේ චරිතය වෙනස් විදියේ චරිතයක්. මේ චරිතයට බනින කට්ටියකුත් ඉන්නවා. ඇයි ඔහොම නපුරු වෙන්නේ කියලා සමහරු බනිනවා. ඒක ඉතිං ඒ චරිතයේ ස්වභාවයනේ. චරිතය හොඳට කරන නිසානේ ඒ වගේ ප්‍රතිචාර ලැබෙන්නේ.

ජූඩිගේ නපුරුකම්, සැර ගති සැබෑ ජීවිතේ ඉරේෂා ළඟ තියෙනවාද?

මම පොඩ්ඩක් සැරයි. හැබැයි හස්බන්ඩ්ට එහෙම සැර ගති නැහැ. දරුවන්ට නම් මම සැරට ඉන්නවා.

ආයෙම රංගනයට එකතු වෙනවට සැමියා කැමැති වුණාද?

ඔව්. මම රංගනය නතර කරනවා කියලා හිතාගෙන හිටියේ. ඒත් හස්බන්ඩ් කිව්වා ඔයාට හැකියාව තියෙනවා ඒ නිසා රඟපාන්න කියලා. නැත්නම් හැකියාවට අපරාධයක් වෙයි කියලා.

පුතාලා දෙන්නෙක්ම ඉන්න නිසා රංගන කටයුතු කරන්න පහසුද?

බබාලගේ වැඩවලට හස්බන්ඩ් උදවු කරනවා. මට ෂූටින් තියෙන දවස්වලට හස්බන්ඩ් නිවාඩු දාලා හරි බබාලව බලා ගන්නවා. ලොකු සහායක් එයාගෙන් මට ලැබෙන්නේ. ඒ වගේම හස්බන්ඩ්ගේ අම්මත් අපිට උදවු කරනවා.

ඔබෙන් දරුවන්ට ඉෂ්ට කරන්න ඕන වගකීම් මඟහැරෙනවා කියලා හිතෙන්නේ නැද්ද?

නැහැ. මම දරුවන්ගේ වැඩත් කරනවා. හැමදේම බැලන්ස් කරගෙන වැඩ කරන්න මට පුළුවන්. දැන් මගේ ලොකු පුතා පාසල් යනවා. එයාගේ පාසලේ මවුපියන්ට රැස්වීමක් තිබ්බත් මමයි සැමියයි දෙන්නම සහභාගි වෙනවා. පවුල් ජීවිතය තමයි මට අංක එක. රංගනයට ඊට පස්සේ තමයි තැන දෙන්නේ. ඒ නිසා පවුල වෙනුවෙන් දරුවන් වෙනුවෙන් ඉටු කරන්න ඕන වගකීම් මම මඟහරින්නේ නැහැ.

පහුගිය දවස්වල ඉරේෂා කලා ශිල්පීන් එක්ක ජයටම උපන් දිනය සැමරුවනේ. මේක රැල්ලට කරපු වැඩක්ද?

මගේ අම්මා නැති වුණාට පස්සේ මම ගත්ත ලොකු උපන් දින පාටිය මේක. අවුරුදු හයකට විතර පස්සේ මම උපන් දිනය සැමැරුවේ. මේක රැල්ලට කරපු දෙයක් නෙවෙයි. සල් සපුනා ටෙලි නාට්‍යත් එක්ක මට මගේම වගේ හිතෙන පවුලක් හම්බු වුණා. නාට්‍යයේ වැඩ කරන හැමෝම දැන් පවුලක් වෙලා. ඉතින් මට හිතුණා ඒ අයට විතරක් කියලා උපන් දින පාටියක් ගන්න ඕන කියලා. ඒ පාටියට මගේ හස්බන්ඩ්ගේ පැත්තේ නෑදෑයෝ කිහිප දෙනෙක්ම එකතු වුණා. මට ඒ දවස ගැන සතුටුයි. මොකද මට පවුලක් එකතු වුණා වගේ හැඟීමක් දැනුණේ.

ඒ කියන්නේ "සල් සපුනා" පවුලක් හදලා?

ඔව්. මම වුණත් හරි ආසයි එයාලා එක්ක වැඩ කරන්න. "මහ ගෙදර" ෂූටින් දවසට මම ගොඩාක් කැමතියි. මොකද එදාට හැමෝම එකතු වෙනවා. එයාලා මගේ අම්මා, තාත්තා, සහෝදරයෝ වෙලා. දමිතා අක්කා වුණත් කියනවා මේ ඩ්‍රාමා එක ඉවර වුණාම අපි සෑහෙන්න අඬයි නේද කියලා. ඒ තරම් අපි හැමෝම එකමුතුයි.

කලා ක්ෂේත්‍රයේ ඉරේෂාට වඩාත් සමීපම කෙකේ ඉන්නවාද?

මම එහෙම විශේෂම කෙනෙක් කියලා ආශ්‍රය කරන්නේ නැහැ. අපේ වැඩත් එක්ක එහෙම කෙනෙක් විශේෂයෙන්ම ළඟින් ආශ්‍රය කරන්න බැහැ. මගේ යාළුවා, සහෝදරයා, අම්මා, තාත්තා මේ හැමදේම වෙන්නේ මගේ සැමියා.

අවුරුදු විසි එකක් වෙද්දී විවාහ වෙලා දරුවෝ දෙන්නෙක් හදාගෙන මේ ගෙවන ජීවිතේ ගැන සතුටුද?

ඇත්තටම සතුටුයි. මම මගේ ජීවිතේ හරිම කාලෙකදි හැම දෙයක්ම සපුරා ගත්තා. මගේ දරුවෝ එක්ක යාළුවෝ වගේ ඉන්න මම කැමැතියි. එතකොට දරුවෝ අපිත් එක්ක ඕන දෙයක් ෂෙයාර් කර ගන්නවා. දරුවෝ එක්ක වැඩ ගොඩයි. චූටි පුතා දැන් හරි දඟයා. ඒ වුණත් හරිම සුන්දරව සැහැල්ලුවෙන් කාලය ගත කරනවා.

දිගටම රංගන කටයුතු වලට සම්බන්ධ වෙනවද?

දැන් මට පුතාලා දෙන්නෙක් ඉන්නවා. මට දැන් ඒ හොඳටම ඇති. ඒ නිසා දිගටම වැඩ කරනවා.

අලුත් වැඩවලට සම්බන්ධ වුණාද?

ඔව්. මේ දවස්වල රවින්ද්‍ර විජේරත්නගේ සකි ටෙලි ඩ්‍රාමා එකේ රූගත කිරීම් කරනවා. ගුරුවරියගේ චරිතයක් මම නිරූපණය කරන්නේ. මම හරි ආසයි ගැමි චරිත කරන්න. ලැබෙන හැම චරිතයකටම මම උපරිම සාධාරණයක් කරන්න උත්සාහ කරනවා.

තාමත් සිනමාවට සම්බන්ධ වෙන්න බැරි වුණා නේද?

සිනමාවට ආරාධනා ලැබුණා. ඒත් ඇඳුම් ප්‍රශ්න. චරිතවල තිබ්බ ප්‍රශ්න නිසා මම ඒ ආරාධනා භාර ගත්තේ නෑ.

මවක් නිසා තෝරා බේරා ගැනීම් වැඩිද?

මම ඉස්සර ඉඳන් තෝරා බේරාගෙන වැඩ කළේ. මවක් නිසා ඊටත් වඩා තෝරා බේරා ගැනීමක් කරනවා.
අලුත් නිවහනක් ඉදි කරනවා කියලත් ආරංචියි.

ඔව්. අපි මේ දවස්වල ගෙයක් හදනවා. ඒක අපේ සිහින මන්දිරය. ලබන අවුරුද්දේ විතර අපේ සිහින මාලිගාවේ පදිංචි වෙන්න වැඩ කරගෙන යනවා.


iresha-got-permission-from-husband



තිළිණි කෞශල්‍යා විජේසිංහ_මව්බිම
ඡායා - අශාන් ගමගේ

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "අවුරුදු දෙකහමාරකට පස්සේ ඉරේෂාට හස්බන්ඩ්ගෙන් ලැබුණු අවසරය මොකද්ද..?"

    Post a Comment