14 October, 2016

ජනාධිපති සමග රහස් ගිවිසුමක් තිබේද - දේශපාලන කුණාටු මැද ගෝඨාභය කතා කරයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රාජපක්‍ෂවරුන් අතර කිසිදු රහස් ගිවිසුමක් නොමැති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ පවසනවා.

නාවික හමුදාපතිවරුන් තිදෙනෙකු අධිකරණයට කැඳවීම පිළිබඳව අප්‍රසාදය පළ කිරීමට පෙර ජනාධිපතිවරයා තමා සමඟ සාකච්ඡා නොකළ බවත් හිටපු ආරක්ෂක ලේකම්වරයා බීබීසී සංදේශය වෙත සඳහන් කර තිබෙනවා.

මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පිළිබඳව ජනාධිපතිවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු කියා ඇත්තේ වත්මන් ජනාධිපතිවරයාට ‘සත්‍යය අවබෝධවීම’ ගැන තමා සතුටුවන බවයි.

‘මොනව උනත් වර්තමාන ජනාධිපතිතුමාට මේ සිද්ධීන් සම්බන්ධයෙන් සත්‍යය අවබෝධවීම ගැන මම සන්තෝෂ වෙනව. මම හිතනවා ඒ ආකාරයෙන්ම එතුමා ක්‍රියාවෙනුත් සෘජුවම ක්‍රියා කරයි කියලා මේ විවිධ න්‍යාය පත්‍රවලට වැඩ කරන අයගේ බලපෑම්වලට යටත් නොවී.’ යැයි හිටපු ආරක්ෂක ලේකම්වරයා පෙන්වාදී තිබෙනවා.

කෙසේ නමුත් ඔහුට බරපතළ දූෂණ චෝදනා එල්ල කර ඇති බැවින් රටේ පවතින නීතියට අනුව ඒවා විභාග කිරීම නිවැරදි නොවේදැයි බීබීසීය විමසූ විට ඔහු කියා ඇත්තේ තමන් කිසිදු පරීක්ෂණයක් මගහැර නොමැති බවයි.

‘අපි අවුරුදු දෙකක් තිස්සේ පැහැදිලිවම පෙන්නුම් කරලා දුන්න විවිධ ආයතන මගින් කරන මේ පරීක්ෂණ දේශපාලන න්‍යාය පත්‍රයක් මතම කරනවා කියල. දැන් ජනාධිපතිතුමාම මේ කාරණය පැහැදිලි කරලා දෙනවා ඒ ආකාරයෙන් ම.’ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඊට පිළිතුරුදී ඇත්තේ එලෙසයි.

gotabaya-rajapaksa-04

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ජනාධිපති සමග රහස් ගිවිසුමක් තිබේද - දේශපාලන කුණාටු මැද ගෝඨාභය කතා කරයි"

    Post a Comment