02 October, 2016

ක්‍රිකට් තරුවක් වයිබර් තාක්ෂණයෙන් ‘ගාල්ලේ ක්‍රිකට් සභාපතිව’ මහමග මැරවූ අයුරු මෙන්න

පසුගිය දා අම්බලන්ගොඩ ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු සහ ක්‍රිකට් පරිපාලකයෙකු වූ හැළඹගේ ප්‍රේමසිරි සිය නිවස ඉදිරිපිට දී වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් මේ වන විට පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ගාල්ල ක්‍රිකට්‌ සංගමයේ සභාපතිත්වය ලබා ගනිමින් ප්‍රේමසිරි විශාල ප්‍රතිරූපයක්‌ ගොඩනඟාගෙන සිටි අයෙකු වූ අතර පාසල් කාලයේ සිටම දක්‍ෂ ක්‍රිකට්‌ ක්‍රීඩකයකු ද වුණා.

අරලිය සරත් නම් වන ඔවුන්ගේ නෑදෑ පුද්ගලයෙකු මරා දැමූ බවට වූ සැකයට හැළඹගේ ප්‍රේමසිරි ඝාතනය කර ඇති බවයි මේ වන විට තහවුරු වී ඇත්තේ.

ඥාතීත්වයෙන් සිය මාමා කෙනෙකු වන ප්‍රේමසිරි මරා දමා වෛරය පිරිමහ ගන්නට අරලිය සරත්ගේ ඥාති පුත්‍රයන් සැලසුම් කර තිබෙන බව පොලිස් පරීක්ෂණවල දී හෙළිව තිබෙනවා.

අම්බලන්ගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් සහ දක්‍ෂ ක්‍රිකට්‌ ක්‍රීඩකයකු වූ මහේෂ් හැළඹගේ තම මාමාට සාධාරණයක්‌ ඉටුකර දිය යුතුය යන මතයේ සිටි බවයි පැවසෙන්නේ.

“ප්‍රේමසිරිට පාඩමක්‌ ඉගැන්නුවේ නැත්නම් කවද හරි අපට වෙන්නෙත් මේ ටිකමයි. ඒ නිසා වැඩිකල් යන්න ඉස්‌සර මිනිහා ඉවරයක්‌ කරලා දාන්න ඕනේ.” හැලඹගේ සරත්ගේ ඥති පුත්‍රයන් රහසිගත සාකච්ඡාවක නිරත වී ඇති අතර මේ සාකච්ඡාව සඳහා සරත්ගේ පුත්‍රයන් මෙන්ම මහේෂ් සහ ඩොක්‌ටර් නමැත්තා ද එක්‌ව තිබෙනවා.

“දසුන් හොඳ එකා. අපේ පවුල්වලට ඌ කොහොමත් ලැදියි. අපි මේ වැඩේ දසුන්ට භාර දෙමු. මිනිහා වැඩේ පිළිවෙලට කරලා දෙයි.”මහේෂ් සිය ඥාති සොහොයුරන්ට කියා ඇත්තේ දසුන් මානවඩු නම් වන අම්බලන්ගොඩ මැරයෙකුට මෙම ඝාතනය බාර දිය යුතු බවයි.

“ප්‍රේමසිරිට පාඩමක්‌ ඉගැන්නුවේ නැත්නම් අපට අම්බලන්ගොඩ ජීවත්වෙන්න බැරි වෙනවා. මේ වැඩේ අපට කරලා දීපන්. අපි හොඳ ගානක්‌ උඹට ගෙවන්නම්.”

මහේෂ් කළ යෝජනාවට දසුන් මානවඩු එක පයින් කැමැත්ත පළ කර තිබෙනවා.

“මේ වැඩේ මට තනියම කරන්න අමාරුයි. මගේ හොඳ යාලුවෙක්‌ හික්‌කඩුවේ ඉන්නවා. මිනිහවත් මම වැඩේට හවුල් කර ගන්නම්.”දසුන් මිනී මැරුම් දෙකකට සහ තවත් අපරාධ ගණනාවක්‌ සම්බන්ධයෙන් චෝදනා ලැබූ පොඩි පොල් ද මෙයට සම්බන්ධ කරගෙන තිබෙනවා.

ප්‍රහාරය සඳහා සියලු කටයුතු සූදානම් කළ මහේෂ් හේෂාන් ඇතුළු පිරිස ප්‍රේමසිරි මරා දැමීමට දිනයක්‌ ද නියම කර හේෂාන් හොර රහසේ ම ආපසු ඉතාලිය බලා පිටත්ව ඇති බවයි වාර්තා වන්නේ.

අවස්ථාවන් තුනක දී ඝාතන ප්‍රයත්නය ව්‍යර්ථ වී ඇති අතර පසුව ප්‍රේමසිරිගේ ගමන් බිමන් පිළිබඳව ඔත්තු බැලීමට ඥාති පුත්‍රයන් කීපදෙනෙකු යෙදවූ මහේෂ් අගෝස්‌තු මස 12 වැනිදා රාත්‍රි සිය ප්‍රහාරය එල්ල කිරීමට සැලසුම් කර තිබෙනවා.

“ප්‍රේමසිරි ජීප් එක ගෙවල්පැත්තට එන පාරට හැරෙව්වා. පොඩි කොල්ලා ජීප් එකේ ඉස්‌සරහ ඉන්නවා. ඌට කරදරයක්‌ නොවෙන්න වෙඩි තියපං…”

ඔත්තුකරුගෙන් මහේෂ්ට ලැබුණු තොරතුරු අනුව ඔවුන් ක්‍රියාත්මක වී ඇති අතර දසුන් මානවඩු ටී. 56 ගිනි අවිය රැගෙන ජීප් රථය වෙත ගොස්‌ ප්‍රේමසිරි ඉලක්‌ක කර වෙඩි වරුෂාවක්‌ එල්ල කර ඇති අතර පොඩි පෝල් ද ප්‍රේමසිරි වෙත ගොස්‌ පිස්‌තෝලයෙන් ඉලක්‌ක කර ඔහුට වෙඩි කිහිපයක්‌ එල්ල කළ බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

ප්‍රේමසිරි මරා දමා දසුන් සහ පොඩි පෝල් සිටියේ කතරගමයි.ඒ අතර පොඩි පෝල්ගේ නිවසින් ඔහුට ඇමතුමක්‌ ලැබී ඇති අතර “පොඩි දරුවට සංකාව වගෙ. එයා අසනීපෙන් ඉන්නේ. ඒ නිසා ඉක්‌මනට ගෙදර එන්න” යැයි බිරිඳ ඔහුට දුරකථනයෙන් කතා කර සඳහන් කර තිබෙනවා.

සිය දරුවාට අසීමිතව ආදරය කළ ඔහු සියල්ල අතහැර නිවසට පැමිණ ටී 56 ගිනි අවිය සහ පිස්‌තෝලය කාටත් හොර රහසේ නිවසේ සඟවා ඇති බවයි පැවසෙන්නේ.

ප්‍රේමසිරි ඝාතනය සිදුවන අවස්‌ථාවේ එම ස්‌ථානය හරහා හුවමාරු වූ එක්‌තරා දුරකථන පණිවිඩයක රහස්‍ය අංකයක්‌ පොලිසියට සොයාගත හැකිව ඇති අතර එම දුරකථන අංකය පොඩි පෝල් නමැති පුද්ගලයාට අයත් එකක්‌ බව පොලිසිය හෙළිකර ගෙන තිබෙනවා.

පොලිස්‌ ප්‍රශ්නකිරීම් හමුවේ හැළඹගේ ප්‍රේමසිරි ඝාතනයේ සුලමුල හෙළිකිරීමට පොඩි පෝල්ට සිදුව ඇති අතර ඔවුන් වයිබර් තාක්ෂණය ඔස්සේ අපරාධය සැළසුම් කළ බවයි පැවසෙන්නේ.

සියලු සැළසුම් සකස් කිරීම, අවශ්‍ය ඡායාරූප මෙන්ම සිතියම් හුවමාරු කර ගැනීම සහ ඇමතුම් ලබා ගැනීම වයිබර් තාක්ෂණය ඔස්සේ සිදු කළ බව පොඩි පෝල් පොලිසියට දැනුම්දී තිබෙනවා.

සාමාන්‍ය ඇමතුම් ගැනීම මගින් පොලිසියට හසුවන නිසා වයිබර් තාක්ෂණය ඔස්සේ කටයුතු කළ බවයි ඔහු සඳහන් කර ඇත්තේ.

හැළඹගේ ප්‍රේමසිරි ඝාතනයේ ප්‍රධාන සැකකරුවකු වන ක්‍රිකට් ක්‍රීඩකයෙකුවූ මහේෂ් ඒ වන විට හොර රහසේම මලයාසියාවට පැන ගොස්‌ ඇති බවයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.





-නෙත්ගොසිප්

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ක්‍රිකට් තරුවක් වයිබර් තාක්ෂණයෙන් ‘ගාල්ලේ ක්‍රිකට් සභාපතිව’ මහමග මැරවූ අයුරු මෙන්න"

    Post a Comment