31 August, 2016

'සරණ' ට රඟපාන පූස් පැටියාගේ ඇත්ත නම 'පැටී' - මෙන්න විස්තරේ


මේ දවස් වල බොහොම ජනප්‍රිය චරිතයක්නේ සෝරත පොඩි හාමුදුරුවෝ කියන්නේ.

ඒත් එක්කම පොඩි හාමුදුරුවන්ගේ පූස් පැටියා සරණත් හරිම ජනප්‍රියයි.

ඉතින් මේ සරණ සිදු කියන ටෙලිනාට්‍යයට සම්බන්ධ වුණු විදිය ගැන එහි පිටපත් රචක සමන් එදිරිමුනි මහතා සිය ෆේස්බුක් ගිණුමේ මෙලෙස සටහන්කර තිබුණා.

සරණ සරණ වූනේ කොහොමද…?

මගෙන් ගොඩක් අය ඇහුව දෙයක් තමයි සිඳු එකේ පූසට සරණ කියන නම දැම්මෙ ඇයි කියලා. ඒක අහපු ප්‍රමාණය වැඩි නිසාත් සරණ දැන් ගොඩක් ජනප්‍රිය නිසාත් හේතුව කියන්නම්.

ගොඩක් ගෙවල් වල බුදු පිළිම කැඩුණාම මිනිස්සු ඒව ගිහින් දාන්නේ පන්සලේ බෝ ගහ යටට. පූසියෝ දාන අහඹු පැටව් රංචු පිටින් ගිහින් දාන්නේ පන්සල් ඉස්සරහට. නිකං නෙමෙයි පොලිතින් උර වල දාලා. සමහර පැටව් ඒ කවර ඇතුලෙම මැරෙනවා කාගෙවත් නෙත නොගැටී. මම දන්නවා සමහර මිනිස්සු එහෙම කරන්නෙ ඇයි කියලා. ඒත් එහෙම කරන අයගෙ හිත රිදුනොත් කියලා ඒ ගැන අපි කතා නොකර ඉමු.

සෝරත පොඩි හාමුදුරුවෝ දවසක් ගමනක් වැඩලා ආපිටට පන්සලට වඩිද්දී පන්සල ඉදිරිපිට පිවිසුම අසල කවරයක් සර සර හඬින් සෙලවෙනවා. සෝරත පොඩිනම බිය වුණත් ඒ වෙත ලං වෙලා බලනවා. එතකොට කවරෙන් බෙල්ල එළියට දාලා පූස් පැටියෙක් ඥාව් කියනවා. 

අනේ ඉතින් සෝරත පොඩි නමට හරි ආසා හිතෙනවා. පන්සලට අරන් ගිහින් හදාවඩා ගන්නවා. අසරණ වෙලා සරණක් හොයාගෙන ආපු පූස් පැටියෙක් නිසා සෝරත ඒ පූසට සරණ කියන නම දානවා. ඔන්න එහෙමයි සරණට නම වැටුනේ.

සරණට රඟපාන පූස් පැටියගේ නම පැටී. පැටීගේ අම්ම පැටිත් එක්ක පැටව් 4 ක් දැම්මා. අවාසනාවන්ත විදිහට ඉන් 3 ක්ම මැරුණා. ඉතිරි වුනේ පැටී විතරයි. ඒ නිසා පැටී 4 දෙනෙක්ගේ කිරි තනියම බීලා ඉක්මනට ලොකු වුණා. 

හොඳටම හුරතල් වුණා. එයාගේ වයස මාස පහක් විතර වෙනවා. මගේ පොඩි උන් දෙන්නට හුරතල් පෙන්නලා බත් කවපු පැටී දැන් ලංකාවෙම පොඩි උන්ට සතුටක් ගේනවා. තිරිසනෙක් වුනත් පැටීට තිබුණෙ මහ පුදුම දෛවයක්.

කොහොම හරි අන්තිම වුණේ මගේ පොඩි උන්දෙන්න හුරතල් කර කර ඉඳපු පූස් පැටියා ලංකාවෙම හුරතලේ වුණා. දැන් හැම සතියකටම දවස් දෙකක් මම ගිහින් එයාව අරන් එනවා. 

ආයි ගිහින් දෙනවා. ගෙදර ඉඳපූ පූස් පැටියා ෂුටින් ගියා. මේ වෙද්දි එයා පොල්පිතිගම ෂුටින්. ආයි එනකං පොඩි උන් දෙන්නා බලන් ඉන්නවා. මම හිතන්නෙ අපේ පැටී දැන් සරණ කියලා නමත් වෙනස් කරගෙන සෑහෙන්න කාර්යබහුල චරිතයක් වෙලා. 

මටත් හරි සතුටුයි පිට රට නයෙක්ට වඩා ලංකාවේ පූසෙක් වීරයෙක් වෙච්ච එක. සෝරත පොඩි හාමුදුරුවෝ ඇතුළු ළමා චරිත රඟදක්වන දරුවන් තමයි මේ හැම වර්ණයක්ම කදිමට නිර්මාණය තුල සිත්තම් කලේ. 

ඒ ගෞරවය ඒ දරුවන්ට සම්පූර්ණ ලෙස ලැබෙන්න ඕන. ඔවුන්ව ඒ විදිහට හසුරවන තිළිණවත් මතක් කරන්න ඕන. පොඩි දරුවන් සහ පූස් පැටියෙක් මේ විදිහට හසුරවන එක අභියෝගයක් තිලා. උඹලා සෙට් එක ඒ අභියෝගය ලස්සනට ගොඩ දැම්මා. ආසයි. ලස්සනයි. සුන්ඳරයි. ඉතින් ස්තුතියි.



සමන් එදිරිමුණි - සිඳු පිටපත් රචක

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "'සරණ' ට රඟපාන පූස් පැටියාගේ ඇත්ත නම 'පැටී' - මෙන්න විස්තරේ"

    Post a Comment