19 July, 2016

බැංකු වීඩියෝවට හොඳ කණේ පහරක්

මේ ඉරිදා පත්තරේ බැංකු අක්කා කියන කතාව ගැන කියන අපුරු ලිපියක්. හැමෝම මේක අනිවාර්යෙන් කියවන්නම ඕනේ.

ශික්‌ෂණයක්‌ නැති මිනිසුන් සහිත රටකට අලුත් තාක්‍ෂණය ලැබීම වඳුරෙකුට දැලිපිහිය ලැබුණා වැනිය. දැන් ඒ කාලකණ්‌ණි අත්දැකීම අපි විඳිමින් සිටින්නෙමු. මන්ද අප සමාජයේ තරුණ වැඩිහිටි බහුතරය දකින, කරන හැම දේම අත රැඳි ජංගම දුරකථනයෙන් ඡායාරූපගත කරන්නේය.

එසැණින් අතිශය පුද්ගලික කාරණා පවා විලිලැඡ්ජාවකින් තොරව අන්තර්ජාලයට මුදාහරින්නාහ. සියදිවි නසාගැනීමට තැත් කරන අයුරු දැක්‌වෙන වීඩියෝ දර්ශන අන්තර්ජාලයට මුදාහැරීමට තරම් අප සමාජයේ ඇතැම් පිරිස්‌ උමතු රෝගීන් බවට පත්ව සිටින්නාහ.

පසුගිය දිනවල මස්‌ වැද්දන් කිහිපදෙනකු විසින් සතුන් මරා, මස්‌ කරන අයුරු දැක්‌වෙන ඡායාරූප පෙළක්‌ මුහුණු පොතේ සැරිසරන අයුරු දැක අපි කම්පනයට පත් වීමු. ඒ මස්‌ වැද්දන්ගේ තිරිසන්කම ප්‍රදර්ශනය කර තිබුණේ කිසිදු බිය, සැකයකින් තොරව උන්ගේ ඡායාරූප ද සහිතවය.

ඒ මස්‌ වැද්දන් සමාජයට ප්‍රදර්ශනය කරමින් තිබුණේ උන්ගේ හැදියාවේ මන්දබුද්ධිකකමේ ස්‌වභාවයයි. එහෙත් ඉනිදු ලෝකයාට ඒත්තුගැන්වෙන්නේ අප සමාජයේ ම්ලේච්ඡත්වයයි. ගෝත්‍රික ස්‌වභාවයයි. මුහුණු පොතෙන් ඒ තිරිසන් ඡායාරූප පෙළ මැකී යන්නටත් මත්තෙන් තවත් ලිංගික දර්ශන සහිත රහසිගත වීඩියෝ පටයක්‌ අන්තර්ජාලයට මුදාහැරිණි.

මේ වන විට අන්තර්ජාල සැරිසරන්නන්ගේ ‘කටගැස්‌ම’ බවට පත්ව තිඛෙන්නේ ඒ වීඩියෝ පටයයි. තිරිසන් සතුන් මරා ප්‍රසිද්ධ කරන මස්‌ වැද්දන්ගේ ම්ලේච්ඡත්වයයි, මේ ලිංගික දර්ශන සහිත වීඩියෝ පටය අන්තර්ජාලයට මුදාහළ තිරිසනාගේ මානසිකත්වයයි දෙකම එකය.

උමතු සල්ලාලයකු විසින් අන්තර්ජාලයට මුදාහළා වීඩියෝ පටය නරඹා ප්‍රීතියෙන් කුල්මත් වන මිනිසුන් ද අප අතර සිටින්නේය. එහෙත් මේ වීඩියෝ පටය දැකීමෙන් අපගේ සිතේ හටගන්නේ ජීවත් වන සමාජය ගැන දුකකි. මේ ඒ දුක හිතෙන කතාවය.

කතාව පෙළගැසෙන්නේ එක්‌තරා පෞද්ගලික බැංකුවක සිටය. වාර්තා වන අන්දමට එකී බැංකුවේ ජ්‍යෙෂ්ඨ බැංකු සහකරුවකු සහ ලිපිකාරිණියක්‌ ප්‍රේමයෙන් බැඬෙන්නාහ. කාලය ගෙවී යන විට සීමා මායිම් වැට කඩුලු සිඳී බිඳී යන තරමටම ඔවුන්ගේ ආදරය මෝරා වැඩිණි.

අවස්‌ථාවක්‌ ලද සැණින් ඉන්න හිටින තැන ද අමතක කරමින් ආදරයෙන් වෙළුණේ උමතු ප්‍රේමවන්තයන් ලෙසය. සතිඅන්තයේ සෙනසුරාදා ඔවුන්ගේම දිනය විය. මන්ද එදිනට බැංකුවේ වැඩ කරන සේවකයන් අඩුය. ගනුදෙනුකරුවන්ගේ පැමි”ම ද අඩුය. එහෙයින් මේ ප්‍රේමවන්තයන් දෙදෙනාට රිසි සේ පෙම් සුව විඳීමට අවස්‌ථාව සැලසිණි. ලැබූ අවස්‌ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත් ඔවුහු රාජකාරි කරන ස්‌ථානයේදී පවා සිප වැළඳගැනීම්වලින් ඔබ්බට ගොස්‌ ලිංගිකව එකතු වීමට ද පසුබට නොවූහ.

දිනක්‌ නොව, දෙකක්‌ නොව, කාලයක්‌ම මේ දෙදෙනා රාජකාරී ස්‌ථානය තුළදීම බොහෝ වෙලාවක්‌ ලිංගිකව එකතු වූහ. ලිංගිකව එකතුවීම නැවත, නැවත රසවිඳීමට තරම් උන්මත්තකයකු වූ ප්‍රේමවන්තයා ලිංගික ක්‍රියාකාරකම් තම ජංගම දුරකථනයේ පටිගත කළේය. වරක්‌ නොව, කිහිප වරක්‌ම පෙම්වතිය සම`ග ලිංගිකව එක්‌වීම වීඩියෝගත කරමින් නැවත රස විඳ මකා දැමුවේය. ගල් පර, නොතකමින් ඔවුන්ගේ ප්‍රේමය ද ගලා ගියේය.

ටික කාලයක්‌ යන විට ඔවුන්ගේ ප්‍රේමය රාජකාරී ස්‌ථානයට ද රහසක්‌ නොවිණි. එහෙත් ඔවුන්ගේ හැසිරීමේ අවිනීතකම නිසා ප්‍රේමයේ නාමයෙන් පෙම්වතියට රාජකාරි ස්‌ථානයට සමුදෙන්නට සිදු වූවාය. එහෙත් ප්‍රේමවන්ත ජ්‍යෙෂ්ඨ බැංකු සහකරුවා සුපුරුදු ලෙස රාජකාරිය කරගෙන ගියේය.

පෙම්වතිය තම කාර්යාලයෙන් සමුගෙන යැම ඔවුන්ගේ ආදරයට ද බාධාවක්‌ නොවිණි. බාධක අතරින් ඔවුන්ගේ ප්‍රේමය ගලා ගියේය. කාලය ද ගෙවී ගියේය. දිනක්‌ ප්‍රේමවන්තයාගේ සුපිරි පන්නයේ ස්‌මාර්ට්‌ දුරකථනයේ දෝෂයක්‌ ඇති විය. ඔහු තම ජංගම දුරකථනය අලුත්වැඩියා කරගැනීමට ජංගම දුරකථන අලුත්වැඩියා කරන ස්‌ථානයකට භාර දුන්නේය.

එකී සේවා ස්‌ථානයේ කාර්මිකයා දුරකථනය අලුත්වැඩියා කිරීමෙන් ඔබ්බට ගොස්‌ දුරකථනයේ මකා දමා තිබූ සියලු දෑ මෘදුකාංගයක්‌ මගින් නැවත ලබා ගත්තේය. දුරකථන කර්මිකයා ද මානසික ලෙඩෙකි. ඔහු දුරකථනයේ තිබූ ලිංගික දර්ශන සහිත වීඩියෝ පට සියල්ලම තම සන්තකයට ගත්තේය. විටින්, විට එම වීඩියෝ පට නරඹමින් කාලකණ්‌ණි වින්දනයක්‌ ද ලැබුවේය.

මේ සිද්ධි දාමයට අවුරුදු දෙකකටත් වඩා වයසය. එහෙත් මේ වීඩියෝ දර්ශන දුරකථන කාර්මිකයාගේ හිතවතුන්ට දිනෙන් දින අලුත් විය. ඔවුන් එය නරඹා ප්‍රීතියෙන් කුල්මත් විය.

මිතුරන් අතර පමණක්‌ව තිබූ වීඩියෝ දර්ශන මීට සති දෙකකට ඉහතදී කුල්මත් වී සිටි කාගේ හෝ උමතුව උච්ඡත්වයට ගොස්‌ වීඩියෝ පට සමාජ ජාලයකට මුදාහැරිණි. ගත වූයේ මොහොතකි. 'නිල් චිත්‍රපටයක්‌' වැනි වීඩියෝ පටය 'උණු කැවුම්' සේ අන්තර්ජාලය පුරා ප්‍රසිද්ධ විය.

ලිංගික ආශාවන්ගෙන් මත් වී 'පිස්‌සු නැටූ' බැංකු නිලධාරියාට මෙන්ම ඔහුගේ ප්‍රේමවන්තියට හීන් දහඩිය වැටුණේ අන්තර් ජාලය ඔස්‌සේ තමන්ගේ රුව සහිත අසභ්‍ය දර්ශන සහිත වීඩියෝ පටය දකින විටය.

ඒ මොහොත වන විටත් ඔවුන් පරක්‌කුය. වීඩියෝ පටය අන්තර්ජාලයේ අහුමුලුවලට රිංගා අවසානය. ලිංගික දර්ශන නරඹා සතුටු වන ඇතැම් පිරිස්‌ එම වීඩියෝ පටය ආරක්‍ෂිතව සඟවාගෙන ද අවසානය. සිද්ධියට අදාළ පෙම්වතුන් දෙපළගේ 'ෆෙස්‌ බුක්‌' ගිණුම ද අක්‍රීය වී ඇත.

ඔවුන්ගේ ජංගම දුරකථනය ද විසන්ධි විය. සිද්ධියට අදාළ තරුණිය සහ තරුණයා සමාජයට මුහුණදී ගැනීමට නොහැකිව නිවාසවලින් අතුරුදන්ව ඇති බව දැනගන්න ලැබේ. ප්‍රේම වෘතාන්තය අවසාන වන්නේ එසේය.

ලිංගිකත්වය යනු මැජික්‌ එකක්‌ නොවේ. ලිංගික තෘප්තිය යනු මනුෂ්‍ය සහජාශයකි. එහෙයින් වැඩිහිටි දෙදෙනකුගේ කැමැත්ත මත ලිංගිකව එකතුවීම සමාජයේ ගර්හාවට ලක්‌ කිරීමට කිසිවකුට අයිතියක්‌ නැත. එහෙත් සංස්‌කෘතික මිනිසුන් වනචරකමේ නොයෙදෙති.

තැනක්‌ නොතැනක්‌ නොමැතිව තම රාජකාරී ස්‌ථානයද කම් සැප විඳීමට තෝතැන්නක්‌ කරගන්නේ නම් එය මානසික විකෘතියකි. තමන් කරන ලිංගික ක්‍රියාකාරකම් පටිගත කරමින් නැවත රසවිඳීම ඒ මානසික විකෘතියේ දිගුවකි.

එමෙන්ම මේ දෙපළ මහ මඟ පේව්මන්ට්‌ටුවේ අවකෙළි කරන ආතක්‌ පාතක්‌ නැති දෙදෙනකු ද නොව, සමාජයේ දැනුම් තේරුම් ඇති යුවළක්‌ විය යුතුය. එසේ නොවෙන්න ප්‍රසිද්ධ බැංකුවක විධායක නිලධාරියෙක්‌ මෙන්ම බැංකුව ලිපිකාරිණියක්‌ වීමට ද නොහැකිය. එහෙයින් මේ සිද්ධියට සම්බන්ධ පෙම්වතුන් දෙපළ කළ වරදින් නිදොස්‌ කළ නොහැකිය.

එමෙන්ම සිද්ධියට සම්බන්ධ තරුණිය ආශාවන්වල වහළියක්‌ වීමට පෙර තමන් කරන ක්‍රියාවේ බරපතලකම ගැන මොහොතක්‌ සිතුවා නම් අද මෙවැනි ඉරණමකට මුහුණපාන්නට සිදු නොවන්නීය. එමෙන්ම උමතු ලිංගික ආශාවන් සන්තර්පණය කරගැනීමට රාජකාරී ස්‌ථානයේ රාජකාරී වේලාව තුළ තම සේවිකාව පාවිච්චි කළ බැංකු නිලධාරියාට මේ වන විටත් සමාජයෙන් දඬුවම ලැබී හමාරය.

එහෙත් මේ ඔහුට පමණක්‌ උරුම හරුපයක්‌ නොවේ. මෙරට බොහෝ රාජ්‍ය, පෞද්ගලික ආයතනවල ඉහළ නිලධාරීන් අතින් සේවිකාවන්ට සිදු වන කුපාඩිකම් එමටය. එහෙත් ඒ කුපාඩිකම්වල දිග, පළල තේරුම් යන්නේ දෙයක්‌ වැරදුණුු විටය. ඔවුන් දෙපළ පමණක්‌ නොව, මේ සිද්ධියත් සම`ග අදාළ බැංකුවේ සියලු සේවකයන් මේ වන විට සමාජයේ ගර්හාවට ලක්‌ව සිටින්නාහ.

සිද්ධිය දැන සිටින්නන් එකී බැංකුවේ සේවිකාවන් දෙස බලන්නේ අමුතු විදිහටය. මේ සිද්ධියට අදාළ පෙම්වතුන්ගේ ඥාතීහු සමාජයට මුහුණදීමට නොහැකිව සිටින්නාහ. මේ සියලු ගැටලුවලට වගකිව යුත්තේ වළලා දමා තිබූ කුණු කන්ද ඇවිස්‌සූ පහත් ලිංගික ආශාවන්ගෙන් පෙළෙන උන්මත්තක දුරකථන කාර්මිකයාය. සමාජය ඉදිරියේ ගල් ගසා මරා දැමිය යුත්තේ ඒ කාලකණ්‌ණියාවය.

එහෙත් අප මේ අත්විඳිමින් සිටින්නේ ජීවත් වෙමින් ඉන්නා කාලයේ වරදය. මේ හෙළිදරව් වන්නේ රටේ මිනිසුන්ගේ ගෝත්‍රික සිතුම් පැතුම්වල ස්‌වරූපයයි. එහෙත් මේ කිසිවක්‌ අහම්බයක්‌ නොවේ.

ඔවුන් අප අතර ආකෂ්මිකව, හුදකලාව පහළවන්නේ ද නැත. මේ අප විසින්ම කැටයම් දමා නිපදවා ගත් සුරුවම්ය. අප ජීවත් වන්නේ අප විසින්ම නිර්මාණය කරගත් මෙවැනි නිමැවුම් පිරිවරාගෙනය. කනගාටුවෙන් හෝ අප පිළිගත යුතු යථාර්ථය එයයි. මේ කතාව දුකට කියන කතාවක්‌ බව මුලින්ම කියා සිටියේ ඒ නිසාය.

අසාමාන්‍ය ලිංගික චර්යා රටාවන්ට සමාජයේ විශාල ඉඩක්‌ තියෙනවා
මහාචාර්ය කේ. කරුණාතිලක

මෙවැනි අවකල් ක්‍රියා නිසා සමාජයට ඇති වන බලපෑම ගැන කරුණු කාරණා සාකච්ඡා කිරීම සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ මහාචාර්ය කේ. කරුණාතිලක මහතා අපි සම්බන්ධ කර ගත්තෙමු. පහතින් පෙළගැසෙන්නේ ඒ මහතා අප සමඟ දැක්‌ වූ අදහස්‌ය.

ලිංගිකත්වය යනු වැඩිහිටියකු විසින් ඉටු කරගත යුතු කායික හා මානසික අවශ්‍යතාවක්‌. සාමාන්‍ය ලිංගිකත්වය කියන එකෙන් අදහස්‌ වන්නේ වැඩිහිටියන් විසින් සමාජයේ පිළිගත් ආකාරය අනුව ඉටුකරගත යුතු තත්ත්වයක්‌. ලිංගික චර්යාව උපරිම වශයෙන් තෘප්තිමත් කරගැනීම තුළින් පවුල් ජීවිතය සාර්ථකව පවත්වාගෙන යැමට පුළුවන් වෙනවා.

නමුත් මේ සිද්ධියෙන් පෙන්නුම් කරන්නේ සමාජයේ පිළිගත් ආකාරයෙන් ඔබ්බට ගිය අසාමාන්‍ය තත්ත්වයක්‌. ඒ වගේම ලිංගික අවශ්‍යතා ඉටු කරගැනීමේ ඇති බරපතල අවුල් සහගත තත්ත්වයක්‌.

මේ මිනිසුන් ලිංගිකමය වශයෙන් තෘප්තිමත් භාවයක්‌ ලබා ගන්න උත්සාහ කරන්නේ අසාමාන්‍ය ලිංගික චර්යා රටාවලින්. මේ තුළින් පෙන්නුම් කරන්නේ අද සමාජයේ බහුතරය ලිංගික අවශ්‍යතාවලින් අතෘප්තිමත් පිරිසක්‌ බවයි. ඒ අතෘප්තිකරභාවය සමාජයේ බොහෝ දේවල්වලට බලපනවා.

ලිංගික චර්යාවේ අවධීන් පහක්‌ තියෙනවා. ඒ අවධීන් පහම සම්පූර්ණ වුණොත් පමණයි ලිංගික චර්යාවේදී තෘප්තිමත් වුණා කියලා පිළිගත හැක්‌කේ. දැන් අප කතා කරන සිද්ධියේදී මේ දෙපළ හැසිරෙන්නෙ මුල අවධි දෙකට පමණයි. එතැනදී ලිංගික තෘප්තිමත් බවක්‌ ඇති වෙන්නෙ නෑ.

මේ අන්දමින් ලිංගික චාර්යාවල යෙදෙන තරුණ, තරුණියන් සමාජයේ ආතතියෙන් පිරුණු පිරිසක්‌ බවට පත් වෙනවා. මේ තුළින් පැහැදිළි වන්නේ අපේ රටේ මිනිසුන් ලිංගික හැසිරීම පිළිබඳ අවබෝධයක්‌ නැති බවයි.

ලිංගික අධ්‍යාපනයේ තිඛෙන දුර්වලතාවයි. අපේ රටේ පාසල් මට්‌ටමේ සිටින වැඩිහිටි ළමයින්ටවත් ලිංගික අධ්‍යාපනය පිළිබඳ විද්‍යාත්මක අවබෝධයක්‌ ලබා දෙන්නේ නෑ. එවැනි සමාජයකින් බිහි වන ළමයි තරුණ වයසට පැමිණි විට මෙවැනි අසාමාන්‍ය ලිංගික චර්යා ඇති වීම පුදුමයක්‌ නොවේ.

මිනිසුන් තුළ අසාමාන්‍ය හැසිරීම් තියෙන්න පුළුවන්. ඒත් මෙවැනි අසාමාන්‍ය සිද්ධියක්‌ අන්තර් ජාලය හරහා සමාජගත කිරීම කොතරම් දුරට යුක්‌ති සහගතද යන්න සිතා බැලිය යුතුයි. ඒ වගේම මෙවැනි සිදුවීම් සමාජයේ කිසිදු ලෙසකින් පිළිගත හැකි දේවල් නොවේ.

එවැනි වීඩියෝ දර්ශනවලින් පෙන්නුම් කරන්නේ මිනිසුන්ගේ ධර්මතාවන්හි දුර්වලතාවන්. සමාජ විද්‍යාත්මකව මෙය අනෝමීය තත්ත්වයක්‌ ලෙස හැඳින්විය හැකිය. (ධර්මතා රහිත වීම) ලිංගික චර්යාව හා සම්බන්ධ ගැටලුවක්‌ නිසා මෙය ලිංගිකමය වශයෙන් අනෝමීය තත්ත්වයක්‌ ලෙස හැඳින්විය හැකිය.

අනෝමීය තත්ත්වයක්‌ යනු මිනිසුන්ට තමන්ගේ අදාළ සමාජ අවශ්‍යතාව තුළ හැසිරිය යුතු ආකාරය පිළිබඳ ප්‍රමාණවත් අවබෝධයක්‌ නැති බව පෙන්නුම් කිරීම. මේ සිද්ධියේදී ලිංගිකව හැසිරුණු දෙපළ වගේම වීඩියෝ පට අන්තර්ජාලයට මුදාහැරිය පුද්ගලයා ද අසාමාන්‍ය ගති පැවතුම් ඇත්තෙක්‌.

ඒ පුද්ගලයා තව කෙනෙකුගේ පෞද්ගලිකත්වයකට ගරු කිරීමක්‌ කරන්නේ නෑ. ඒ තුළින් අසරණ වෙන්නෙ අසාමාන්‍ය ලෙස ලිංගිකව හැසිරුණු දෙපළ. ඔවුන්ගේ පෞද්ගලිකත්වය එසේ සමාජගත කිරීම තුළින් සමාජය තුළ ඔවුන්ට ඇති රැකවරණය ගැන විශාල ගැටලුවක්‌ මතු වෙනවා. එය ධර්මතා රහිතවීමකටත් වඩා ආචාර ධර්ම උල්ලංඝනය කිරීමක්‌. එය බරපතල වරදක්‌.

ඒ වගේම මේ තුළින් පෙන්නුම් කරන්නේ අසාමාන්‍ය චර්යා රටාවලට සමාජය තුළ යම්කිසි ඉඩක්‌ ඇති බවයි. එයත් අතිශය බරපතල තත්ත්වයක්‌. සමාජය තුළ මෙවැනි සිද්ධි සිදුවෙනවා කියන්නේ යහපැවැත්මට බරපතල හානිදායක තත්ත්වයක්‌. ඒ නිසා රටේ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලින් මේ සිද්ධියට අදාළ පුද්ගලයන් ගැන සොයා බලන්න ඕනෑ.

මේ සිද්ධිය තවදුරටත් සමාජ විද්‍යාත්මකව විග්‍රහ කළොත් අපේ සංස්‌කෘතිය තුළ විවෘත සංස්‌කෘතිය හා ආවෘත සංස්‌කෘතිය කියලා දෙකක්‌ තියෙනවා. පෞද්ගලික ජීවිතයේ ලිංගික චර්යාවන් කියන්නේ ආවෘත සංස්‌කෘතියට අයත් දෙයක්‌. ඒක විවෘත කිරීම යනු සමාජය වැරැදි මඟට යොමු කිරීමට අනුබල දීමක්‌.

මේ සිද්ධිය වීඩියෝගත කළ පුද්ගලයා, වීඩියෝ පටය සමාජගත කළ කෙනා වගේම ඒ ගැන කතා කරන සියලුම දෙනා කරගෙන යන්නේ ආවෘත සංස්‌කෘතිය විවෘත කර සමාජය පරිහානියට ලක්‌ කිරීමට අනුබල දීමක්‌. ඒ නිසා මෙවැනි සිද්ධි වාර්තාකරණයේදී අතිශය වගකීම් සහගත විය යුතුය.

මේ වගේ දේවල් කරන්නේ ලිංගික ආබාධවලින් පෙළෙන මිනිස්‌සු…
මානසික රෝග විශේෂඥ වෛද්‍ය රූමි රූබන්

පෙළගැසෙන මේ සිද්ධිය සම්බන්ධයෙන් මනෝ විද්‍යාත්මකව විග්‍රහයක්‌ ලබාගැනීමට ගාල්ල කරාපිටිය ශික්‍ෂණ රෝහලේ විශේෂඥ මානසික වෛද්‍ය රුම් රූබන් මහතාව අප සම්බන්ධ කර ගත්තෙමු. පහතින් දැක්‌වෙන්නේ ඒ වෛද්‍යවරයාගේ අදහස්‌ය.

දෙදෙනකු ලිංගිකව එකතු වීම අතිශය පුද්ගලික කාරණයක්‌. එය සදාචාරාත්මකද, නීතිගරුකද යන කාරණයද ඔවුන්ගේ පෞද්ගලිකත්වය. තමන්ගේ ලිංගික ක්‍රියාකාරකම් ඡායාරූපගත කරනවාද, වීඩියෝ ගත කරනවාද කියන එකත් ඔවුන්ගේ තීරණයක්‌. ඒත් සමාජයේ ජීවත් වන මිනිසුන් හැටියට පෞද්ගලිකත්වය ආරක්‍ෂා කරගැනීම ඔවුන්ගේම වගකීමකි.

මේ සිද්ධියේදී අතිශය බැරෑරුම් කාරණය වන්නේ කෙනෙකුගේ පෞද්ගලිකත්වය තව කෙනෙකු විසින් ප්‍රචාරණය කිරීමයි. එය නරඹමින් දිගින් දිගට ප්‍රචාරණය කරන්නේ කෙනෙකුගේ පෞද්ගලිකත්වයට හානි කර වින්දනයක්‌ ලබන පහත් මානසිකත්වයක්‌ තිඛෙන අය. එවැනි පුද්ගලයන්ගේ ජීවිත ගැන සොයා බැලූ විට දැනගන්න ලැඛෙන කරුණු කිහිපයකි.

එක ලිංගික ඇසුරක්‌ නොලැබීම, විවිධ ගැටලු නිසා සාමාන්‍ය ලිංගික ජීවිතය අහිමිවීම, විවිධ ලිංගික ආබාධවලින් පෙළීම වැනි කාරණා. එවැනි හේතු නිසා සමාජයේ බොහෝ පිරිස්‌ ලිංගික අතෘප්තභාවයෙන් පෙළෙනවා. එවැනි පුද්ගලයන් මෙවැනි පෞද්ගලික සිදුවීම් රස බලමින් වින්දනයක්‌ ලබා ගන්නවා. ඒ වගේම ඒ පුද්ගලයන් හොර රහසේ කරන ලිංගික දර්ශන නැරැඹීමට දැඩි ආශාවෙන් පෙළෙනවා.


තරංග රත්නවීර

Ear Slap For Bank Video

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "බැංකු වීඩියෝවට හොඳ කණේ පහරක්"

    Post a Comment