22 May, 2016

කෞෂි, සැමියා වෙනුවෙන් කැප කරපු දේ

රංගනයට තියෙන කැමැත්ත සැමියා වෙනුවෙන් කැප කළා.

නිවේදිකාවක් ලෙස තම ළෙන්ගතු හඩින් ඔබ ආමන්ත්‍ර‍ණය කළ, රූමත් බවින් ඔබ වසග කළ ඒ රූමතිය බොහෝ කලකින් අපිට දකින්න ලැබුණේ නැහැ.

කවුරුත් ඇයව ආදරයෙන් ඇමතුවේ සිරස සුබාසිරි කෞෂි කියලයි.

ඉතින් දැන් කෝ මේ කෞෂි....? ඒ ගැන අපිට අහන්න වෙන්නෙත් කෞෂි වික්‍ර‍මසිංහ ගෙන්ම තමයි.

කොහොමද කෞෂි ජීවිතේ?

හොඳටම හොඳයි.

එහෙනම් ඇයි මේ අපිට පේන්න නැත්තේ?

ටිකක් පේන්න හිටියේ නැහැ තමා. මගේ බබා ලැබුණාට පස්සේ එයා වෙනුවෙන්ම මගේ කාලේ කැප කළා.

නිවේදන කටයුතු වලට සමු දුන්නාද?

නැවත සම්බන්ධ වෙන්න ආසාවක් නැත්තෙත් නැහැ. නමුත් මම කැමැති කන්‍සෙප්ට් එකක් තවම මට ලැබුණේ නැති නිසයි දකින්න නැත්තේ.

ඒ කිව්වේ?

එකම රාමුවකට කොටු වෙන්න මගේ කැමැත්තක් නැහැ. නිවේදිකාවක් විදිහට මගේ තියෙන ටැලන්ට් එක එකමආරේ වැඩසටහන් කරලා එකම රාමුවකට කොටු කරන්න මම කැමැති නැහැ. මාව දකින අය අදටත් මට කතා කරන්නේ සුබාසිරි කරපු කෞෂි කියලා. ඉදිරියේදී වෙනස් ආරක වැඩසටහන් ලැබුණොත් බාර ගනීවී.

රංගනයට තවම අදහසක් නැතිද?

රඟපානවාට ගෙදරින් තහංචියි. ප්‍ර‍වීණ සිනමා අධ්‍යක්ෂ වරුන්ගේ සිනමා නිර්මාණ සහ ටෙලි නාට්‍ය බොහොමයකට කතා කළා. නමුත් රංගනයට තියෙන ඒ කැමැත්ත මම මගේ සැමියා වෙනුවෙන් කැප කළා. එහෙත් පහුගිය දවස් කිහිපයේ කමර්ෂල්ස් කිහිපයකට නම් එකතු වුණා.

මොනවද දැන් කෞෂි කරන්නේ?

මම දැන් ව්‍යාපාරිකාවක්. පුංචියට පටන් ගත්ත මගේ ව්‍යාපාරය අද මහ පරිමාණයෙන් කරන් යන්න තරම් වාසනාව ලැබුණා. ඉතින් සීයට කෝටි වාරයක තෘප්තියකින් තමයි ඒ කටයුතු වල නියැලෙන්නේ.

ඒ කියන්නේ කෞෂි තරමක් කාර්යබහුලයි?

තරමක් නෙමෙයි හොඳටම. ඒ නිසාම ජිවිතේ හොඳම සහ වැදගත්ම දේ මම ඉගෙන ගත්තා. ඒ, කාල කළමනාකරණය.

පුතා දැන් හුරතල් වයසක නේද?

ඔව්. එක තප්පරයක් එක විදිහකට ඉන්න බැරි ද`ග පොඩ්ඩෙක්. පුතාගේ නම කවීන් ගෞරව් වික්‍ර‍මසිංහ දැන් පුතාට අවුරුදු හතරක් වෙනවා.

ඔබ බිරියක්, මවක් සහ ව්‍යාපාරිකාවක්. මින් කැමැතිම භූමිකාව මම ඇහුවොත්?

අම්මා.... ඒ ඇතුළේ ගොඩක් දේවල් පුතා නිසා මට ලැඛෙනවා. එය වචන වලින් විස්තර කරන්න අමාරුයි. මගේ සැමියා පවා මට ආදරේට කතා කරන්නේ ‘අම්මි‘ කියලා. ඒ ඔහු අම්මාගේ ප්‍ර‍තිරූපය මා තුළින් දකින නිසා. ඇත්තටම මම මේ ගෙවන්නේ ජීවිතේ විඳින හරිම සුන්දර කාලයක්.

කෞෂි මවක් වුණත් ඒ රූමත් බව එලෙසමයි?

ඊටත් ලොකු කැප කිරීමක් කරන්න ඕනේ. මමත් සාමාන්‍ය අම්මා කෙනෙක් වගේ මං ගැන තැකීමක් නොකර හිටියා නම් අද කෞෂි කියලා මාව අඳුර ගන්නවත් බැරි වේවි.

ඉතින් මොකද්ද ඔබේ රහස?

රහසක් නැහැ. මම පිරිසුදුව ඉන්න, පිළිවෙළට අඳින පළදින කෙනෙක්. එළවළු පලතුරු ගොඩක් කනවා. අනෙක් විශේෂ කරුණ තමයි තමන්ගේ හිත පිරිසුදුව තියා ගැනීම.

ලස්සන සහ ජනප්‍රියත්වය සමඟ කැපිලි කෙටිලි, අයුතු චෝදනාත් පොදුයි?

අප්පේ ඔව්. හරියට තියෙනවා. නිවේදන කටයුතු කරන කාලේත් ටිකක් තිබුණා. ඒ වගේ දේවල් වලට ගොඩක් බල පාන්නේ ඉරිසියාව සහ කුහකකම. හැබැයි මට ඒ දේවල් කරන්න කරන්න මං ඉන් පන්නරයක් ලබනවා. ඇත්තටම අද මම මේ තරම් දියුණු ව්‍යාපාරිකාවක් වුණෙත් ඒ පන්නරය නිසයි.

සැමියාගේ තොරතුරුත් ඔබේ රසිකයන් දැන ගන්න කැමැති වේවි?

ඔහු දමිත වික්‍ර‍මසිංහ. ඔහුගේ මව­ුපියන් මෙරට ආදරය දිනා ගත් මහචාර්ය වරුන්. නමුත් ඔහු ව්‍යාපාර ක්ෂේත්‍රයේ ඉන්න කෙනෙක්. ඔහු මගේ ජීවිතයට ආලෝකයක්.

දේශපාලනයට එන්න කෞෂිගේ සූදානමක් තියෙනවා වගෙයි?

වැරැදිලාවත් නැහැ. හැබැයි මගේ සැමියා ඉදිරියේදී ක්‍රියාකාරී දේශපාලනය තුළින් දකින්න ලැබේවී. ඔහුට ඒ පිළිබඳ හොඳ දැක්මක් සහ දැනීමක් තිඛෙනවා. ඉතින් ඒ දැනීමෙන් අපි උපන් රටට සේවයක් කළ යුතුයි. මම දේශපානයට නාවත් මගේ සැමියා වෙනුවෙන් මගේ උපරිම සහය ලබා දෙනවා. ඇත්තටම ඔහුගේ ගමනේදී මම ඔහුට සෙවණැල්ලක් වේවි.

සංවාදය - ටානියා මෝසස්

ඡායාරූප - ශාන් රූපස්සර





Kaushi what made sacrifices for her husband

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "කෞෂි, සැමියා වෙනුවෙන් කැප කරපු දේ"

    Post a Comment