09 December, 2018

මාරක අනතුරක් කර පළා යමින් සිටි බීමත් රියදුරා තවත් බිහිසුනු අනතුරක් කරයි



ගල්කිස්ස අධිකරණය අසල සහ රත්මලාන ඉන්ධන පිරවුම්හල අසල අද (09) අලූයම සිදුවූ රිය අනතුරු දෙකකින් පුද්ගලයින් තුන්දෙනෙකු මියගොස් තිබෙනවා.


එම අනතුරුවලින් තුවාල ලැබූ පුද්ගලයින් 08දෙනෙකු කලූබෝවිල රෝහලට ඇතුළත් කෙරුණු බවයි පොලීසිය පැවසුවේ.

කොළඹ සිට ගාල්ල දෙසට ධාවනය කළ මෝටර් රථයක් රත්මලාන ඉන්ධන පිරවුම්හල අසලදී මෝටර් රථයක සහ යතුරු පැදි දෙකක ගැටී තිබෙනවා. එහිදී යතුරු පැදිකරුවෙකු සහ තවත් අයෙකු මිය ගිය බවයි පොලීසිය සඳහන් කළේ. අනතුර සිදු කළ මෝටර් රථයේ රියදුරු බීමත්ව සිට ඇති බව ද මූලික විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

මේ අතර ගල්කිස්ස අධිකරණය අසලදී ද අදාළ බිමත් රියදුරා පැදවූ මෝටර් රථයේ මාර්ගයේ ගමන් ගත් තවත් පුද්ගලයින් දෙදෙනෙකු ගැටී තිබෙනවා. එහිදී එක් අයෙකු මිය ගිය බවයි පොලීසිය පැවසුවේ. මෙම අනතුරෙන් පසුව අදාළ රියදුරා එම මෝටර් රථයෙන්ම පළා ගොස් ඇති අතර එහිදීයි ඔහු පැදවූ මෝටර් රථය රත්මලාන ඉන්ධන පිරවුම්හල අසලදී තවත් මෝටර් රථයක සහ යතුරු පැදි 02ක ගැටී තිබෙන්නේ.

මෙම අනතුර සිදු කළ මොටර් රථයේ රියදුරා මේවනවිට පොලිස් ආරක්ෂාව යටතේ කළුබෝවිල රෝහලේ ප‍්‍රතිකාර ලබනවා.





(හේමන්ත කහවලගේ)