03 September, 2017

ඇමරිකාවේ කැත වැඩවලට යටවන පර්ටෝ රිකෝ දූපත් රාජ්‍යය

TITLE

කැරිබියන් මුහුදේ ඊශාන දෙසට වන්නට වර්ග කිලෝමීටර 9,104කින් සමන්විත දූපත් සමූහයක් තිබේ. මේ දූපත් සමුහයට අයත් ප්‍රධාන දූපත හැඳින්වෙන්නේ පර්ටෝ රිකෝ යනුවෙනි. එනිසා එකී දූපත් සමූහය ඇතුළත් රාජ්‍යය හැඳින්වෙන්නේ ද පර්ටෝ රිකෝ රාජ්‍යය යන නමින්ම ය. පුද්ගලයන් මිලියන 3.4කට ආසන්න පිරිසකගේ නිජ බිම වූ පර්ටෝ රිකෝ රාජ්‍යය ඇමෙරිකාවෙහි කොලනියක් ලෙස පවතී.

ඇමෙරිකා එක්සත් ජනපදයෙහි පවත්නා නීතියට යටත්ව පර්ටෝ රිකෝ රාජ්‍යය ඇමෙරිකාවේ මැදිහත් වීමෙන් පාලනය වේ. එසේ නමුත් භූ ගෝලීය වශයෙන් පර්ටෝ රිකෝ රාජ්‍යය අමෙරිකාවෙහි කොටසක් නොවේ. මේ ආකාරයට තවත් රාජ්‍යය 14ක් පර්ටෝ රිකාව පාලනය වන ආකාරයෙන්ම ඇමෙරිකාව යටතේ පාලනය වේ. එම රාජ්‍යය 14 න් මිනිස් වාසයෙන් යුතු වන්නේ පර්ටෝ රිකෝ, ගුවාම්, උතුරු මරියානා දූපත්, එක්සත් ජනපද වර්ජිනියා දූපත් සහ ඇමෙරිකා - සැමෝවා යන රාජ්‍යය පහ පමණි. ඉතිරි රාජ්‍යය නවයෙහිම මිනිස් වාසයක් නැත. යටකී රාජ්‍යය පහ අතරින් ප්‍රමාණයෙන් විශාල වූත්, වැඩිම ජනගහනයක් වෙසෙන්නාවූත් රාජ්‍යය ලෙස සැලකෙන්නේ පෝර්ටෝ රිකෝ රාජ්‍යයයි.

1493 වසරේදී ක්‍රිස්ටෝපර් කොලොම්බස් පළමු වරට මේ රාජ්‍යය පිළිබඳව තොරතුරු වාර්තා කරන විට එහි ජීවත් වූයේ ටයිනෝ නමැති ස්වදේශික ජන පිරිසකි. නමුත් පසු කලෙක පර්ටෝ රිකෝ රාජ්‍යය ස්පාඤ්ඤයේ යටත් රාජ්‍යක් බවට පත්ව වසර හාරසියයක පමණ කාලයක් පැවැතියේ ය. මේ නිසා එරට තුළ කාලාන්තරයක් පුරා පැවැති ස්වදේශික සමාජ ආර්ථික සහ දේශපාලන තත්ත්වයන් මුළුමනින්ම වාගේ වෙනස් වී ගියේ නිරායාසයෙනි. සියවස් හතරක් මුළුල්ලේ ස්පාඤ්ඤ කොලනියක් ලෙස පැවැතෙමින් ස්ථාපිත වුණු සමාජ, ආර්ථික, දේශපාලන සහ සංස්කෘතික තත්ත්වයන් නැවත වරක් විපර්යාසයන්ට භාජනය වන්නට පටන් ගත්තේ 1898 වසරේ පැවැති ස්පාඤ්ඤ - ඇමෙරිකා යුද්ධය මුල් කරගෙනය. 1898දී ඇතිකර ගත් ප්‍රංශ ගිවිසුම ප්‍රකාරව ස්පාඤ්ඤය යටතේ පැවැති යටත් විජිත ඇමෙරිකා එක්සත් ජනපදයට ලබාදෙන්නට එකඟ විය. එහි ප්‍රතිඵලයක් ලෙස ඒ වන තුරු ස්පාඤ්ඤයට අයත් රජ්‍යයක්ව පැවැති පර්ටෝ රිකෝ දූපත් රාජ්‍යය ඇමෙරිකා එක්සත් ජනපදයේ පාලනයට යටත් විය. එදා එලෙස ඇමෙරිකාවේ කොලනියක් බවට පත් පර්ටෝ රිකෝ රාජ්‍යය අද මේ වන තුරුත් ඉන් නිදහස ලබා නැත.

පර්ටෝ රිකෝ වැසියන් නීත්‍යානුකූලව ඇමෙරිකා පුරවැසියන් සේ සැලකේ. එනිසා ඔවුන්ට, ඔවුන් උපත ලද පර්ටෝ රිකෝ රාජ්‍යයත්, අමෙරිකා එක්සත් ජනපදයත් අතර නිදහසේ සංචාරය කරන්නට පුළුවන් වුවත් පර්ටෝ රිකෝ වැසියන්ට ඇමෙරිකා එක්සත් ජනපද කොන්ග්‍රසය තුළ සාධනීය නියෝජනයක් නැත.ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා හෝ උප ජනාධිපතිවරයා හෝ මහජන ඡන්දයෙන් තෝරා පත් කරගන්නා විට ඊට තම ඡන්දය ප්‍රකාශ කිරීමට පර්ටෝ රිකෝ වැසියන්ට ඉඩක් ලැබෙන්නේද නැති නමුත් ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා, පර්ටෝ රිකෝහි ජනාධිපතිවරයා හැටියටත් කටයුතු කිරීම දක්නට පුළුවන. මෙය පර්ටෝ රිකෝ රාජ්‍යය සම්බන්ධයෙන් මහත් අවුල් සහගත තත්ත්වයක් ඇති කරන්නට සමත් තිබේ.

පර්ටෝ රිකෝ රාජ්‍යය තුළ භාවිතයට ගැනෙන මුදල් ඒකකය වන්නේ ද ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් ය. නමුත් පර්ටෝ රිකෝ රාජ්‍යය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන ඇමෙරිකාවේ ආර්ථික සහ බදු ප්‍රතිපත්තීන් දෙස බැලූ විට කෙනකුට හැඟී යන්නේ පර්ටෝ රිකෝ යනු අමෙරිකා එක්සත් ජනපදයේ 51 වන ප්‍රාන්තයදැයි කියාය. ඇමෙරිකාවේ යහපත උදෙසා ක්‍රියාත්මක එවැනි ආර්ථික ප්‍රතිපත්තිවලින් සිදු වන්නේ පර්ටෝ රිකෝවෙහි ගෙල සිර කිරීමක් බව ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති. අද මේ වනවිට පර්ටෝ රිකෝ රාජ්‍යය ණය අර්බුදයකට මැදිව ඇත.

මේ තත්ත්වයෙන් එරට මුදා ගන්නට ඇමෙරිකාව ප්‍රමාණවත් මැදිහත් වීමක් කරන්නේද යන්න සැක සහිතය. එරට පාසල්වලින් 300කට අධික සංඛ්‍යාවක් අද වසා දමා තිබෙන්නේ ද ආර්ථික අර්බුධය මුල් කරගෙන බැව් වාර්තා වේ.

අමෙරිකා එක්සත් ජනපදය සම්බන්ධ වන සෑම යුද්ධයකටම සම්බන්ධ වන්නට පර්ටෝ රිකෝ වැසියන්ට බල කෙරෙන තත්ත්වය පළමුවෙන්ම දැකිය හැකි වුණේ පළමු ලෝක යුද්ධයේ සිටය. පළමු ලෝක යුද්ධය පැවැති 1918 වසරේදී පර්ටෝ රිකෝ වැසියන් 20,000ක් ඇමෙරිකා යුද සේවයට බඳවා ගත් බව සඳහන් වේ. මේ නිසා ඉතිහාසයේ සෑම අවස්ථාවකදීම ඇමෙරිකාවට සම්බන්ධ බලඇණිවල පර්ටෝ රිකෝ වැසියන් ද සේවය කරනු දක්නට ලැබිණ. නමුත් 1940 සහ 1950 දසකය තුළ පර්ටෝ රිකෝ රාජ්‍යය සම්බන්ධයෙන් ඇමෙරිකාව ගෙනගිය පිළිවෙත ඉතාමත් නින්දා සහගතය. එකී කාලය තුළදී ඇමෙරිකාව පර්ටෝ රිකෝවට බලපාන පරිදි සකස් කරගත් 53 වන මහජන නීතිය ප්‍රකාරව පර්ටෝ රිකෝ වැසියකුට ඇමෙරිකාවට එරෙහිව කිසිවක් කියන්නට, ගයන්නට හෝ සිවුරුහන් ලන හඬක්වත් නඟන්නට හෝ ඉඩක් නොලැබිණ.

ඇමෙරිකා එක්සත් ජනපදය පර්ටෝ රිකෝ රාජ්‍යයේ ජනගහනය පාලනයට අනුගමනය කළ තුච්ඡ පිළිවෙත ගැනත් මෙහිලා සඳහන් නොකරම බැරිය. මේ පිළිවෙතට මුල පෑදුණේ පර්ටෝ රිකෝ රාජ්‍යය 1898 වසරේදී ඇමෙරිකාව යටතට ගැනීමත් සමඟ ය. එවක අමෙරිකා බලධාරීන් කියා පර්ටෝ රිකෝහි ජනගහනය පාලනය නොකළ හොත් ආර්ථික සහ සමාජ ගැටලු රැසක් නුදුරු අනාගතයේදීම පැන නඟින්නට ඉඩ ඇති බවකි. මේ නිසා පර්ටෝ රිකෝහි ජනගහන පාලනයට විශේෂ නීති රීති ඇමෙරිකාව තුළ සකස් කෙරිණ. එය මැනවින් පිළිබිඹු වන්නේ 1937 වසරේදී පර්ටෝ රිකාව සම්බන්ධයෙන් අමෙරිකා බලධාරීන් සම්මත කරගත් ප්‍රඥප්තියේ 116 වන වගන්තියෙහි ය. පර්ටෝ රිකෝහි ජනගහන පාලනයට වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට එමඟින් ඉඩ සැලසිණ. එයින් පර්ටෝ රිකෝ කාන්තාවන්ට වන්ධ්‍යකරණයට ලක්වීමට බල කෙරුණ බව දැක්වේ. මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වුණේ කිසිඳු හඬක් නොනඟා ය. වන්ධ්‍යකරණයට ලක්වන කාන්තාවන් පවා තමන්ට අනාගතයේ කිසිඳු දිනයෙක දරුවන් වදන්නට බැරි බව දැන සිටියේ නැත. පෝර්ටෝ රිකෝහි කාන්තාවන්ගේ වන්ධ්‍යකරණය පිළිබඳව 1965 වසරේදී සමීක්ෂණයක් කෙරිණ. මේ සමීක්ෂණයෙන් අනාවරණය වූයේ වයස අවුරුදු 20ත් 49ත් අතර වයස් පරාසයේ පසුවන පෝර්ටෝ රිකෝ කාන්තාවන්ගෙන් තුනෙන් එකකට ආසන්න ප්‍රමාණයක් වඳ ප්‍රතිකාර ක්‍රමවලට ලක් කර ඇති බවය. ඒ පිළිබඳව එම කාන්තාවන්ගෙන් ලබා ගත් කරුණුවලින් සනාථ වූයේ ඔවුන් සිතුවේ තමන් භාජනය වී ඇත්තේ තාවකාලික උපත් පාලන ක්‍රමයකට හෝ නැවත සරු භාවය ළඟා කරගත හැකි ප්‍රතිකාර ක්‍රමයකටය හෝ කියාය යන කාරණයයි. නමුත් සිදුව තිබුණේ එම කාන්තාවන්ව ස්ථිර වන්ධ්‍යකරණ තත්ත්වයන්ට පැමිණවීමකි.

පර්ටෝ රිකෝ රාජ්‍යයට අයත් වියේකිවුස් දූපත අද වනවිට භාවිතයට ගැනෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ නාවුක අවශ්‍යතා සඳහාය. ඇමෙරිකා නාවුක හමුදාවට අයත් බෝම්බ හෙළීමේ භූමියක් ලෙස එය පරිහරණය කෙරේ. මේ නිසා එහි පරිසර පද්ධතියට හානි පැමිණෙන අතර දූපතට විෂ රසායනික ද්‍රව්‍ය එකතු වීමත් නතර කළ නොහැකිව වී තිබේ.

ඇමෙරිකා එක්සත් ජනපදය පර්ටෝ රිකෝ රාජ්‍යය කොලනියක් හැටියට පවත්වාගෙන යාම කෙරෙහි ජගත් සංවිධානයේ අවධානය යොමු වුණේ 1953 වසරේදී පමණය. පර්ටෝ රිකෝවට නිදහස් රාජ්‍යයක් ලෙස ගොඩ නැඟෙන්නට අවශ්‍ය පරිසරය, ඇමෙරිකාව උදා කර දිය යුතු බැව් ජගත් සංවිධානය තුළදී එදා සාකච්ඡා විය. එසේ වුවත් පෝර්ටෝ රිකෝ රාජ්‍යය අද වනවිටත් අමෙරිකා එක්සත් ජනපදයේ කොලනියක් ලෙසට ක්‍රියාත්මක වේ.

අල් ජසීරා ඇසුරෙනි (මංජුලා විජයරත්න - දිනමිණ)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ඇමරිකාවේ කැත වැඩවලට යටවන පර්ටෝ රිකෝ දූපත් රාජ්‍යය"

    Post a Comment