01 August, 2017

අභියෝගය ජයග්‍රහණයට ශක්තියක්

Pathegama Gnanissara Thero - Venerable Professor
මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමි

පාසල් අධ්‍යාපනයේ කඩඉම උසස් පෙළ විභාගයයි. එම විභාගය සඳහා දරුවකු නිරවුල් මනසින් යුතුව සූදානම් විය යුත්තේ කෙසේද? උසස් මතක ශක්තියක් ඇති කර ගන්නේ කෙළෙසද? ප්‍රශ්න පත්‍රයට නිවැරැදිව මුහුණ දීම සිදුකරන්නේ කොහොමද යන කාරණා පිළිබඳ සාකච්ඡා කිරීමට අප හා එක්වන්නේ ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ බෞද්ධ හා පාලි අධ්‍යයන අංශයේ මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමියි.

ළඟ එන උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත දරුවන් ඒ සඳහා සූදානම් කළ යුත්තේ කෙසේද?
දරුවන් විභාග සඳහා මුහුණදීමට සූදානම් කරවීම දෙමව්පියන්ගේත්, ගුරුවරුන්ගේත් වගකීමක්. ඒ වගේම අධ්‍යාපනය හදාරණ දරුවන්ගේත් බරපතළ වගකීමක්. අධ්‍යාපනය ලැබීමට රුචිකත්වයක් දැක්වීමත් අධ්‍යාපනය ලැබීමත් දරුවන්ගේ එකම කාර්යභාරය විය යුතුයි. මව්පියන් දරුවන්ට සිවුපසයෙන් සලකනවිට දරුවන්ගේ එකම කාර්යභාරය හොඳින් අධ්‍යාපනය ලැබීමයි.

දරුවන්ට උගන්වනවාට ගුරුවරුන්ට රජයෙන් වැටුපක් ගෙවනවා වුණත් ගුරු වෘත්තියේ වටිනාකම එයින් තක්සේරු කරන්න බැහැ. ඊට අමතරව දෙමව්පියන් විසින් දරුවන්, යම් යම් උපකාරක පංතිවලට යොමුකරමින් ඔවුන්ගේ ඉගෙන ගැනීම් කටයුතුවලට සහාය දක්වනවා. දරුවන් හොඳින් අධ්‍යාපනය ලබනවා යනුවෙන් අදහස් කරන්නේ තමන්ගේ විෂය නිර්දේශයට අදාළ වන්නා වූ විෂය කරුණු මතකයේ තබාගැනීමයි. මතකයේ තබාගැනීමත් විභාගය සඳහා සූදානම්වීමක්. මතකයේ තබාගත් කරුණු තුළින් ලිඛිතව පිළිතුරු ලිවීමේ හැකියාව ඇති කර ගැනීම දරුවාගේ දක්ෂතාවයයි. විභාගය යනු මතක ශක්තිය හා ලේඛන හැකියාව උරගා බලන එක්තරා පරීක්ෂණයක්.

මතක ශක්තිය වර්ධනය කරගත යුත්තේ කුමන ආකාරයෙන්ද?
පිරිසිදුව පිළිවෙළට පාඩම් කිරීම කෙටි සටහන් තබා එම පාඩම් මතකයේ තබා ගැනීම. නිරවුල් මනසක් තබාගැනීම සඳහා ආගමික වත්පිළිවෙත්වල යෙදීම ඉතාම හොඳයි.

එයින් මතක ශක්තිය වර්ධනය කරගත හැකි වෙනවා. මතක ශක්තිය වර්ධනය කර ගැනීමට මනස ඒකාග්‍රව තබාගැනීම ප්‍රයෝජනවත් වෙනවා. චුල්ලපන්තක හාමුදුරුවන්ගේ මතක ශක්තිය වර්ධනය කරගැනීම සඳහා රෙදිකඩක් අතගාමින් මනස එම කාරණාව කෙරෙහි යොමුකරවීම බුදුරජාණන් වහන්සේ ලබා දුන් අභ්‍යාසයයි. එයින් චුල්ලපන්තක හාමුදුරුවන්ගේ මනස එකම අරමුණක පිහිටුවා ගන්න හැකිවුණා.

ඒ ආකාරයේ නිදහස් ක්‍රියාකාරකම්වල යෙදීම විභාග සඳහා පෙනී සිටීමට අපේක්ෂාවෙන් ඉන්න දරුවන්ට උපකාර වෙනවා. ඒ වගේම පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර අධ්‍යයනය කිරීමත් වැදගත්. විෂය නිර්දේශයට අනුව පසුගිය විභාග සඳහා ප්‍රශ්න ගොඩ නඟා තිබෙන ආකාරය, ප්‍රශ්න සැකසීම සඳහා යොදාගත් පාඩම්, එම පාඩමට අනුව ප්‍රශ්නයක් යෙදෙන ආකාරය වෙන් වෙන් වශයෙන් අධ්‍යයනය කරන්න ඕන.

එය මනාව හැදෑරීමෙන් දරුවන්ගේ ඉදිරි විභාග සඳහා ලැබෙන ප්‍රශ්න පිළිබඳ අනුමාන හැඟීමක් ඇති කරගන්න පුළුවන් වෙනවා. මෙබඳු කාර්යයන් සඳහා දරුවන් නැඹුරු කරවීම හා හැඩගැස්වීම ගුරුවරුන්ගේ සහ දෙමව්පියන්ගේ වගකීමක් හා යුතුකමක් වෙනවා.

මව්පියන් විසින් දරුවන් වෙත එල්ල කරන පීඩනය තුළ දරුවාගේ මානසිකත්වය සැකසෙන්නේ කුමන ආකාරයටද? එයින් ඇතිවන ප්‍රතිඵලය කෙබඳු එකක්ද?
වි‍ෙශ්ෂයෙන්ම මෙම ප්‍රශ්නය තුළ තිබෙන්නේ දෙමව්පියන්ට ආගම දහමෙන් ලබාදෙන පණිවුඩයයි. සෑම මව්පියකුම එවැනි ආකාරයෙන් බරපතළ පීඩනයක් දරුවන්ට එල්ල කරන්නේ නැහැ. මෝඩ අනුවන අඥාන දෙමව්පියන් බොහෝ අවස්ථාවල එවැනි ආකාරයේ පීඩනයන් දරුවන්ට ඇති කරනවා. දරුවන් පීඩනයෙන් තොරව කටයුතු කිරීමට හුරුපුරුදු වෙලා නැහැ. ඔවුන් පීඩනයත් සමඟම ක්‍රියාත්මකවීමේ පුරුද්දක් තිබෙනවා. ඇතැම් දරුවන් සරල ආකාරයෙන් රුචිකත්වයෙන් යුතුව තමන්ගේ කාර්යභාරය ඉෂ්ට කරනවා.

මේ ගැටලුවේදී දෙමව්පියන් දරුවන් ගැන අවබෝධයෙන් කටයුතු කිරීම වැදගත් වෙනවා. තමා අනාගතයේදී කුමන ස්ථානයකට යා යුතුද යන අවබෝධය දරුවා තුළ තිබීම අවශ්‍යයි. එය පෙර පින් බලයත් සමඟම සිතෙන කාරණාවක්. අර්ථවත් ආකාරයෙන් කටයුතු කළ යුතු බවට හැඟීමක් වුවමනාවක් සෑම දෙනා තුළම පිහිටන්නේ නැහැ. කුමන ආකාරයෙන් හෝ පීඩනයක් ඇතිවීම නිසා දරුවාගේ උනන්දුව ඇතිවීම පාඩම් කටයුතු සඳහා ප්‍රයෝජනවත් වෙනවා. පීඩනයක් සහිතව අරමුණක් මනසෙහි දරාගෙන කටයුතු කිරීමෙන් ජයග්‍රහණය ලබාගැනීම සඳහා හැකියාවක් ඇතිවීමට පුළුවන්.

ඒ වගේම සියලු කටයුතු අවුල්වී අපිළිවෙළක් තුළ අසාර්ථකභාවයට පත්වූ අවස්ථාවක දරුවන් සඳහා පීඩනය වගේම පෙළඹවීමද වැදගත් වෙනවා. පීඩනය සහ පෙළඹවීම වැදගත් කාරණාවන්. හැම පීඩනයක්ම අර්ථවත් පෙළඹවීමක් බවට පත්කරගත හැකි බව මනෝ විද්‍යාඥයන්ගේ චින්තනයයි. මෙම කාර්යයන් අවබෝධයෙන් කරගෙන යාම වඩාත් වැදගත් වෙනවා. විභාග ජයග්‍රහණය කරවීම සඳහා දරුවා ඒ මාවතට යොමුකරවීම වැදගත්. එහි සීමාවන් දෙමව්පියන් විසින්ම තීරණය කළ යුතුයි. එවැනි ආකාරයෙන් පීඩනයක් එල්ල නොකර අධ්‍යාපනය සඳහා උනන්දු නොකළහොත් අම්මා තාත්තා අපි පිළිබඳ සොයා නොබැලූ බවට දරුවන්ට අනාගතේ යම් දවසක චෝදනා කළ හැකියි.

දරුවන් තමන්ගේ මතකය ශක්තිමත් කරගැනීම සඳහා කළ යුත්තේ කුමක්ද?
මොළය ආශ්‍රිත තත්ත්වයක් තුළ මතකය රැඳී පවතිනවා. මතකය තබාගැනීම නොහැකිවීම චුල්ලපන්තක හාමුදුරුවන්ටත් තිබුණ ප්‍රශ්නයක්. වචන හැටදහසක් එක් වතාවකින් කටපාඩම් කරගැනීමේ හැකියාව ආනන්ද හාමුදුරුවන් තුළ තිබුණ දක්ෂතාවයක්.

මතකය තබාගත යුත්තේ කුමන ආකාරයෙන්ද? යන කාරණා පිළිබඳ හැඟීමක් නොමැතිකමත්, අවධානය නිවැරැදිව යොමුකරමින් මැනවින් සවන් නොදීමත් මතක ශක්තිය අඩුවීමට හේතුවෙනවා. එකම අරමුණකට අවධානය යොමුකරවා ගැනීමට කෙතරම් උත්සාහ කළත් ඒ සඳහා අවධානය යොමුකර ගැනීමට නොහැකිවීම කිසියම් ආකාරයක රෝගී තත්ත්වයක්. දරුවාගේ එම ස්වභාවය දෙමව්පියන් විසින් හොඳින් හඳුනාගෙන දරුවා මනෝ වෛද්‍යවරයකු වෙත යොමු කළ යුතු වෙනවා. එවැනි කාරණාවක් දෙමව්පියන් විසින් හඳුනා‍ නොගත හොත් දරුවා විශාල පීඩනයකට ලක්වෙනවා. මනෝ විද්‍යාත්මක බුදුදහම තුළ සාකච්ඡා වන ආකාරයට නිරෝගී මනසක් තිබෙන පුද්ගලයකු හොඳ මතකයක් තබාගත යුත්තේ කෙසේද? යන්න බුද්ධ දර්ශනය තුළ පැහැදිලිව සඳහන් වෙනවා.

ඒ පිළිබඳ පැහැදිලි කිරීමක් කළොත් හොඳයි නේද?
අධ්‍යයනය කරන විෂයන් මතකයේ රඳවා ගැනීමේ පළමු කාරණාව මැනවින් ශ්‍රවනය කිරීමයි. ඒ සඳහා අවධානයෙන් යුතුව හොඳින් කියවිය යුතුයි. වෙනත් කාරණාවන් මනස තුළ රඳවාගෙන පොත් කියවාගෙන ගියාට මතකයේ රැ‍ඳෙන්නේ නැහැ. තමන් ශ්‍රවණය කළ කරුණ වගේම කියවන ලද කාරණා ස්මරණය කිරීම දෙවන පියවරයි. තෙවන පියවර වශයෙන් තමා තනිවම හෝ කිසියම් පිරිසක් සමඟ එම කරුණු සාකච්ඡා කරමින් ගළපමින් නිරතවීමත් ඉතා වැදගත්. ඇතැම්විට එය තමා විසින් තනිවම කල්පනා කරමින් සිදුකළ හැකියි.

තර්කානුකූලව කතා කළ කාරණා නැවත නැවත ලිවීමෙන් මතකය ශක්තිය ගොඩනඟා ගත හැකි බව ‍මනෝ විද්‍යාඥයන්ගේ මතයයි. මතක ශක්තිය ගොඩනඟා ගැනීම විභාගයකදී අතිශයින් වැදගත් වෙනවා. මතක ශක්තිය තිබූ පමණින්ද විභාග ලිවිය නොහැකියි. ඒ සඳහා ලේඛන හැකියාවද තිබීම වැදගත්. ඇතැම් දරුවන්ට හොඳ මතක ශක්තියක් තිබුණත් ලේඛන හැකියාවේ පවතින දුර්වලතා නිසා තමාගේ අදහස් ලියා ගැනීමට නොහැකිවීම විභාග අසාර්ථකවීමට බලපානවා.

මතක ශක්තිය සහ ලේඛන හැකියාව යන අංශ දෙකම කෙරෙහි විභාගයකදී අවධානය යොමුවෙන්න ඕනෑ. මතක ශක්තිය පමණක් තිබෙන ලේඛන හැකියාවක් නොමැති දරුවන් අපේ රට තුළ බහුල වශයෙන් දක්නට ලැබෙනවා.

නිරවුල් මනසින් විභාගය සඳහා පෙළගැසිය යුතු ආකාරය පැහැදිලි කරන්න?
විභාගයකදී පමණක් නොවෙයි දෛනික ජීවිතයේදී වූවත් ප්‍රශ්නයක් ඇසූවිට ලිඛිතව හෝ වාචිකව පිළිතුරු ලබාදිය නොහැකි පුද්ගලයන් අපේ සමාජයේ කොතරම් සිටිනවාද? විභාගයේදීත් බලපානු ලබන්නේ එම කාරණාවයි. විභාගයකදී අසා තිබෙන ප්‍රශ්නය නිවැරැදිව තේරුම් ගැනීම පළමු පියවරයි. අඩුම වශයෙන් ප්‍රශ්න කිහිප වතාවක් කියවීම වැදගත් වෙනවා. ඒ සඳහා ගත වෙන කාලය අපතේ යෑමක් වෙන්නේ නැහැ. ප්‍රශ්නය නැවත නැවත තුන් වතාවක්වත් කියවිය යුතුයි. එසේ කියවීමේදී පාඩම් කළ දරුවකුට පිළිතුරු ගලාගෙන එන ස්වභාවයක් තිබෙනවා. මම පසුගිය උසස් පෙළ විභාග උත්තර පත්‍ර බලන අවස්ථාවක එක දරුවකු ප්‍රශ්නයක් සඳහා පිළිතුරු වශයෙන් ඉදිරිපත් කර තිබුණේ මෙවැනි දෙයක්

බී.සී. හොඳ විෂයකි‍.
ඒ කිසිත් මගේ මතකයේ නැති
මගේ ගුරුතුමී කරුණාවතී
මට දුන් දුක හොඳටම ඇති.

පාඩම් නොකළ දරුවන් විභාග ශාලාවලදී මෙවැනි ආකාරයේ කුරුටුගෑම් සිදුකරනවා. ගෙදරදී විභාගය සඳහා සූදානම් නොවීම එයට හේතුවයි. අසන ප්‍රශ්නය තේරුම් ගත්තාම පාඩම් කළ දරුවාගේ මනසට පිළිතුරු ගලාගෙන එනවා.

සටහන - හේමමාලා රන්දුනු (දිනමිණ)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "අභියෝගය ජයග්‍රහණයට ශක්තියක්"

    Post a Comment