16 August, 2017

අහිමිවීම මැඩ ජීවිතය විඳින තරුණිය

TITLE
ලෝරන්/LAUREN/@DUCKFANACCOUNT
දිවි ගමනේ මුහුණ දෙන දුෂ්කරතා සහ අභියෝග ජය ගැනීම සඳහා තෝරා ගනු ලබන මාවත පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්ය.

අමෙරිකා එක්සත් ජනපදයේ සැන් දියාගෝ නගරයේ වෙසෙන ලෝරන් විසි හැවිරිදි තරුණියකි.

මීට වසරකට ඉහත දී ඇයගේ අතක් අහිමි වූයේ යතුරුපැදි අනතුරකට ලක් වීමෙනි.

ලෝරන් පවසන පරිදි ඉන් අනතුරුව සිය ආබාධිත තත්ත්වය හමුවේ මතු වූ දුෂ්කරතා පසෙකලා යළි නැගී සිටීමට ඇය විසින් යොදා ලැබ ඇත්තේ අමුතුම මගකි.

ආබාධිත තත්ත්වය හමුවේ සමාජයෙන් කොන් නොවී සිටීමට හාස්‍ය රසය යොදා ගත් බව ඇය 'බස්ෆීඩ්' මාධ්‍ය වෙත පවසා තිබේ.

"අනතුරින් පස්සේ ටික කාලයක් යන තුරු මම විහිළු තහළුවලින් ඈත් වී සිටියා. නමුත් පස්සේ මම විහිළු තහළු කරන්න පටන් ගත්තා. එක්තරා විදිහකට එය මට උපකාරයක් වුණා" යනුවෙන් ඇය පවසන්නීය.

එකිනෙකා හඳුනා ගැනීම සඳහා යොදා ගනු ලබන ටින්ඩර් ජංගම දුරකතන මෘදුකාංගය (App) තුළ වූ සිය ගිණුම භාවිත කරමින් ඇය සිය ශරීරය උත්කර්ෂයට නගන්නීය.

එම ගිණුම තුළ තමන් "අවි වෙළෙන්දෙකු" වශයෙන් හඳුන්වා ඇති ලෝරන් තම පෞරුෂය, මුහුණ සහ ශරීරය සඳහා ලකුණු 10 න් කොපමණක් ලබා දෙනවා දැයි ප්‍රශ්න කර තිබේ.

එමෙන්ම දෑත් සහ උරහිස් පෙදෙස නිරාවරණය වූ සිය ඡායාරූප ඇය නොබියව සමාජ ජාල තුළ පළ කරන්නීය.

එපමණක් නොව ආබාධිත තත්ත්ව පිළිබඳ සංවාදයකට මුල පිරීමට ඇය සෙසු පිරිස් වෙත ඇරයුම් කරන්නීය.

එසේම සිය ආබාධිත තත්ත්වය සම්බන්ධයෙන් සෙසු පුද්ගලයන් දක්වන ප්‍රතිචාර ඇය සිය ට්විටර් පිටුවේ පළ කරන්නේ ආබාධිත තත්ත්ව ආමන්ත්‍රණය කරනු ලබන ආකාරය පිළිබඳ සංවාදයකට මුලපුරමිනි. (බීබීසී)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "අහිමිවීම මැඩ ජීවිතය විඳින තරුණිය"

    Post a Comment