16 August, 2017

බෙලෙක් කෝප්පේ කුඹුර

paddy-field
කුඹුර
හුඟක් දවසකින් මම ගමේ ගියා. නිකමට හිතුණා කුඹුර පැත්තට යන්න. සීයගේ ඒ කුඹුරට හැමෝම කිව්වේ වැටකෙයියා ගස් ළඟ කුඹුර කියලා, ඒත් මම හැර. මං පුංචිම කාලේ අම්මත් එක්ක කුඹුරට බත් අරන් යනවා. අම්මා මට තනියට එන්න කිව්වට මම යන්නේ අම්මා තනියම නිසාම නෙවෙයි, ඒ මඟ තියන පිනි ජම්බු අැහිදින්න. පිනි ජම්බු මල් වැටිලා ගහ වටේටම, ඒ මලුත් හරි රහයි. අම්මා ‘කෙල්ලේ උඹ අදට එන්නෙ නැද්ද?‘ කියලා කෑ ගහනකල්ම මම පිනි ජම්බු ගහ ළඟින් හෙලවෙන්නෙ නැ. අම්මා වැඩ කරන අයට බත් බෙදනකල් මම පිඟාන අල්ලන් ඉන්න ඕන. පස්සේ මට තියෙන්නේ එක ලියද්දක් උඩ පෝලිමට බත් පිඟන් ටික තියන්න... කොහොමත් පස් හය දෙනෙක්ම කුඹුරේ වැඩ කරනවා. හැමෝටම ලොකු ලොකු පිඟන්වල බත් කද්දි අම්මා මට දුන්නේ පොඩි බෙලෙක්ක කෝප්පෙට. එදා ඉඳන් මම ඒ කුඹුරට කිවුවේ බෙලෙක් කෝප්පේ කුඹුර කියලා.

ගොයම් කපන කාලෙට අම්මා, අප්පච්චි, නැන්දා, මාමා, බාප්පා, පුංචි, නංගිලා, මල්ලිලා ඔක්කෝම කුඹුරේ. පොඩි අයට තියෙන්නේ ගොයම් මිටි එක එක ගෙනත් කමතට දාන්න. අපි හැමෝටම අත් දිග කමිසය ගානෙත් තිබ්බා. ඒ ගොයම් කොළවලට අත්දෙක හීරෙන නිසා. අපි ලියදිවලින් වැටි වැටි ගොයම් ගෙනියනවා.

නැන්දත් එකතුවෙනවා ගොඩක් වෙලාවට. එයානම් ගොයම් මිටි ගොඩාක් එකට එකතු කරලා ලනුවක තියලා ගැට ගහගෙන අරන් යනවා. නැන්ද එක සැරේක ගෙනියන තරම් මට නම් 15 වතාවක් ගෙනියන්න බෑ කියලයි මං කල්පනා කරේ. නැන්දා අපිට කතා කියනව හරි ලස්සනට...අපිට මහන්සි දැනුනෙම නැ...හිනාවෙවි වැඩ.

කොළපාගද්දි බලං ඉන්න මම හරි ආසයි...ගොන් බානක් බැඳලා කමත වටේ යනවා. සීයා කවියක් කියන්නත් අමතක කරේ නෑ. ඒත් මම ආස වූණේ බාප්පා කවි කියද්දි. එයා තරම් ලස්සනට කවි කියන්න නම් කාටවත් බෑ. අපේ මල්ලිලාටත් ඉඩ ලැබුණා ඒ රාජකාරියට. මටත් ආසවක් තිබුණත් සීයගෙන් නෑ ඉඩක්. කෙල්ලන්ට කමතට බහින්න තහංචිලුනේ. රෑ එළිවෙනකල් කොලපාගනවා. මල්ලිලාට නම් රෑටත් ඉන්න අවසර ලැබුණා. මට හරි ඉරිසියයි ඒකටනම්.

සීයයි තාත්තයි පිදුරු පැලක් හදන්නත් අමතක කරන්නේ නෑ. අව්ව වෙලාවට මහන්සියට ඇර තාත්තා, සීයා නම් පැලට එන්නේ එහෙමත් වෙලාවකට. ඒකට අපි, පැලේ නිදි, සිංදු කියනවයි පිදුරු ගොඩේ වළලු හංගලා හොයනවයි අපිට හරි විනෝදෙ. ඒ පැලේ ඉඳගෙනම පොළොස් අැඹුලුයි, මඤ්ඤොක්කා මැල්ලුමුයි එක්ක කාපු බත් කට තරම් රහ බතක් කොහෙත් නැතුව ඇති.

කුඹුරට පහළ තිබුණා දොළක්. අපි හැන්දෑවෙනකල් පිදුරු ගොඩේ නට නටා ඉද්දි අම්මා කෑ ගහනවා ‘ගිහින් නා ගනියවු කියලා‘ ඒ වචන ටික කියල ඉවරවෙන්නත් කලින් අපි දොලේ. ගල දිගේ වැටෙන වතුර ඔළුවට වට්ටගන්න පුළුවන් විදියට තාත්තා කෙසෙල් පතුරක් දාලා පීලී හරිගස්සලයි තිබුණෙ...ඒත් අපිට පීලී ඕන වුණේ නැ...අපි හිතුණ හිතුණ තැන්වලින් නෑවා..කෙලවරේ තිබුණ කළු ගලක, ඒක උඩට නැඟල, ගල පුරා සබන් තලියක් ගාලා ලිස්සලා ගිහින් වතුරට වැටෙනවා. ආත්තම්මා කෑ ගහනවා කෙල්ලන්ට, ‘ඕක යක්කු විමානේ කෙල්ලනේ ඉක්මනට වරෙල්ලා‘ කියලා එ්ත් අපි නම් නෑ කනකට ගත්තේ...

පොඩි උන්ට කරන්න මහ ලොකු වැඩක් නැතත් අපි නම් වී ටික ගොන්ගෙන්ම ගෙදරට ගේනකල් කුඹුරෙන් හෙල වුණේවත් නෑ...

මං කුඹුර දිහා බලාගෙන ආයෙත් මතක් කළේ ඒ මිහිරි අතීතේ. අපේ පුංචිකාලේ ඒ විදියට ගෙවිලා ගියා... බෙලෙක් කෝප්පේ කුඹුර තාමත් තියනවා ඒත්... කොළපාට ගොයම් කරල් අද නෑ...පැලේ ලී කෝටු තැන් තැන්වල වැටිලා. දොළ පාරත් ඒ විදියමයි. ජම්බු ගහත් ඒ විදියමයි. ඒත් පීනන්නවත්, මල් අැහිදින්නවත් අද අපි නෑ...අපෙන් පස්සේ කවුරුත් නෑ... (කාවින්දි නිසංසලා සමරකෝන්-දිනමිණ)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "බෙලෙක් කෝප්පේ කුඹුර"

    Post a Comment