30 August, 2017

ප්‍රේක්‍ෂකාගාරයත් ඉන්දියාවට පරාජය වුනාද?

pallekele-audience-attack
දිනුම පැරදුම එකම කාසියක දෙපැත්ත වන ක්‍රීඩාවේ ලබන පරාජයන් කාලයත් සමගින් අකාමකා දැමිය හැකිය. නමුත් කිසිදා මැකිය නොහැකි කළු පැල්ලමක් පසුගියදා නිමාවූ තෙවැනි එක්දින තරගයෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට එක්විය.

පල්ලෙකැලේදී පැවති මෙම තරගයේදී ශ්‍රී ලංකාව, ඉන්දියාව ඉදිරියේ පරාජය සම්පූර්ණ වීමට ප්‍රථමයෙන් ශ්‍රී ලංකාව ලෝකයා ඉදිරියේම පරාජය වූයේ, ලෝක ඉතිහාසයේ කිසිඳු දිනක මැකී නොයන පැල්ලමක් මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට එක්කර ගනිමිනි. ඒ තරගයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්‍ෂකයන් විසින් ක්‍රීඩාංගණයට බෝතල් ප්‍රහාර එල්ල කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමට දැක්වූ අප්‍රසාදය හේතුවෙනි.

ශ්‍රී ලංකාවේදී මෙවැනි හැසිරීමක් වාර්තා වීමෙන් ජාත්‍යන්තර විස්තර විචාරකයෝ පවා මවිතයට පත්වූහ. මෙම තරගාවලියේම දඹුල්ලේ පැවැති පළමු තරගයේදීද ප්‍රේක්‍ෂකයන්ගෙන් මෙවැනි හැසිරීමක් දැකගත හැකිවුවත්, එය තරගයට බාධාවක් නොවුණි.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම අවස්ථාවේදී යම් පසුබෑමකට ලක්වී ඇති බවත්, එය වසර ගණනාවකින් ඔවුන් ලැබූ දැඩි පසුබෑමක් බවත් ක්‍රිකට් ක්‍ෂේත්‍රය පිළිබඳ උනන්දුවක් දක්වන සැවොම දන්නා කාරණයකි. නමුත් එයට විසඳුම ක්‍රීඩකයන්ට බෝතල් ප්‍රහාර එල්ල කිරීමද යැයි ප්‍රේක්‍ෂකයන්ගෙන් විමසිය යුතුය.

කලෙක ඉන්දීය ප්‍රේක්‍ෂකයන්ගේ නොමනා හැසිරීම පිළිබඳ අප කථා කළේ පිළිකුලකින් හා ඔවුන්ගේ බුද්ධි මට්ටම ගැන සිනාසෙමිනි. තරග පැරදුණු විට ක්‍රීඩකයන්ගේ ඡායාරූපයේ සිට ඔවුන්ගේ නිවාස දක්වාම පුළුස්සන මන්ද බුද්ධික මට්ටමේ ප්‍රේක්‍ෂකයන් සිටින රටක් ලෙසින් අප ඉන්දියාව හැඳින්වුවෙමු.

නමුත් පසුගියදා ශ්‍රී ලංකා ප්‍රේක්‍ෂකයන්ගේ මෙම ක්‍රියා කලාපයේදී, ඉන්දීය නායකයා ඇතුළු පිරිස ශ්‍රී ලංකාව දෙස බලා සිටියේද, ශ්‍රී ලංකා ප්‍රේක්‍ෂකයන්ගේ බුද්ධි මට්ටම පිළිබඳ කුමන හැඟීමෙන්දැයි අපට සිතාගත හැක. මෙවැනි සිදුවීම්වලින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට එක්වන කළු පැල්ලම් ලෝක කුසලාන සියයක් ජයගෙන වුවද, වසා දැමිය නොහැක.

මේ සම්බන්ධයෙන් ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක වත්මන් ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු හෂාන් තිලකරත්න මහතාගෙන් අදහස් විමසා සිටියේය. මීට අමතරව ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරක, හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක රසල් ආනල්ඩ් මහතාද සිදුවීම පිළිබඳ ඔහුගේ අදහස් සිය ට්විටර් ගිණුමේ දක්වා තිබිණ.

මැච් එකක් පැරදුණාම අපිටත් දුකයි. නමුත් මේ වගේ හැසිරීමක් අනුමත කරන්නෙ නෑ - හිටපු ක්‍රිකට් ක්‍රීඩක හෂාන් තිලකරත්න

''ඇත්තටම මේක ඉතා කනගාටුදායක අවස්ථාවක්. එය ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන බුද්ධිමතුන් ලෙසින් අපි හැම කෙනාම දන්නවා. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පිටිපස්සෙ ඉඳන් අපි ධෛර්යමත් කළ යුතු කාලයක්. මෙම හැසිරීම කොහොමටවත් අනුමත කළ යුතු තත්ත්වයත් නෙමෙයි. අපි හැමකෙනාටම තරග ජයග්‍රහණ පිපාසයක් තියෙනවා. මැච් එකක් පැරදුණාම අපිටත් දුකයි. නමුත් මේ වගේ හැසිරීමක් අපි අනුමත කරන්නෙ නෑ.

අපි දැක්කා 96 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරගයේදී (ඉන්දු- ශ්‍රී ලංකා) කල්කටාහිදී ප්‍රේක්‍ෂකයන්ගේ හැසිරීම. ඒ වෙලාවෙ අපිත් බොහොම පුදුම වුණා ඉන්දීය ප්‍රේක්‍ෂකයන් නරක විදිහට හැසිරුණු ආකාරය දැකලා.

නමුත් ඊට පස්සෙ මම ඊයෙ තමයි ඒ වගේ හැසිරීමක් නැවතත් දැක්කෙ. අපි හොඳට ක්‍රිකට් ගහන රටක් විදිහට ලෝකෙන්ම අපිව පිළිගන්නවා. ලෝක කුසලාන දෙකක් අපි දිනාගෙන ඉන්නවා. ලෝක පූජිත ක්‍රීඩකයෝ බිහි කරල තියෙනවා. ඒ නිසා මේ වගේ අවස්ථාවක මීට වඩා බුද්ධිමත්ව හැසිරිය යුතුයි.''

ඉතාමත් කලකිරවන සුළුයි - හිටපු ක්‍රිකට් ක්‍රීඩක රසල් ආනල්ඩ්

''මෙවැනි සිදුවීමක් දක්නට ලැබීම ඉතාම කනගාටුදායකයි. මීට කලින් මෙවැනි සිදුවීමක් දැකල නෑ. ඉතාමත් කලකිරවන සුළුයි. මට දැනුණෙ මම ලොකු අඳුරු, ගැඹුරු වළකට වැටුණා හා සමාන අත්දැකීමක්. මාව ඉතාම අපහසුවට ලක්වුණා ඉතා ශෝචනීයයි. හැම කෙනෙක්ගෙන්ම මම සමාව ඉල්ලා සිටිනවා.''

ඡායාරූපය - චමිල් රූපසිංහ (ඔෂිත වරකපිටිය - අද)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ප්‍රේක්‍ෂකාගාරයත් ඉන්දියාවට පරාජය වුනාද?"

    Post a Comment