28 August, 2017

"අධ්‍යක්ෂකවරු ලිංගික අල්ලස් ඉල්ලුවේ නෑ — නිළියන්ගෙන් කරදරයි" ටීනා ශනෙල්

teena-shanell-fernando

ටීනා ශනෙල් යනු නිරූපණ ක්ෂේත්‍රයෙන් අතිශය ජනප්‍රියත්වයට පත්ව සිටින නිරූපිකාවක්.

මිස් ශ්‍රී ලංකා කිරුළ කිහිප වතාවක්ම දිනා ඇති ඇය දැන් නිරූපණයට අමතරව සිනමාවටද පිවිස සිටින්නීය. ඇගේ ඉදිරි කටයුතු පිළිබඳව පුවත්පතක් සමග කතාබහකට එක්වූ ඇය අදහස් දක්වා තිබුනා.

එම සංවාදය පහතින්

මේ දවස්වල කොහොමද වැඩකටයුතු?

මේ දවස්වල ටිකක් කාර්යබහුලයි. මගේ ඊළඟ ෆිල්ම් එක සඳහා වැඩකරනවා.

මේ පළවෙනි ෆිල්ම් එකද ඔබේ?

නෑ. පළවෙනි ෆිල්ම් එක මේ අවුරුද්දේ රිලීස් වෙනවා. මේ දෙවනි එක. තව ෆිල්ම් එකකට ආරාධනා ලැබිල තියෙනවා. ඒක භාරගන්නවාද නැද්ද කියල හිතාගන්න බැරුව ඉන්නේ.

පළවෙනි ෆිල්ම් එක මොකක්ද?

ප්‍රියන්ත කොළඹගේගේ චිත්‍රපටයක්. ඒකෙ නම "දේදුනු ආකාසේ". ඇත්තටම සතුටුයි ලංකාවේ ප්‍රවීණ කෙනෙක්ගේ ෆිල්ම් එකකට මුලින්ම දායක වෙන්න ලැබුණ නිසා. ඒ වගේම හේමාල් රණසිංහ වගේ ජනප්‍රිය රංගන ශිල්පියෙක් එක්ක රඟපාන්න ලැබුණා. ඇත්තටම මොඩ්ල්ස්ලගෙන් මමයි චූලක්ෂියි ගොඩක් වාසනාවන්තයි. මොකද ගොඩක් නළු නිළියන් අතරින් තමයි අපි දෙන්නව තෝර ගත්තේ. ගොඩක් මොඩ්ල්ස්ලට මේ වගේ අවස්ථා යන්නෙ නැහැ. මගේ රසිකයන්ට බලාගන්න පුළුවන් ඉදිරියේදී මගේ ෆිල්ම්ස්.

චිත්‍රපටයකට දායක වීම කොහොමද දැනුණේ?

මියුසික් වීඩියෝ එකක කරන්න තියෙන්නේ නිකම් රඟපෑමක් විතරයි. චිත්‍රපටයක එහෙම බෑ. දෙබස් එක්කනේ කරන්න තියෙන්නේ. ඒක නිසා ටිකක් අමාරුයි. අපි රඟපාද්දි සමහර තැන්වලදි දෙබස් අමතක වෙනවා. අපි ගොඩක් පුහුණුවීම් කළා. ප්‍රියන්ත අයියා අපිව ක්ලාස් එකකට යැවුවා.

චිත්‍රපටයකට ආරාධනා කරද්දි භාරගන්න බයක් තිබුණේ නැද්ද?

නෑ එහෙම නැහැ. මම ආසයි අභියෝග වලට. නළු නිළියන්ගෙන් පොඩි පොඩි බාධා තියෙනවා. ඊර්ෂ්‍යාකම් එහෙම නැතුවම නෙමෙයි. ප්‍රියන්ත කොළඹගේ වගේ ප්‍රවීණ අධ්‍යක්ෂකවරයෙක් යටතේ රඟපාන්න ලැබුණ එක ගැන ගොඩක් සතුටුයි.

ටීනට මේ ක්‍ෂේත්‍රය තුළ ඊර්ෂ්‍යා කරන අය ඉන්නවද?

අනිවාර්යෙන් ඉන්නවා. නැහැයි කියන්න බැහැ. ගොඩක් අය දක්ෂතාවයක් නැතිව සහ අවස්ථාවන් ලැබෙන්නෙ නැති නිසා මට ඊර්ෂ්‍යා කරනවා ඇති කියල මම හිතනවා.

නිරූපණයේදී ලිංගික අල්ලස් වගේ බලපෑම් එනවා කියල සමහරු කියනවා. මේක ඇත්තක්ද?

මට දැනට හම්බවුණු අධ්‍යක්ෂකවරුන්ගෙන් එහෙම බලපෑම් ඇවිත් නැහැ. මගේ දක්ෂතාවයට තමයි ඒ අය මට අවස්ථාව දුන්නේ. ප්‍රියන්ත අයියා මාව ගත්තෙත් මගේ දක්ෂතාවයට. මට නර්තනය කරන්න පුළුවන් බටහිර පෙනුමක් තියෙනවා. ඒ වගේම මගේ ශරීරයේ හැඩය ඒ හැමදේම බලලා තමයි මේ චිත්‍රපටයට දායක කර ගත්තේ.

මේ ක්‍ෂේත්‍රය තුළ ප්‍රමිතියක් නැති වෙලා නේද දැන්?

නිරූපණ ක්ෂේත්‍රය නම් නැත්තටම නැතිවෙලා තියෙන්නේ. මොකද මේ අලුතින් එන අය හා සමහර ඡායාරූප ශිල්පීන් නිසා. මම ගොඩක්ම මේ පැත්තෙන් ටිකක් ඈත් වෙලා චිත්‍රපට පැත්තට යන්න ගත්තෙත් ඒ නිසා තමයි. ගොඩක් අය මේ ක්ෂේත්‍රය දැන් විවේචනය කරනවා. ලංකාවේ කට්ටිය හිතාගෙන ඉන්නෙ මොඩ්ල් කෙනෙක් වෙන්න හැමෝටම පුළුවන් කියලා. ඒ ගැන ලොකු කණගාටුවක් තියෙන්නේ.

අද අඩනිරුවත් මියුසික් වීඩියෝ ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙනවා. ඔබට ඒ සඳහා ආරාධනා ලැබෙන්නේ නැද්ද?

නැහැ. මම හොඳට කල්පනා කරලා වැඩ කරන්නේ. මම දැන් ගොඩක් දුරට මියුසික් වීඩියෝ නතර කළා. මම ෆිල්ම් පැත්තෙන් යන්න හිතාගෙන ඉන්න නිසා ගොඩක් දේවල් ප්‍රතික්ෂේප කළා.

ජනප්‍රිය වෙන්නේ වැරදි පාරකින් කියලා කවුරුත් ඔයාට චෝදනා කරන්නේ නැද්ද?

මම ජනප්‍රිය වෙන්නේ වැරදි පාරකින් කියලා කාටවත් කියන්න බැහැ. මම මිස් ශ්‍රී ලංකා වලින් කිහිප වතාවක්ම ක්‍රවුන් අරන් තියෙනවා. ටීනා කියන චරිතය ඕන කෙනෙක් දන්න චරිතයක්. මම ගොඩක්දුරට හොඳ වැඩ කරලා තියනවා. ඒකයි මිනිස්සු මාව මෙච්චරටම දන්නේ. මම හොඳ නිරූපිකාවක් නිසානේ මට ආරාධනා ලැබෙන්නේ.

අද වන විට ටීනා ලංකාවේ බ්‍රෑන්ඩ් නේම් එකක් වෙලා කියලා විශ්වාස කරනවාද?

ඔව් අනිවාර්යයෙන්ම. අද වන විට මම නාට්‍ය කරන්නේ නැති වුණාට මම පාරෙ බැහැලා යද්දි මිනිස්සු මට කතා කරනවා. මම කළ මියුසික් වීඩියෝ ලස්සනයි කියනවා. මිනිස්සුන්ගේ හිතට වදින විදියට දෙයක් කරල තියෙන නිසා මිනිස්සු ඒ චරිත ගැන කතාබහ කරනවා. මම දන්නවා ලංකාවේ හොඳ මොඩ්ල්ස්ලා අතරේ මගේ නමත් තියෙනවා කියලා. මම අනිත් මොඩ්ල්ස්ලා එක්ක ගත්තාම හරිම වාසනාවන්තයි. මොකද අනිත් අයට හම්බ වෙන්නෙ නැති අවස්ථා මට හම්බ වෙනවා. මට දක්ෂතාවයක් තියෙනවා. මට මීට වඩා ගොඩක් දුර යන්න පුළුවන්.

මේ වෙන දේවල් එක්ක ක්‍ෂේත්‍රය ගැන කලකිරීමක් නැද්ද?

ඇත්තටම කලකිරීමක් තියෙනවා. ඔය ඔක්කොම වෙන්නේ අලුතින් මේ ක්‍ෂේත්‍රයට එන අය නිසා. එයාලට ඕන ඉක්මනින් ජනප්‍රිය වෙන්න. ඒ වුණාට එහෙ වැඩි ගමනක් යන්න බැහැ.

ඔබේ ඉදිරි බලාපොරොත්තු මොනවාද?

ෆිල්ම් පැත්තට යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉදිරියේදී ෆිල්ම්ස් හරහා මාව බලන්න පුළුවන්. මම මගේ රසිකයන්ට කියනවා හැමදාම මාත් එක්ක හිටිය වගේ දිගටම මාත් එක්ක ඉන්න කියලා. (අද)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to ""අධ්‍යක්ෂකවරු ලිංගික අල්ලස් ඉල්ලුවේ නෑ — නිළියන්ගෙන් කරදරයි" ටීනා ශනෙල්"

    Post a Comment