15 August, 2017

මත්පැන් ‘තිත්ත වන’ පෙත්ත අතුරුදන්?

drunk-man
FilePhoto
මත්පැන් පානයට ඇබ්බැහිවූවන් ඉන් මුදවාලීම පිණිස නිෂ්පාදනය කොට ඇති ඖෂධ වර්ගයක් මේ දිනවල වෙළඳපොළේ හිඟ වීම මුල්කොට මත්පැන් වලට ඇබ්බැහිවූවන් සහ ඔවුන්ගේ බිරියන් විශාල අපහසුතාවකට පත්ව සිටිති.

Disulfiram යන ඖෂධීය නාමයෙන් හැඳින්වෙන මෙම ඖෂධය වෙළඳ නම් වලින් යුතුව ජර්මනියේ සහ ඉන්දියාවේ නිෂ්පාදන ලෙසින් ශ්‍රී ලංකාවේ වෙළඳපොළට පැමිණ තිබූ අතර මේ දිනවල එම ඖෂධය සොයා ගත නොහැකි මට්ටමක පවතිතැයි මත්පැන් වලට ඇබ්බැහිවූවන් සහ ඔවුන්ගේ භාර්යාවෝ මැසිවිලි නගති.

මත්පැන් වලට දැඩි ලෙස ඇබ්බැහිවූවන් මෙම ඖෂධය පාවිච්චි කොට මත්පැන් පානය කළ පසු ශරීරය අප්‍රාණික වී මද්‍යසාර පිළිගැනීම ප්‍රතික්ෂේප කරන බවත් ඉන්පසුව ඔවුන් ස්වභාවිකවම මත්පැන් භාවිතයෙන් ඉවත්වන බවත් වෛද්‍යවරු කියති.

එමෙන්ම සෙසු මත්ද්‍රව්‍ය භාවිත කරන්නවුන් සම්බන්ධයෙන්ද ප්‍රතිඵලදායක මෙම ඖෂධය සැලකිය යුතු අතුරුආබාධ වලින් තොරවීමද විශේෂත්වයකි.

එක්දහස් නමසිය විසි ගණන්වලදී මුල්වරට ලොවට හඳුන්වා දී ඇති මෙම බෙහෙත රුපියල් 5/- පමණ සිට මිල වන අතර මත්පැන් සහ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවී සිටින පුද්ගලයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් මෙමගින් විශාල සහනයක් ලබා ගෙන තිබේ. මේ සම්බන්ධයෙන් ඇතැම් ඖෂධශාලා හිමියන් පවසන්නේ එම ඖෂධය ප්‍රමාණවත් ලෙස නොලැබෙන බවය.

අප රටේ මත්පැන් සහ මත්ද්‍රව්‍ය උවදුර බලවත් ජාතික ‍ව්‍යසනයක් බවට පත්ව ඇති යුගයක මත්පැන්වලට සහ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් ඉන් මුදා ගැනීම පිණිස හඳුන්වා දී ඇති Naltrexone , Acamprosate ආදී ඖෂධ රජයේ රෝහල් වල පවා දැඩි හිඟයක් පවතින අතර මෙම Disulfiram ඖෂධය එක් වරම වෙළඳපොළෙන් ගිලිහීයාම පිළිබඳ වඩාත් විමසිලිමත් විය යුතු බව තතුදත් ආරංචි මාර්ග පවසයි.

එය මෙරට මත්පැන් නිශ්පාදනය සහ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන රටේ ප්‍රබලතමයන්ගේ සියුම් උපක්‍රමශීලී ක්‍රියාවක් දැයි විමසා බැලිය යුතු බවද තතුදත් ආරංචි මාර්ග සඳහන් කරයි.

ප්‍රසංග පෙරේරා - ජා ඇල (ලක්බිම)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "මත්පැන් ‘තිත්ත වන’ පෙත්ත අතුරුදන්?"

    Post a Comment