21 July, 2017

'ජෙට් හාමුදුරුවෝ'අත්අඩංගුවේ

wirapol sukphol Thera arrest
විරෆොන් සුක්ෆොන් භික්ෂුව 'ජෙට් හාමුදුරුවන්' ලස හඳුන්වන ලද්දේ මෙම පින්තුරයෙන් පසුවයි


තායිලන්තයේ විවාද සම්පන්න ආගමික චරිතයක් වන විරෆොන් සුක්ෆොන්ට (Wiraphon Sukphon) එරෙහිව ප්‍රෝඩා සිදු කිරීම, කළු සල්ලි ජාවාරම සහ බාලවයස්කාර දැරියක් දූෂණය කිරීම යන චෝදනා යටතේ නඩු පවරනු ලැබ ඇත.

විරෆොන් සුක්ෆොන් කලින් භික්ෂුවක්ව සිටි අතර ඉහත කී චෝදනාවලට මුහුණ දීමෙන් අනතුරුව ඇමෙරිකා එක්සත් ජනපදයට පළාගොස් ගිහියකුගේ වේශයෙන් පසුවිය.

ඇමෙරිකාව විසින් විරෆොන් සුක්ෆොන් එරටින් පිටුවහල් කොට ආපසු එවන ලද අවස්ථාවේ තායි බලධාරීහු 'බැංකොක්' ගුවන් තොටුපොළේ දී ඔහු අත්අඩංගුවට ගත්හ.

කාමභෝගී ජීවිතයක් ගෙවූ විරෆොන් සුක්ෆොන් භික්ෂුව අව් කන්නාඩි පැළඳ පෞද්ගලික ජෙට් යානයක සුවපහසුවෙන් අසුන් ගෙන සිටින ආකාරය දැක්වෙන ඡායාරූපයක් 2013 වසරේ අන්තර්ජාලයේ (You Tube) ප්‍රසිද්ධ වීමෙන් අනතුරුව තායි මාධ්‍ය මගින් ඔහු හඳුන්වන ලද්දේ "ජෙට් හාමුදුරුවන්"( the jet-set monk) යනුවෙනි.

බාලවයස්කාර දැරිය දූෂණය කරනු ලැබීම අනාවරණය වීමෙන් අනතුරුව "ජෙට් හාමුදුරුවන්" ඇමෙරිකා එක්සත් ජනපදයට පළාගිය අතර ඔහු සසුනින් නෙරපා හරිනු ලැබුණි.

wirapol sukphol Thera arrest - 02
භික්ෂු වේශයෙන් පැමිණි විරෆොන් සුක්ෆොන්ගෙන් පොලිසිය ප්‍රශ්න කළ මොහොත

විරෆොන් සුක්ෆොන් සසුනින් නෙරපා හරිනු ලැබ තැනැත්තකු වන නමුත් ඇමෙරිකා එක්සත් ජනපදයේ සිට ආපසු එවන ලද අවස්ථාවේ ඔහු හැඳ සිටියේ බෞද්ධ භික්ෂූන් සැරසෙන ආගමික ස්වරූපයේ ඇඳුමක් යයි 'බැංකොක් පෝස්ට්' පුවත්පත වාර්තා කරයි.

විරෆොන් සුක්ෆොන් සම්බන්ධයෙන් සිදු කරන ලද පරීක්ෂණ වලදී ළමුන් පැහැර ගැනීම සහ ඔවුන්ට අතවර කිරීම පිළිබඳ තොරතුරු සමඟ ඔහු නමින් තැන්පත් කරනු ලැබ ඇති ඩොලර් දශ ලක්ෂ ගණනක වත්කම් පිළිබඳව ද හෙළිදරව් විනැයි පරීක්ෂණ කණ්ඩායම් පවසති.

ථේරවාදී බෞද්ධ සමාජයක් වන තායිලන්තයේ ප්‍රධාන ස්ථම්භ තුන වන්නේ ජාතිය, රාජ්‍යත්වය සහ බෞද්ධ ශාසනයයි.

එහෙත් පසුගිය වසර කීපය තුළ වාර්තා වූ මුදල් සහ ලිංගිකත්වය මුල්කර ගත් අපචාර හේතුවෙන් 'තායි' භික්ෂු සමාජය දැඩි විවේචනයට ලක් වෙමින් පවතී.

2014 වසරේ සිදු වූ යුද හමුදා කුමන්ත්‍රණයෙන් අනතුරුව තායිලන්තයේ හමුදා පාලනයක් පවතින අතර ඉහත කී ආකාරයේ අපචාර පාලනයට පියවර ගන්නා මෙන් එරට බෞද්ධ සමාජයෙන් හමුදා පාලනය කෙරෙහි බලපෑම් එල්ල වෙමින් ඇති බවත් වාර්තා වෙයි.

'තායි' භික්ෂු සමාජයේ තවත් බලවත් විහාරාධිපති භික්ෂුවක් වන ප්‍රා ධම්මජයෝ (Phra Dhammajayo) කළු සල්ලි ජාවාරමට අදාළ චෝදනා යටතේ අත්අඩංගුවට ගැනීමට පොලිසිය ගත් උත්සාහයක් අසාර්ථක විය.

එම චෝදනා දේශපාලන උවමනා අනුව ගොතන ලද ඒවා යයි කියා සිටින ධම්මජයෝ භික්ෂුවගේ අනුගාමිකයෝ උන්වහන්සේ අත්අඩංගුවට ගැනීමට ඉඩ නොදුන්හ.

කෙසේවුවද, තායිලන්ත භික්ෂු සංස්ථාව ඉහත කී ආකාරයේ අපචාර චෝදනාවන්ට ලක්වීම එරට බුදු සසුන පිරිහීමට හේතු වෙතැයි සමාජ කනස්සල්ලක් මතුව ඇත. (BBC)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "'ජෙට් හාමුදුරුවෝ'අත්අඩංගුවේ"

    Post a Comment