19 June, 2017

ක්‍රිකට් තිරය පිටුපස රත්වේ, සිම්බාබ්වේ සමඟ තරඟාවලියට සංචිතය කොහොම වෙයිද…?

Mathews - Malinga - Gurusinghe

ලොව සුපිරිම ක්‍රිකට්‌ කණ්‌ඩායම් අට අතරින් චැම්පියන්ස්‌ලා වෙන්නට කණ්‌ඩායම් දෙකක්‌ සුදුසුකම් ලබද්දී අනෙක්‌ කණ්‌ඩායම් හය දැන් ගුණදොස්‌ ගායනා කරමින් සිටියි. එංගලන්තයට ගිය චැම්පියන්ස්‌ලා අතර හය වැනි තැනට ශ්‍රේණිගතව සිටි ශ්‍රී ලංකාව දැන් අට වැනි තැන දක්‌වා පල්ලම් බැස තරගාවලිය අහවර කළේය. ලබන සැප්තැම්බර් මස අවසන් වීමට පෙර තවත් පියවරක්‌ මැතිව්ස්‌ගේ පිල පහළට ඇද වැටුණොත් 2019 ලෝක කුසලාන සහභාගීත්වයට වෙනම සුදුසුකම් ලැබීමේ තරගාවලියකට සහභාගි වන්නට සිදුවේ. එසේ තිබියදී ක්‍රීඩකයන් ගැන තවදුරටත් සුදු හුණු ගෑම කාලෝචිතද යන මාතෘකාවත් දැන් කරළියට පැමිණ තිබේ.

ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාව ලද ජය නම් අපූරුය. නමුත් අවශ්‍ය වන්නේ තරගාවලියක අවසන් ප්‍රතිඵලයයි. ඉන්දියාව පරාජය කර දැමුවත් අනෙක්‌ රටවල්වලට සටනක්‌ දුන්නත් ශ්‍රී ලංකාව දැන් ශ්‍රේණිගත කිරීම්වල තවත් පියවර දෙකක්‌ පහළට තල්ලුවී යැමෙන් ජයග්‍රහණ ගොන්නක්‌ සොයා ඉදිරියට මෙහෙයුමක්‌ දියත් කළ යුතුමය. ශ්‍රී ලංකාවට ඉදිරියෙන් ශ්‍රේණිගත කිරීම්වල සිටින්නේ බංග්ලාදේශය (95) සහ පකිස්‌තානය (93) වේ. අට වැනි තැන සිටින ශ්‍රී ලංකාවට පිටුපසින් බටහිර ඉන්දීය කොදෙව් (77) සහ ඇෆ්ගනිස්‌ථානය (54) පසුවේ.

අසංක ගුරුසිංහ ක්‍රිකට්‌ කළමනාකරු ලෙස ඇතැම් අවස්‌ථාවලදී දැඩි තීරණ ගන්නට ගොස්‌ ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ගවල සඳහන් වේ. නමුත් කණ්‌ඩායම් නායකයා සහ පුහුණුකරුවා එක්‌ව තමන්ට අවශ්‍ය කණ්‌ඩායම පිටිය මැදට ගෙන ගිය අවස්‌ථා ඇති බව එහි තවදුරටත් සඳහන් වේ. කෙසේ වෙතත් චැම්පියන්ස්‌ කුසලාන තරගාවලියෙන් පසුව තිරය පිටුපස තැටිය රත්වී ඇති බවට නම් ඉඟි පළවෙමින් තිබේ.

ඇන්ජලෝ මැතිව්ස්‌ගෙන් නායකයා ලෙස කටයුතු කරනවාද යනුවෙන් විමසන ලදුව ඔහු ලබාදුන්නේ දෙබිඩි පිළිතුරකි. ‘ඒ ගැන මම තවම හිතලත් නැහැ කතා කරලත්’ නැහැ’ යනුවෙන් මැතිව්ස්‌ පවසද්දී ඒ පිළිතුරේ බොහෝදේ ගැබ්වී තිබෙන්න බව නම් පැහැදිලිය. තරගයක්‌ පරාජය වන්නේ වැරදි මතිනි. වැරදි ඇතත් අවසන් ප්‍රතිඵලය ජයග්‍රාහී සාධකයක්‌ නම් ප්‍රශ්න ඉස්‌මතු නොවෙති. නමුත් මැතිව්ස්‌ මේ වන විට දෙලොවක්‌ අතර අතරමංවී සිටීද යන්න අපි නොදනිමු. කෙසේ වෙතත් 2019 ලෝක කුසලානට යන්නට හොඳම නායකයා නම් මැතිව්ස්‌ය.

ග්‍රැහැම් ෆොaඩ් ශ්‍රී ලංකා කණ්‌ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා ලෙස දැන් ගිරයට හසුවී සිටියි. නමුත් ඔහුගේ කර මතට වැටී ඇති පීඩනය නම් දෙගුණ තෙගුණ වී තිබේ. ෆොaඩ් කරන්නේ ඔහුට අවශ්‍ය දේ නායකයා සමග සාකච්ඡා කරමිනි. නමුත් ෆොaඩ් තවදුරටත් තබා ගන්නවාද නැද්ද යන්නත් මාතෘකාවට බඳුන්වී තිබේ. තරග පරදින විට සියල්ලන්ගේම රෙදි ගැලවෙන බව නම් සැබෑය. එංගලන්තයට ගිය ශ්‍රී ලංකා කණ්‌ඩායමේ දුසිමකට වඩා සිටියේ කාර්ය මණ්‌ඩලයයි. එහෙත් ක්‍රීඩකයෝ නම් පියවරෙන් පියවර ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ශ්‍රේණිගත කිරීම්වල පහලට ඇද දමමින් සිටියි. ෆොaඩ්ගේ රාජකාරිය අවසන් කර දැමුවහොත් ගන්නා මීළඟ පුහුණුකරුවා කවුරුන්ද? යන්න මේ වන විටත් සාකච්ඡා මට්‌ටමේ පවතින මාතෘකාවකි.

එංගලන්තයේ ශීතල සහ තණතීරුවල ස්‌වභාවය වෙනස්‌ බව සැබෑය. නමුත් අදාළ තරගාවලියේ අවසන් පූර්ව වටයට පැමිණියේ ආසියානුවන් තිදෙනෙකි. ඒ අතර බංග්ලාදේශයද සිටියේය. අවසන් තරග වරම දිනා ගත්තේද ආසියානු කණ්‌ඩායම් දෙකකි. එබැවින් තණතීරු හෝ දේශගුණය නිදහසට කරුණු නොවන බව සක්‌ සුදක්‌ සේ පැහැදිලිය. එසේනම් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අවශ්‍යම මොහොතේදී ඇදගෙන නා ගත්තා නොවේද?

තිසර පෙර්රා, සීක්‌කුගේ ප්‍රසන්න සහ ධනුෂ්ක ගුණතිලක අතට පැමිණි උඩපන්දු බිම නොදමන්නට ශ්‍රී ලංකාවට බොහෝ දුරට අද චැම්පියන්ස්‌ලා සොයන අවසන් සටනේ එක්‌ ප්‍රතිවාදියකු වන්නට ඉඩ තිබුණි. එසේ වූවානම් රතුපළස මතින් ඔවුන් ලක්‌ දිවයිනට පැමිණෙනු ඇත. එසේ වූවානම් සියලු ප්‍රශ්න වැලලී යනු ඇත. නමුත් පසුගිය වසර කිහිපයේදීම සිදුවූ පන්දු රැකීමේ දුර්වලතාව යළිත් මතුවෙමින් ශ්‍රී ලංකාව සුපුරුදු පරාජයන් ගොඩටම තල්ලූ වී හමාරය. “උඩපන්දු හැමෝම අතහරිනවා. ඒක සාමාන්‍ය දෙයක්‌’ යනුවෙන් කණ්‌ඩායමේ සගයන් ප්‍රසිද්ධියේ පවසන්නේ උඩපන්දු අතහැර දැමූවන් නිදොස්‌ කොට නිදහස්‌ කිරීමටය. නමුත් මිලියන ගණන් ගෙවා සියලු දෙයින් අංග සම්පූර්ණ යටිතල පහසුකම් ලබාදී බිහි කරන වෘත්තිය ක්‍රීඩකයෝ එක පෙළට එකම වැරදි කිරීමෙන් බිම දමන්නේ රටේ ක්‍රිකට්‌ අභිමානයයි.

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කළමනාකරු අසංක ගුරුසිංහ බංග්ලාදේශය සමග තරගාවලිය අවසන් වීමෙන් පසුව පවසා සිටියේ කොච්චර හොඳ ක්‍රීඩකයෙක්‌ වුණත් පන්දු රැකීම දුර්වලනම් කණ්‌ඩායමට නොගන්නා බවයි. නමුත් තිසර පෙරේරා හොඳ පන්දු රකින්නෙක්‌ද? ඔහු තුන් ඉරියව් ක්‍රීඩකයකු ලෙස කළ හපන්කම් තවදුරටත් කණ්‌ඩායමේ තබා ගැනීමට ප්‍රමාණවත්ද? කාඩිෆ් ක්‍රීඩාංගණයේ පකිස්‌තානය සමග පැවැති තරගයේදී තිසර පෙරේරාගේ උදරය ඉදිරියට නෙරා ඇති බව එහි සිටි ප්‍රේක්‍ෂකයෝ පවසා සිටියේ, “අර තිසරයගෙ බඩේ හැටි බලන්නකෝ. ඔහොම තියාගෙන ක්‍රිකට්‌ ගහන්න පුළුවන්ද. කවුද අප්පා මේ අයව සිලෙක්‌ට්‌ කරන්නෙ.” යනුවෙනි.

කෙසේ හෝ ශ්‍රී ලංකාවට දැන් ගොඩ යැම පටන් ගැනීමට නම් පොඩි ඉල්ලුමක්‌ පෑදී තිබේ. ඒ සිම්බාබ්වේට පහරදී මනස හදා ගැනීමටය. අනතුරුව පැමිණෙන්නේ ඉන්දියානු කණ්‌ඩායමයි. ඉන්දියාව තලා දැමුවොත් ශ්‍රී ලංකාවට යළි උඩ යන්නට අවස්‌ථාව තිබේ. කෙසේ වෙතත් උඩ යා යුත්තේ යළි බිම නොවැටෙන්නටය. ඒ සඳහා මෙසේ කරන්නේ යෑයි අපි ශ්‍රී ලංකා කළමනාකාරීත්වයට යෝජනා කරමු. පරාජයන් තුළින් මතු වූ නීරස අවුල් වියවුල් අමතකර දැමිය යුතුය. පන්දු රකින්න බැරිනම් ඔවුන්ව එළියට දැමිය යුතුය. ශරීර සෞඛ්‍ය නොමැති ක්‍රීඩකයන්වත් අතුගා දැමීම සාධාරණය. තරග දිනවන ඔලූවක්‌ සහිත ක්‍රීඩකයන් ගොන්නක්‌ තරගාවලි සඳහා නම් කළ යුතුය. පරණ නම්වලට ශ්‍රී ලංකාවේ ක්‍රිකට්‌ සුද්ධ කිරීමටද ඉඩ නොදිය යුතුය.

(අසේල විතාන - දිවයින)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ක්‍රිකට් තිරය පිටුපස රත්වේ, සිම්බාබ්වේ සමඟ තරඟාවලියට සංචිතය කොහොම වෙයිද…?"

    Post a Comment