01 June, 2017

අගමැති මාධ්‍ය ලොක්කා පොලිසිය මඟහැර රට පැනලා ?

Thushara D Wanniarachchi

ලේක් හවුස් මාධ්‍යවේදී හා වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ කමිටු සාමාජික විමුක්ති දුෂන්තට දුරකථනයෙන් තර්ජනය කළ අග්‍රාමාත්‍යවරයාගේ සමාජ ජාල ප්‍රධානී තුෂාර ඩී. වන්නිආරච්චි මහතා පොලිසිය මඟහැර විදෙස්ගතවීමට කටයුතු කර ඇතැයි වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති ෆ්‍රෙඩී ගමගේ මහතා කියයි.

ඒ මහතා මේ බව කියා සිටියේ අදාළ සිද්ධියේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මිරර් කළ විමසීමකදීය.

ගමගේ මහතා කියා සිටියේ විමුක්ති පොලිසියට පැමිණිලි කිරීමෙන් පැය 72ක කාලයක් ඉක්මගිය තැන ද පැමිණිල්ල විභාග කිරීමට පොලිසිය කටයුතු නොකිරීම නිසා තමා මහරගම පොලිසියේ ස්ථානාධිපතිවරයාගෙන් එම පැමිණිල්ලේ වගඋත්තරකරුවන් ගෙනවිත් පැමිණිල්ල විභාග නොකරන්නේ ඇයි දැයි ප්‍රශ්න කළ අවස්ථාවේ අදාළ තොරතුරු හෙළිකර ගැනීමට හැකි වූ බවයි.

තමා මේ පැමිණිල්ලේ වගඋත්තරකරු වන තුෂාරව, පැමිණිල්ල විභාග කිරීමට පොලිසියට කැඳවීමට ඔහුගේ කාර්යාලයට දුරකථන ඇමතුමක් ලබාදුන් බවත්, එහිදී අගමැති කාර්යාලයේ සේවකයන් තුෂාර විදෙස්ගතව ඇති බව කීවේයැයි පොලිස් ස්ථානාධිපතිවරයා පැවසූ බව ගමගේ මහතා කීය.

කෙසේවුවද, තුෂාර අද (31) සවස 6.00ත් 6.20ත් අතර කාලයේදී සිය ෆේස්බුක් පිටුවට පොස්ටුවක් යොදමින් තමා බණ්ඩාරනායක ගුවන් තොටුපලේ ඇති බව දක්වා තිබේ.

අදාළ පොස්ටුව පහත දැක්වේ.

Thushara D Wanniarachchi-Post

ගමගේ මහතා මේ සම්බන්ධයෙන්ද අදහස් දක්වමින් කියා සිටියේ තමාද අදාල පෝස්ටුව දුටු බවත්, තුෂාර පොලිසිය නොමඟ යවා ඇති බව ඉන් හැඟෙන බවත් කියා සිටියේය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ තුෂාර තමාගේ මිතුරෙකු බවත්, කෙසේවුවද, ජනවාරි 08 වැනිදා රාජපක්ෂ රෙජීමය පලවාහැර මේ ආණ්ඩුව පත්කර ගත්තේ පසුගිය රාජපක්ෂ ආන්ඩුවේ පැවැති මෙවැනි කසඩ වැඩ නැවැත්වීමට බවයි.

තමාට, තුෂාර සමඟ පෞද්ගලික අමනාපයක් නැතත් තුෂාර, විමුක්ති ඔහුගේ නම හෝ පල නොකර යොදන ලද ෆේස්බුක් පෝස්ටුවකට කර ඇති තර්ජනය අනුමත කළ නොහැකි බැවයි. එසේම තම මතය තුෂාර, විමුක්තිගෙන් ප්‍රසිද්ධියේ සමාවගත යුතුය යන්න යැයිද ඔහු පැවසීය.

තුෂාරට ප්‍රශ්න දෙකක් !

මේ අතර, විමුක්ති හා තුෂාරගේ සංවාදයේදී තුෂාර විමුක්ති මාධ්‍යවේදියෙක්දැයි ප්‍රශ්න කරන බවත්, තමාට තුෂාරගෙන් ඇසීමට ඇත්තේද ඊට සමාන ප්‍රශ්න දෙකක් බවත්, ඒ තුෂාර ඔබ මාධ්‍යවේදියෙක්ද ? යන්න හා රාජපක්ෂ රෙජීමය පැවැති සමයේ ඔබ සිටියේ කොහෙද ? යන ප්‍රශ්නය යැයි ගමගේ මහතා කියා සිටියේය.

කෙසේවුවද, විසම්මුතිය ගැන අගමැතිවරයා නිතර කතා කරද්දී හා විසම්මුතියට ඉඩක් ඇති බව ඔහු කියද්දී ඔහුගේ සමාජ ජාල ප්‍රධානියා විසම්මුතියට එරෙහිව වැඩ කිරීම ගැටලුවක් බවද ඔහු පැවසීය.

සමහමහරක්, සාමාජ ක්‍රියාධරයන් මේ සිද්ධිය හාස්‍යට ලක් කිරීමේ උත්සාහයක නිරතව ඇති බවත්, තමාට පැවසීමට ඇත්තේ තමා හා තම සංවිධානය මාධ්‍යට එරෙහිව සිදුකරන ඕනෑම අකටයුත්තකට රාජපක්ෂ රෙජීමය පැවැති සමයේදී මෙන්ම විරුද්ධ බව යැයිද, එසේ නැතිව මේ ආණ්ඩුවෙන් නම් ඕන දෙයක් කරපුදෙන් කියන මතයේ තමා නැතැයිද ඔහු සඳහන් කළේය.



(srilankamirror)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "අගමැති මාධ්‍ය ලොක්කා පොලිසිය මඟහැර රට පැනලා ?"

    Post a Comment