22 June, 2017

ගැබිනි කාන්තාවට රාගය අකැපද ?

pregnant women

ගැබිනි මව්වරුන් සහ දරුවන්ගේ සුවසෙත වෙනුවෙන් ලියැවුණු පොත් පිංචක්, දේශීය සහ වෛකල්පිත වෛද්‍ය ක්‍රම ප්‍රවර්ධනය සඳහා ඉන්දීය රජය පිහිටුවා ඇති 'ආයුෂ් අමාත්‍යංශය' විසින් පසුගිය සතියේ දී නිකුත් කරන ලදී.

ගැබිණි කාන්තාවන් බිත්තර සහ මාංශ අනුභවයෙන් වැළකී, ශාරීරික ව්‍යායාමවල යෙදෙමින් ආශාවන්ගෙන් සහ රාගයෙන් තොරව කල්ගත කළ යුතු බවත් තම නිදන කාමරය තුළ අලංකාර පින්තූර එල්ලා තැබිය යුතු බවත් සඳහන්වන උපදෙස් මාලාවක් එම පොතෙහි අඩංගුවේ.

Pregnant woman sex
පිටු දාසයකින් යුත් මෙම කුඩා ග්‍රන්ථය ඉන්දියාවේ මාධ්‍යවේදීන්ට ද ලබා දී තිබේ.

මෙම ග්‍රන්ථය මීට තෙවසරකට ඉහත දී මුද්‍රණය කර තිබෙන නමුත් පසුගිය බදාදාට (ජුනි 14) යෙදුණු ජාත්‍යන්තර යෝගා දිනය නිමිත්තෙන් එය යළිත් වරක් බෙදා හරිනු ලැබීමෙන් අනතුරුව ඉන්දීය මාධ්‍යවේදීහු ඒ පිළිබඳව ලියන්නට පටන් ගත්හ.


ගැබිනි මව්වරුන්ට සුදුසු - නුසුදුසු ආහාර සහ යෝගා ව්‍යායාම පිළිබඳවත් කළයුතු සහ නොකළ යුතු ක්‍රියාකාරකම් පිළිබඳවත් කියවිය යුතු පොත්පත්, පැවැත්විය යුතු සමාගමයන් සහ නිතර දෙවේලේ බැලියයුතු පින්තූර පිළිබඳවත් උපදෙස් මාලාවක් මෙම පොත් පිංචේ අඩංගු වෙයි.

එහි අඩංගු ඇතැම් උපදෙස් ඉන්දීය වෛද්‍යවරු විසින් ප්‍රශංසාවට ලක් කරනු ලැබ ඇති නමුත් සියලුම උපදෙස් පිළිපැදීම බුද්ධි ගෝචර නොවන බව වෛද්‍යවරු පවසති.

මන්දපෝෂණය

නමුත් බිත්තර සහ මස් මාංශ ආහාරයට නොගන්නා ලෙස ගැබිනි මව්වරුන්ට ලබා දී ඇති උපදෙස විවාදයට බඳුන් වී තිබේ.

ඉන්දියාවේ හින්දු ජාතිකවාදී, භාරතීය ජනතා පක්‍ෂයේ ආණ්ඩුව සතු නිර්මාංශ ප්‍රතිපත්තිය ව්‍යාප්ත කිරීම සඳහා මෙම උපදෙස් ලබා දී ඇති බව විචාරකයෝ පවසති.

එමෙන්ම මන්දපෝෂණය සහ රක්තහීනතාවය බහුල වීම හේතුවෙන් ඉන්දියාවේ මාතෘ මරණ ප්‍රතිශතය ලොව ඉහළම අගය බවට පත්වී තිබියදී මෙවැනි උපදෙසක් ලබාදීම ඉතා භයානක බවටද විවේචන එල්ලවී තිබේ.

ඉන්දියාවේ 'ආයුෂ් අමාත්‍යංශය' ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ යෝගා විෂය තුළ මාංශ ආහාර අනුභවය පිළිනොගන්නා බවය.

ඉන්දීය මාධ්‍ය එම කාරණය පමණක් උලුප්පා දක්වමින් කටයුතු කරන බවටත් එම ග්‍රන්ථයේ අඩංගු අහිතකර ආහාර පිළිබඳව කතා නොකරන බවටත් ඔවුහු චෝදනා කරති.

වෛද්‍ය මතය

දිල්ලි නුවර නාරිවේද විශේෂඥ වෛද්‍ය සෝනියා නායික් කියා සිටියේ "බිත්තර සහ මස් ආහාරයට ගන්න එපා කියල ගැබිණි මාතාවන්ට දෙන උපදේශයේ කිසිම හොඳක් වෛද්‍යවරයෙක් හැටියට මට දකින්න බැහැ. ඉතාම පහසුවෙන් ලබා ගත හැකි ප්‍රෝටීන ජනක ආහාරය තමයි බිත්තර. මගේ උපදේශය නම්, කවුරු උනත් ලැබෙන දෙයක් කාල පෝෂණය ලබා ගත යුතුයි." යනුවෙනි.

'ආයුෂ් අමාත්‍යංශය' ලබාදෙන උපදේශය ඉන්දියාවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ වෙබ් අඩවියේ සඳහන් උපදෙස් මාලාවට ද පටහැනිය.

ගැබිනි මාතාවන් යකඩ ඌනතාවයෙන් මිදීම සඳහා බිත්තර සහ මාංශ ආහාරයට ගතයුතු බව ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යංශයේ වෙබ් අඩවිය සඳහන් කරයි.

රාගයෙන් තොර

ගැබිණි මාතාවන් රාගයෙන් තොරව කල්ගත කළ යුතු බවට ලබා දී ඇති උපදෙස ද විවාදයට ලක් වී තිබේ.

ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යංශය මේ පිළිබඳව නිහඬ පිළිවෙතක් අනුගමනය කරන නමුත් වෛද්‍යවරුන් පවසන්නේ ගැබිණි සාමය තුළ ලිංගිකව එක්වීමෙන් හානියක් සිදු නොවන බවය.

"හෝමෝන ක්‍රියාකාරිත්වය වෙනස්වීම නිසා ඇතැම් ගැබිනි කාන්තාවන් සාමාන්‍ය ප්‍රමාණයට වඩා ලිංගිකව ක්‍රියාශීලී වෙන්න පුළුවන්. ඉහළ අවදානම් තත්වයක් සහිත ගැබ් ගැනීමක් නොවෙයි නම් අපි ඔවුනට උපදෙස් දෙන්නේ නැහැ ලිංගික කාර්යයෙහි යෙදෙන්න එපා කියල." යනුවෙන් වෛද්‍ය සෝනියා නායික් පැවසුවාය. (BBC)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ගැබිනි කාන්තාවට රාගය අකැපද ?"

    Post a Comment