03 June, 2017

"සල්ලි - ක්ලබ් - පිරිමි" මට නෑ - මිතුනිකා

Mithunika Fernando-01

මිතුනිකාට නිරූපිකාවක් වෙන හීනය තිබුණේ පුංචි කාලේ ඉඳන්ද..?
මම ඉගෙනගත්තේ මොරටුව කන්‍යාරාමයේ. පුංචි කාලේ මම ආසාවෙන් හිටියේ ක්‍රීඩා පැත්තෙන් ඉදිරියට යන්නයි. ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම මම ක්‍රීඩාවට ආසයි. ගොඩාක් වෙලාවට හිටියේ පිට්ටනියේ. ඉතින්... කොහොමින් කොහොම හරි ඉබේටම වගේ මාව මේ ෆීල්ඩ් එකට යොමුවුණා.


කොහොමද ඒ අවස්ථාව ලැබුණේ?
2015 අවුරුද්දේ මම දෙරණ අවුරුදු කුමරිය වුණා. ඒ තරගයට අයදුම්පත දැම්මේ මගේ අම්මා. ඉතින් දෙරණ අවුරුදු කුමරිය වීමත් සමඟ මට රූපලාවන්‍ය ශිල්පීන් හරහා නිරූපණ ක්ෂේත්‍රයට පිවිසෙන්න අවස්ථාව ලැබුණා.

වැඩිපුරම මිතුනිකා කැමති මනාලියන් විදිහට නිරූපණයන් කරන්න නේද..?
ඔව්. ඒක ඇත්ත. දැනට මම වෘත්තිය හැටියට කරන්නේ මනාලියන් ලෙසින් හැඩවීමයි. ඒකට මම කැමතියි. මේ වෙනකොට අවස්ථා සියයකදී විතර මම මනාලියක් විදියට හැඩවෙලා තියෙනවා.

මිතුනිකා... නිරූපිකාවක් දිහා මේ සමාජය බලන්නේ ටිකක් අමුතු විදිහටනේ. කොටට අඳින ක්ලබ් යන කොටසක් විදිහටනෙ හිතන්නේ. මොකද ඒ ගැන ඔයා හිතන්නේ..?
ඒක තමන් තමයි හදාගන්න ඕනේ. තමන් කරන වැඩේ හරියට කරගෙන හිටියොත් වරදින්න විදිහක් නෑ. තමන්ගේ පාඩුවේ තමන්ගේ වැඩේ කරගෙන හිටියොත් ඒක කාටවත් ප්‍රශ්නයක් වෙන එකක් නෑ.

ඒ වුණාට තමන්ගේ පාඩුවේ හිටියට නිරූපණ ශිල්පිනියන්ට කතා හැදෙන අවස්ථා වැඩියි නේද..?
ඔව්.. ඒක ඇත්ත. ඒක ඉතින් මේ ක්ෂේත්‍රයේ ඉන්න ඇතැම් අය නිසා මිනිසුන්ගේ හිතේ නිරූපණ ශිල්පිනියන් ගැන තියෙන ප්‍රතිරූපයනේ. ඒත් මේ ක්ෂේත්‍රයේ ඉන්න හැමෝම එහෙම වැරදි කරන්නේ නෑ. කීපදෙනෙක් කරන වැරදි වැඩවලින් හැමෝම ඒ මිම්මෙන් මනින්න එපා. ඕනෑම ක්ෂේත්‍රයක ඉන්නවා වැරදි වැඩ කරන අය.

අද බොහෝ නිරූපිකාවන් මොඩ්ලින් ෂෝ දෙක තුනකට හිටිය ගමන් ඇය නිරූපිකාවක් වෙලානෙ. ඒ මදිවට වාහනයක් වරදින්නේ නෑ. ක්ලබ් යන්න වරදින්නේ නෑ. මෙච්චර සල්ලි එකපාර හම්බකරන්න පුළුවන්ද..?
මම අනිත් අය ගැනනම් දන්නේ නෑ. ඒත්.. මම බොහොම සාමාන්‍ය ජීවිතයක් ගතකරන කෙනෙක්. මම සල්ලි පස්සෙ දුවන කෙනෙක් නෙවේ.

අද ඉන්න තැන ගැන මොකද හිතෙන්නේ?
මේක මම කවදාවත් හිතපු ක්ෂේත්‍රයක් නෙමේ. ඒත්.. අද මම ඉන්න තැන ගැන මට සතුටුයි. මට තාම එච්චර වයසක් නෑ. මේ පොඩි වයසට ආපු ගමන ගැන සතුටුයි.

නිරූපණ ක්ෂේත්‍රයේදී අඳින ඇඳුම ගැන සැලකිලිමත් වෙනවද..?
මට ගැලපෙන දේ තමයි මම කරන්නේ. මට හොඳයි කියලා හිතෙන ඇඳුම් මම අඳිනවා. කොට ඇඳුම් කියලා ප්‍රශ්නයක් නෑ. හැබැයි මට ගැලපෙන්න ඕනෙ.

මිතුනිකාට රඟපාන්න අවස්ථාවක් තවම උදාවෙලා නැද්ද..?
රඟපාන්න ආරාධනා කීපයක් ලැබිලා තියෙනවා. ඒත් දැන්ම ඒ පැත්තට යොමුවෙන්න මම ආස නෑ. මම ආසයි ඒක මුලින්ම හදාරන්න. ඊටපස්සේ රඟපාන්න මම ආසයි.

මොනවද ඊළඟට තියෙන බලාපොරොත්තු..?
මම දැනට මියුසික් වීඩියෝවලත් ඉන්නවා. දැනට වෘත්තියක් විදිහට නිරූපණ ක්ෂේත්‍රය තෝරගෙන ඉන්නවා. හැබැයි හැමදාම අපිට මේ රූපයම තියෙන්නේ නෑ. මේ රූපය තියෙනකන් අපි ඉඳීවි. ඒ නිසා මගේම කියලා ව්‍යාපාරයක් පටන්ගන්න අදහස් කරගෙන ඉන්නවා.

► Text – Dishani / Pic – Sumudu (deshaya)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to ""සල්ලි - ක්ලබ් - පිරිමි" මට නෑ - මිතුනිකා"

    Post a Comment