07 June, 2017

ඉන්දියාවේ නිෂ්පාදිත පළමු අධිසුඛෝපභෝගී දුම්රිය තේජාස් එක්ස්ප්‍රස්

India first luxury train Tejas Express

අධි සුඛෝපභෝගී දුම්රියක් ඉන්දියාවේ මේ නිෂ්පාදනයකොට ඇත්තේ පළමුවරටය. තේජාස් එක්ස්ප්‍රස් නම් වන මෙහි වයි ෆයි පහසුකම, පරිගනක ක්‍රීඩා හා රූපවාහිනිය නැරඹීමේ පහසුකම් ඇතුළු සුවපහසු ගමනකට අවශ්‍ය සියඵ අංගෝපාංග තිබේ. සී.සී.ටී.වී. ඇතුළු ආරක්ෂක උපකරණවලින්ද එය සමන්විතය. වායුසමීකරණය කොට ඇති තේජාස් එක්ස්ප්‍රස්හි නැගී මුම්බායේ සිට ගෝවා බලා බොලිවුඩ් චිත්‍රපට නරඹමින් හා කමින්, බොමින් යන අතරේ එහි ඇති විශේෂ දුම්රිය මැදිරිය වෙන්කරවා ගතහොත් වාඩිවී සිටින අසුනම දිගහැර අවශ්‍යනම් නිදාගනිමින් අපූරු අත්දැකීමක් ලැබිමේ අවස්ථාව දැන් දෙස්, විදෙස් සංචාරකයින්ට ලැබෙයි. අනෙක් දුම්රියට වඩා තරමක් ඉක්මනින් පැය අට හමාරක කාලයක් තුළ තේජාස් එක්ස්ප්‍රස් මුම්බායේ සිට ගෝවා බලා ළඟාවනු ඇත.

ස්වයංක්‍රීය දොරවල් හා පෙට්ටියෙන් පෙට්ටියට ගමන අතරේ යාමේ පහසුකම පළමුවරට ඉන්දියාවේ දුම්රියකට ඇත්නම් ඒ තේජාස් එක්ස්ප්‍රස් දුම්රියේය. පැයට කිලෝමීටර් දෙසීයක් වේගයෙන් ගමන්කිරීමට මෙම දුම්රියට හැකිවුවද ඒ ඒ ස්ථානවලදී යායුතු සාමාන්‍ය වේගය ඉක්මවා ගමන් නොකිරීමට තේජාස් එක්ස්ප්‍රස් වගබලාගනියි. සතියකට පස්වරක් තම ගමන යන තේජාස් එක්ස්ප්‍රස් ඉන්දියාවේ මෝසම් වැසි කාලයට සතියකට තුන්වරක් පමණක් ගෝවා බලා යාමට තීරණයකොට තිබේ.

දුම්රිය තුළ ආහාරපාන සහිතව කරත්තයක් විටින්විට එහාමෙහා යන අතර මුදල් යන්ත්‍රයට දමා තේ හා කෝපි ලබාගත හැකි වෙන්ඩින් යන්ත්‍රද එතුළ වෙයි. මේ දුම්රියේ යනවිට දැනෙන්නේ ගුවන්යානයක යන්නාක් වැනි හැඟීමක් බව එහි මේ වනවිට ගමන් කොට ඇති මගීන්ගේ අදහසයි. දුම්රියේ දෙවන පන්තියේ ටිකට් පතක් ඉන්දීය රුපියල් එක්දහස් එකසිය අනූවක් වන අතර පළමු පන්තියේ ටිකට් පතක් ඉන්දීය රුපියල් දෙදහස් පන්සිය අනූවකි. පෙට්ටි දහතුනකින් යුතු දුම්රියේ නමසිය අනූදෙනෙකුට අසුන් පනවා තිබේ. තේජාස් එක්ස්ප්‍රස් සාර්ථක වුවහොත් ක්‍රමයෙන් වෙනත් ප්‍රාන්තවලටත් මෙවැනි අධිසුඛෝපභෝගී දුම්රිය යැවීමේ සැලසුමක් ඇති අතර මීළඟ දුම්රිය ගුජරාත් බලා යාමට සැලසුම්කොට තිබේ.

මේ සියල්ල අතරේ වැඩි මිලක් ගෙවා මෙවැනි දුම්රියක ගමනක් යාහැකි මට්ටමේ පිරිසක් මෙහි ගියද පළමු ගමන්වාර හතර තුළ හෙඩ් ෆෝන් තුන්සිය තිස්හතක් මගීන් විසින් සොරකම් කරගෙන ගොස් තිබිණි. මේ නිසා පස්වැනි ගමන්වාරයේ සිට එකක් ඉන්දීය රුපියල් තිහක් වන සාමාන්‍ය තත්ත්වයේ හෙඩ් ෆෝන් තේජාස් එක්ස්ප්‍රස් දුම්රිය මගීන් වෙනුවෙන් මිලදී ගන්නට දුම්රිය බලධාරීන් තීරණය කොට තිබේ. ඊට අමතරව ඇතැම් මගීන් රූපවාහිනී තිර හා වෙනත් අංගෝපාංගවලට හානි සිදුකර තිබූ බවද වාර්තා විය.

නිශානි දිසානායක (lakbima)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ඉන්දියාවේ නිෂ්පාදිත පළමු අධිසුඛෝපභෝගී දුම්රිය තේජාස් එක්ස්ප්‍රස්"

    Post a Comment