20 June, 2017

සිරියානු යානය බිම හෙළීම: රුසියාවෙන් අනතුරු ඇඟවීමක්

Dropping down Syrian plane

ඇමෙරිකාව ප්‍රමුඛ යුද සන්ධානය විසින් සිරියානු ආණ්ඩුවේ යුද ගුවන් යානයක් වෙඩිතබා බිම හෙළනු ලැබීම සම්බන්ධයෙන් රුසියාව අනතුරු ඇඟවීමක් කරයි.

තම ගුවන් හමුදා ක්‍රියාත්මක වෙන සිරියානු භූමියට ඉහළ අහසේ සැරිසරන ගුවන් යානා හෝ නියමුවන් රහිත යානා(drones) සිය ඉලක්ක ලෙස සලකන බව රුසියානු විදේශ අමාත්‍යාංශය නිවේදනය කර ඇත.

ඊයේ ඉරිදා (ජූනි 18)බිම දැමූ සිරියානු ගුවන් යානය (Su-22) ඇමෙරිකානු උදව් ලබන 'රකා' පළාතේ (Raqqa) සන්නද්ධ ප්‍රහාරකයන් ඉලක්ක කර ගනිමින් බෝම්බ හෙළන ලද බව ඇමෙරිකාව ප්‍රමුඛ යුද සන්ධානය පවසයි.

ගුවන් ගැටුම් වළක්වා ගැනීමේ අරමුණින් ඇමෙරිකා එක්සත් ජනපදයත් සමඟ පවත්වා ගත් පණිවුඩ හුවමාරුව නතර කරන බවත් සිරියාවේ ප්‍රධාන ආධාරකරුවා වන රුසියාව කියා සිටියි.

සිරියානු ගුවන් යානය බිම හෙළනු ලැබීම වාර්තා වුණේ, ඇමෙරිකාවේ නායකත්වයෙන් සමන්විත යුද සන්ධානය සහ එහි සහයෝගය ලබන සන්නද්ධ ප්‍රහාරකයන් ඉස්ලාමීය රාජ්‍ය (IS) කැරලිකරුවන් 'රකා' පළාතෙන් නෙරපා හැරීම සඳහා ගොඩ බිමින් සටන් වදිමින් සිටින අතරයි.

තවදුරටත් අදහස් දක්වන රුසියානු විදේශ අමාත්‍යාංශය සිරියානු ගුවන් පථයෙහි අනතුරු වළක්වා ගැනීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයත් සමඟ සහයෝගයෙන් කටයුතු කරනු ලැබීම නතර කරන බවත් කියා සිටියි.

සිය ගුවන් යානය බිම හෙළනු ලැබීම "සාහසික ක්‍රියාවක්" හැටියට හෙළා දකින සිරියාව එම ක්‍රියාව නිසා බරපතළ පල විපාක වලට මුහුණ දීමට සිදුවනු ඇතැයි අනතුරු අඟවා ඇත.

මේ අතර ප්‍රකාශයක් කරන එක්සත් ජනපද යුද හමුදා ප්‍රකාශකයෙක් ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයේ (IS) කැරලිකරුවන්ඉලක්ක කර ගනිමින් දිගටම පහර දීමේ දී තම ගුවන් කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සහතික කිරීමේ පියවරක් වශයෙන් තම ප්‍රහාරක යානා යළි ස්ථානගත කෙරෙමින් ඇතැයි ප්‍රකාශ කරයි.

ඒ අතරම , වොෂිංටන් පාලනය රුසියාවත් සමඟ සන්නිවේදන සබඳතා දිගටම පවත්වා ගනු ලබන බව ඇමෙරිකානු ජනරාල් වරයෙක් සඳහන් කළේය. (බීබීසී)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "සිරියානු යානය බිම හෙළීම: රුසියාවෙන් අනතුරු ඇඟවීමක්"

    Post a Comment