20 June, 2017

පුංචි තිරයේ චණ්ඩි රැජින සෙනාලි ෆොන්සේකා

Sonali - Akila

මේ දිනවල පුංචි තිරයේ වැඩි කතාබහකට ලක්ව සිටින රංගන ශිල්පිනියක් මෙවර සැදැල්ලට එකතු කරගන්න හිතුවා.

ඇය ලාංකීය කලා ක්ෂේත‍්‍රය ආලෝකමත් කිරීමට මෑතක දී බිහිවූ ආකර්ෂණීය තාරකාවක් වන සෙනාලි ෆොන්සේකා.

සෙනාලි පිටරට අධ්‍යාපනය හමාර කරලද දැන් ලංකාවට ඇවිල්ලා ඉන්නේ?

ඔව්. මම ලංකාවට ගොඩක් ආදරෙයි. පුංචි කාලෙ දී එංගලන්තයට ගියත් හිත තිබුුණේ ලංකාවේ. ලංකාවෙන් ගියත් කලාවට ආසාව තිබුණා. මගෙ පළමු සිනමා නිර්මාණයට සම්බන්ධ වෙද්දීත් මම අධ්‍යාපනය හදාරණ ගමන් හිටියේ. නමුත් මේ වෙද්දී නම් මගෙ අධ්‍යාපන කටයුතු සියල්ල අවසන්. ඒක නිසා නැවතත් ලංකාවට ආවා. තාත්තා තවමත් එහෙ නිසා වරින් වර එහෙ ගිහින් එන්න සිදුවෙනවා.

සිරි පැරකුම් හරහා කලා ක්ෂේත‍්‍රයට ආපු සෙනාලි එතැන් පටන් නිර්මාණ කිහිපයකටම දායක වුණා නේද?

කලා ක්ෂේත‍්‍රයේ වැඩ කිහිපයකටම ආරාධනා ලැබුණා. නමුත් මගේ ආධ්‍යාපන කටයුතු නිසා ඒවා ගොඩක් මඟ ඇරුණා. නමුත් ටෙලිනාට්‍ය හා මියුසික් වීඩියෝවලින් වගේ කලින් කලට මම පේ‍්‍රක්ෂකයො අතරට එන්න අවස්ථාව ලැබුණා. ඒ නිසා පේ‍්‍රක්ෂකයන්ට මාව අමතක වුණේ නෑ.

නමුත් නැවතත් ඔබ පුංචි තිරයෙන් පේ‍්‍රක්ෂකයා අතරට ඇවිල්ලා ඉන්නවා නේද?

ඔව්, මේ දවස්වල හාරකෝටියේ දිලී විදියටත්, ගැමුණු මහරජ ,, කොටසේ රන්මැණිකා විදියටත් සම්බන්ධ වෙලා ඉන්නවා. ඉදිරියට තවත් නිර්මාණ කිහිපයකට ආරාධනා ලැබිලා තියෙනවා.

සෙනාලි කලා ක්ෂේත‍්‍රයට පිවිසුනේ ඓතිහාසික කතාවක් හරහා. දැන් නැවතත් එවැනි කතාවකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා නේද?

ඇත්තටම ඒ ගැන ගොඩක් සතුටුයි. මහරජ ගැමුණු ,, දී මට වැඩ කරන්න ලැබෙන්නේ සරත් ධර්මසිරි අධ්‍යක්ෂවරයා යටතේ. ඔහු සමඟ වැඩ කරන්න ලැබීම ගැන සතුටු වෙනවා. මීට පෙර මම සම්බන්ධ වුණු සිරි පැරකුම් සහ මහරජ ගැමුණු දෙකම ඉතිහාස කතා වුණාට මේ නිර්මාණ දෙක ඇතිවෙන්නෙ ක්ෂේත‍්‍රයන් දෙකක. සිරි පැරකුම් සිනමාවට සම්බන්ධයි. මහරජ ගැමුණු ටෙලි නිර්මාණයක්. ඒ නිසා මේ දේවල් සිදුවෙන ආකාරය, රූගත කිරීම් සිදුවෙන ආකාරය, සැලසුම් කරන ආකාරය එකිනෙකට වෙනස්, ඒ වෙනස මට හොඳට තේරෙනවා සහ දැනෙනවා. ඉතින් ඒ වෙනසත් එක්ක මේ නිර්මාණය මට අලූත්ම අත්දැකීමක්. සිරි පැරකුම් චිත‍්‍රපටයෙ (සිරිමල් එතනා) ගැමි චරිතයක්. මහරජ ගැමුණු නාට්‍යයේ මම රුජිණක් කුමාරිකාවක් විදියට රංගනයෙන් දායක වෙන්නේ. මෙහි දී මගෙ ස්වරූපය පවා ගොඩක් වෙනස්.

ඒ වගේ චරිතවලට විශේෂ කැමැත්තක් තියෙනවාද?

මම කරන හැම චරිතෙටම මම ගොඩක් කැමැතියි සහ ආදරෙයි. එහෙම විශේෂ චරිතයක් කියලා නෑ. මම රඟපෑ හැම චරිතයකටම වගේ පේ‍්‍රක්ෂකයෝ ගොඩක් කැමැතියි කියලා මට හිතෙනවා ඔවුන්ගෙන් ලැබෙන ප‍්‍රතිචාර නිසා. නමුත් අදටත් මගෙ හිතට දැනෙන හදවත ළඟම චරිතයක් විදියට සිරි පැරකුම්හි ‘සිරිමල් එතනා’ චරිතය මම දකිනවා. සමහර විට ඒ චිත‍්‍රපටය හරහා මම ක්ෂේත‍්‍රයට ආපු නිසා එහි විශේෂත්වයක් දකිනවා ඇති.

පිටරට වැඩි කාලයක් හැඳුණත් සෙනාලිට ගැමි චරිත නේද ගොඩක් ලැබෙන්නේ. ඒ ඇයි?

ඒ ගැන මම විශේෂ හේතුවක් නම් කියන්න දන්නේ නෑ. නමුත් ගොඩක් අය කියලා තියෙනවා මට අහිංසක පෙනුමක් සහ අහිංසක හිනාවක් තියෙනවා කියලා. ඒ නිසා වෙන්න ඇති මට ගැමි අහිංසක චරිත ලැබෙන්නේ.

ඒක පොඞ්ඩක් වෙනස් වුණා නේද හාරකෝටියේ දිලීගේ චරිතයෙන්?

ඔව්. මට චණ්ඩි රැුජන කියලා කතා කරන වෙලාවල් තියෙනවා. ඉදිරියෙදී ගැමි, අහිසංක චරිත නෙමෙයි විවිධාකාර චරිත ස්වරූපවලින් ඉදිරියට එන්නේ. ඒවා ඉදිරියේ දී දකින්න හැකිවෙයි.

චන්ඩි රැජින වෙලා ඉන්න දිලීගෙ චරිතයත් රන් මැණිකා චරිතයෙත් වෙනස කොහොම ද දැනෙන්නේ?

මේ දවස්වල හාරකෝටියේ සහ මහරජ ගැමුණු දෙකේම රූගත කිරීම් සිදු වෙනවා. සමහර වෙලාවට මහරජ ගැමුණු රූගත කිරීම් කරලා හාරකෝටියේ රූගතවලට එද්දී දිලීගේ චරිතයත් මහරජ ගැමුණු නාටයේ රන්මැණිකා වගේ රඟපාන්න හදනවා. ඉතින් ඒ වෙනස මටත් වඩා මගෙ වටපිට ඉන්න අයට තේරෙනවා. ඒ වෙනසට මම හරි කැමතියි. හරි ආස හිතෙනවා විවිධාකාර චරිත රඟපාද්දී.

දිලීගෙ චරිතය ගැන ටිකක් කතා කරමුද?

වත්තක හැදෙන වැඩෙන කොල්ලෝ වුණත් මට්ටු කරන් ඉන්න පුළුවන් චරිතයක්. ඇයට හොඳම යාළුවෝ දෙන්නෙක් ඉන්නවා ලාරා සහ ඩිංකා කියලා. ඒ දෙන්නව මට්ටු කරගෙන ඉන්නෙ. ඇය ලාරා චරිතයට ආදරේ කරනවා. නමුත් ඔහු ඇයට ආදරේ කරන්නේ නෑ. ඒකපුද්ගල ආදරයක් තියෙන්නේ.

එතකොට සෙනාලි ෆොන්සේකා අහිංසකද? චණ්ඩිද? කොහොම කෙනෙක්ද?

අනේ මම චණ්ඩිනම් නෑ. මම ගැන එක වචනයකින් දෙකකින් කියන්නත් මට බෑ. මම කව්ද කියා මමවත් හරියට දන්නෙත් නෑ. නමුත් ඉතින් මම හරිම සරළ විදියට සාමාන්‍ය විදියට ජීවත් වෙන කෙනෙක්. ලොකු අරමුණු, බලාපොරොත්තු සැලසුම් මගෙ ළඟ නෑ. එන විදියට ජීවිතේට මුහුණ දෙමින් ජීවත් වෙනවා.

දිගටම මේ ක්ෂේත‍්‍රයේ රැුදෙන්න ද කල්පනාව?

කලාවට ගොඩක් ආදරෙයි. නමුත් රංගනය කියන දේ මම විනෝදාංශයක් විදියට කරන්නේ. ඒත් අපි විනෝදාංශ කරන්නෙ ඕනෑවට එපාවට වගේනේ. එහෙම කරලා කලා ක්ෂේත‍්‍රයේ ඉන්න බෑ. ඒ නිසා මම ගොඩක් ඒ වෙනුවෙන් කැපවෙනවා. මේ ක්ෂේත‍්‍රයේ දිගටම ඉදී ද කියන්න බෑ. මම මේ ක්ෂේත‍්‍රයට ආවෙත් මමවත් නොදැනුවත්ව ලොකු සැලසුම් නැතිව. ඉදිරිය කොහොමද වෙයිද මොනවා වෙයිද දන්නේ නෑ. පුළුවන් තරම් හොඳ ගමනක් යන්න තමයි හිතාගෙන ඉන්නේ.

පිටරට ගියාම අපේ ලංකාවෙ අයට සිංහල අමතක වෙනවනෙ. නමුත් සෙනාලිට එහෙම නෑ නේද?

මගෙ දෙමව්පියෝ කවදාවත්ම මාව වෙනස් කළේ නෑ. මාව ලංකාවෙ විදියට ඒ සංස්කෘතියට තමයි හැදුවෙ. සිංහලෙන් කතා කළා. සිංහල අමතක කෙරෙව්වෙ නෑ. මගේ තාත්තා හැමවෙලාවෙම කිව්ව දෙයක් තමයි වෙනත් භාෂාවක් අපිට ඉගෙනගන්න පුළුවන්. නමුත් තමන්ගෙ භාෂාව ඉගෙනගන්න බෑ කියලා. ඒ නිසා මම මගෙ රට, භාෂාව, සංස්කෘතිය අමතක කළේ නෑ.

එතකොට සෙනාලි ආගමට දහමට තියෙන ලැදියාව කොහොමද?

මම ආගමට ගොඩක් ලැදියි, බෞද්ධ කෙනෙක් විදියට. මගෙ දෙමව්පියොත් ඒ වගේමයි. පන්සල් යන්නත් ගොඩක් කැමතියි. මගෙ ආගම ගොඩක් විශ්වාස කරනවා.

ධනු විජේරත්න (saaravita)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "පුංචි තිරයේ චණ්ඩි රැජින සෙනාලි ෆොන්සේකා"

    Post a Comment