19 June, 2017

හිනාවෙලා සතුටින් ඉන්නවා, ඒක තමයි ජීවිතේ

Chathurika - Gayan

ලාංකේය කලා ක්ෂේත‍්‍රය ආලෝකවත් කිරීමට වර්තමානයට බිහිවුණු තවත් දක්ෂ රංගන ශිල්පියෙක් මෙවර සඳැල්ලට එකතු කරගන්න හිතුවා. ඒ තමයි ගයාන් වික‍්‍රමතිලක.

ඔහු ඉතා කෙටි කලකදීම පේ‍්‍රක්ෂක ආදරයට සහ ආකර්ෂණයට පාත‍්‍ර වූයේ ඔහු පෑ රංගනයේ විශිෂ්ටත්වය නිසාමයි.

මේ දිනවල නම් ඔහු රූපවාහිනී පේ‍්‍රක්ෂකයන් අතර කතාබහට ලක්ව සිටින්නේ ‘පත්තිනි’ ටෙලි නිර්මාණයේ ‘කෝවලන්’ චරිතය නිසායි.

මේ දවස්වල රංගන කටයුතු සිද්ධ වෙන්නෙ කොහොමද?

මේ අවුරුද්දෙ ජනවාරි මාසෙ ඉඳන් මේ දක්වාම ටෙලිනාට්‍ය කීපයක් නිසා කාර්ය බහුල වුණා. ඒ අතරින් මූලිකවම ‘පත්තිනි’ ටෙලිනාට්‍ය වෙනුවෙන් ගොඩක් මහන්සි වෙනවා. ඊට අමතරව තවත් ටෙලිනාට්‍ය තුනක විතර රූගත කිරීම් සිදු කරලා තියෙනවා.

එහෙනම් මුලින්ම ‘පත්තිනි’ ගැන කතා කරමුද?

පත්තිනි හි මම රඟපාන්නේ ‘කෝවලන්’ විදියට ඒ වගේ චරිතයක් කරන්න ලැබීම ගැන මට ගොඩක්ම සතුටුයි. මොකද මම ගොඩක් ආසයි විවිධත්වය කියන දේට. හැමදාම එකම චරිතයක් කරනවට වඩා වෙනස් ආකාරයේ චරිතයක් කරන්න මට ලොකු ආසාවක් තිබුණා. ඉතින් කෝවලන් කියන්නෙ චරිතයක් ඇතුළෙ පවා වෙනස් වෙන චරිතයක්.

ඒ කියන්නේ?

එක් එක් අවස්ථාවලදී ඒ චරිතය ටෙලිනාට්‍ය පුරාම විහිදිලා යනකොට ඒ චරිතය වෙනස් වීම්වලට ලක්වෙලා තියෙනවා. ඒ කියන්නේ මුල් කාලයේ සල්ලාලයෙක්. පසුව ආදරය නිසා බීමත්කමට යොමු වෙනවා. පසුව සැබෑ ආදරය, මව්පියන් පිළිබඳව ආදරේ පිළිබඳව වගේ කරුණු කාරණා කීපයක් සමඟම වෙනස්වන චරිතයක්. ඉතින් මම කැමතියි එවැනි චරිතයක් රඟපෑමට මට අවස්ථාව ලැබීම ගැන. ඒක මගේ රංගන ජීවිතේට ලැබුණු වටිනාකමක්.

ඔබ කිව්වනෙ කෝවලන් කියන එකම චරිතෙ විහිිදිලා තියෙන ස්ථරයන් කිහිපයක් තිබුණා කියලා. ඔබ රඟපෑ වෙනත් චරිත එක්ක බලද්දී එකම චරිතය ඇතුළෙ ඒ විදියට වෙනස්වීම් කිරීම අභියෝගයක් වුණේ නැද්ද?

අභියෝගයක් නම් වුණේ නෑ. මොකද මේ චරිතය ආරම්භයේ සිටම මේ චරිතය තුළ ජීවත් වුණාම ඒක නිරූපණය කරන්න ලොකු ශක්තියක් ලැබෙනවා. පසුව අපි ඒ චරිතය තුළ තමයි ජීවත් වෙන්නේ. ඉතින් ඒ ඒ අවස්ථාවලදී අපි වෙනස් වීම් කරන්නෙ චරිතෙ මිසක් අපේ ජීවිතේ ඇතුළෙ වෙනස් වීම් නෙමෙයිනෙ. සමහර වෙලාවට බලද්දී ඒ ආරම්භ වෙන චරිත අපේ ජීවිතේ වගේ. මොකද අපිත් එකම විදියට ඉන්නෙ නෑනෙ. මේ චරිතෙත්් එක එක විදයට වෙනස් වෙනවා. ඒක අභියෝගයක් වුණේ නෑ.

කෝවලන් කියන්නේ ජනප‍්‍රිය ඓතිහාසික චරිතයක්නෙ. එවැනි චරිතයක් රඟපාන්න ලැබීම ගැන මොකද හිතෙන්නේ.?

මම මීට පෙරත් ඓතිහාසික චරිත කරලා තියෙනවා. නමුත් මේ චරිතය මට හරි විශේෂයි. හරි ආදරණීය චරිතයක්. ඉතින් ගොඩක් සතුටු වෙනවා.

මේ චරිතය සඳහා ගයාන් සුදුසුයි කියලා කතාවට සම්බන්ධ කරගත්තේ කව්ද?

මට මුලින්ම දුරකතන ඇමතුම ලබා දුන්නෙ හිරු නාලිකාවෙ විරාජ් වැලිවත්ත. මේ වගේ වැඩ කටයුත්තක් හිරු නාලිකාවෙ කරන්න යනවා කියලා තමයි ඔහු කිව්වේ. එහි අධ්‍යක්ෂවරිය මට කතා කරයි කියල කිව්වා. මෙහි අධ්‍යක්ෂවරිය තමයි තුෂාරි අබේසේකර. මම මීට පෙර ඇය සමඟ වැඩ කරලා තිබුණෙත් නෑ. නමුත් ඇය සමඟ මේ ගැන කතා කරලා පිටපත අරගෙන බලද්දී මට තේරුණා මම හැමදාම කරපු නිර්මාණවලට වඩා එහාට ගියපු පිටපතක් විදියට ලස්සන නිර්මාණයක් කියලා. මම මෑත ඉතිහාසයේ දැකපු හොඳම පිටපතක්. ඉතින් මම දෙවරක් නොසිතාම කැමති වුණා.

මේ වෙද්දී ලැබෙන ප‍්‍රතිචාර කොහොමද?

ඇත්තටම මට කියන්න තේරෙන්නෙ නෑ. පුදුමාකාර විදියට මේ ගැන කතා කරන්න පටන් අරන් තියෙනවා. නාට්‍යය විකාශය වෙන්න කළින් පූර්ව ප‍්‍රචාරණයන් විකාශය වුණා. ඉතින් ඒ කාලෙදී පවා අසීමිත ලෙස ප‍්‍රතිචාර මේ සඳහා ලැබුණා. මෙහි රූගත කිරීම් කරන්නෙ කතරගම, තිස්සමහාරාම ආදී ප‍්‍රදේශවල. ඒ අවට පිරිසත් අපි රූගත කිරීම් කරද්දී අන්න පත්තිනි රූගත කරනවා කියලා කියනවා. ඉතින් ඒ ලැබෙන ප‍්‍රතිචාරත් එක්ක මම හිතනවා ‘පත්තිනි’ ටෙලිනාට්‍යය අනිත් නාට්‍යවල නොදකින නාට්‍යමය නාට්‍යයක් විදියට හොඳ රසවින්දනයක් ලබාගන්නට පුළුවන් නාට්‍යයක් වෙයි කියලා.

පත්තිනි සඳහා සම්බන්ධ වුණු අනිත් රංගන ශිල්පී ශිල්පිනියන්ගෙන් ලැබුණු සහය කොහොමද?

මේ සඳහා රංගනයෙන් දායක වන සියලූම රංගන ශිල්පීන් ඉතාමත් හොඳ ප‍්‍රවීණ ඒ චරිතවලට උචිතම අය. මේ සඳහා ප‍්‍රධාන චරිතයෙන් දායක වන තාරුකා වන්නිආරච්චි කියන්නෙ මෑත කාලයේ බිහිවුණු දක්ෂ රංගන ශිල්පිනියක්. ඇයට ඉදිරියට හොඳ ගමනක් තියෙනවා. ඒ වගේම හිමාලි සිරිවර්ධන, කමල් දේශප‍්‍රිය, නයනා කුමාරි, නිරෝෂන් විජේසිංහ ඇතුළු ඒ හැමදෙනාම ඉතා දක්ෂ ලෙස රඟපානවා.

මේ සඳහා ගැළපෙනම රංගන ශිල්පීන් තෝරගෙන ඉන්නවා කිව්වනෙ ගයාන් හිතන විදියට කෝවලන්ට ඔබවම තෝරගත්තෙ ඇයි.?

කොවලන් චරිතයට මාව තෝරගත්තෙ මෙහි අධ්‍යක්ෂවරිය සහ නාලිකාවෙ සාකච්ඡුාවන් තුළින්. ගයාන් වික‍්‍රමතිලක කෝවලන්ට ගත්තෙ නැති වුණත් ඒ සඳහා ඕනැ තරම් රංගන ශිල්පීන් මගෙ වයසෙ හෝ වෙනත් අය ඉන්නවා. වෙන කවුරු හෝ රංගන ශිල්පියෙක් මේ චරිතය නිරූපණය කළා නම් පේ‍්‍රක්ෂකයෙක් විදියට මම ඒක බලනවා. ඔහු ඒ සඳහා ගැළපෙනව නම් ගැළපෙනවා කියලාත් කියනවා. මොකද මම මේ චරිතය කරන නිසා 100% ම කෝවලන් චරිතය සාර්ථකයි කියන තැන මම නෑ. මට වඩා හොඳට වෙනත් ආකාරයකින් රඟපාන්න පුළුවන් අය ඉන්නත් පුළුවන්නෙ. නමුත් මම හිතනවා කෝවලන්ගෙ චරිතය මම නිරූපනය කරන කාලය තුළ මට පුළුවන් උපරිම අයුරින් කරනවා කියලා.

ඓතිහාසික චරිත ඉදිරිපත් කිරීමට අපහසුද?

පහසුයි කියලා එකක් නෑ. ඕනෑම චරිතයක් කරන්න ගියත් ඒකෙ තියෙන බර අවබෝධ කර ගත්තේ නැත්නම් ඕනෑම චරිතයක් කිරීම අපහසුයි. චරිතයක් මුල සිට හොඳින් අවබෝධ කර ගත්තොත් ඕනෑම චරිතයක් කිරීමේ කිසිදු අපහසුවක් නෑ.

පත්තිනිට අමතරව කරන නිර්මාණ.

පත්තිනිට අමතරව ආදර දඩයම ටෙලි නිර්මාණයට සම්බන්ධ වෙලා හිටියා. එයත් ළඟදීම විකාශය වෙයි. එය සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණය වූවක්. ඒ වගේම මානාවාසය, රතු පිච්ච, කවුරුන්ද නුඹ මගේ වැනි නාට්‍යවලට සම්බන්ධ වෙලා ඉන්නවා. සහ ඉදිරියේදී ආරාධනා ලැබුණු නිර්මාණ කිහිපයක් සඳහා දායක වෙන්න නියමිතයි.

එතකොට ඔබ සහ චතුරිකා එක්ව සිනමා නිර්මාණයක් එළි දක්වනවා කිව්වා නේද?

ඒ අදහස අපි දෙන්නගෙම තියෙනවා. නමුත් මේ කාර්ය බහුලත්වයත් එක්ක ඒ අදහස ටිකක් පස්සට ගිහින් තියෙනවා. නමුත් මේ හැමදේටම පසුව විවේකයක් ලැබුණු ගමන් ඒ දේවල්වලට අත තියනවා.

සිනමාවෙ වැඩ කටයුතු කොහොමද?

මෑත කාලයේ ආරාධනාවක් නම් ලැබුණෙ නෑ. ආරාධනාවක් කරන්න ඕනෑ කියලා ලොකු දෙයක් නෑ. ආරාධනා ලැබුණොත් හොඳ දෙයක් නම් බාර ගන්නවා.

අනවශ්‍යයි නම් අයින් කරනවා. ඒකට චිත‍්‍රපටියක් ද, ටෙලි නාට්‍යයක් ද කියලා වෙනසක් නෑ.

මේ හැමදේමත් එක්ක ජීවිතේ ගෙවෙන්නේ කොහොමද?

ජීවිතේ හරිම නිදහස්ව සුන්දරව ජීවත් වෙනවා. හැම වෙලාවකම හිනාවෙල සතුටින් ඉන්න තමයි උත්සාහ කරන්නේ. ඒක තමයි ජීවිතේ.

ධනු විජේරත්න (saaravita)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "හිනාවෙලා සතුටින් ඉන්නවා, ඒක තමයි ජීවිතේ"

    Post a Comment