19 June, 2017

මාව කොපි කරලා කලං වෙන්න බැහැ

Amarasiri Kalansooriya - 03

අමරසිරි කලංසූරිය කියන්නේ හැත්තෑව දශකයේ රංගන කෞශල්‍යයෙන් ප්‍රගතිශීලි ගමනක් ආ ප්‍රවීණ රංගන ශිල්පියෙක්. අද මෙතෙක් ආ ගමන් මඟ ගැන කතා කරන්න අපි එන්න කිව්වේ ඔහුටයි.

මුල්ම රැකියාව සිනමාව නෙවෙයි නේද?
ඔව්, මගේ පියා නැති වුණා මට අවුරැදු 15 යි මාස 4 වෙද්දී. තාත්තා කරගෙන ආව වැඩ කරන්න තේරුමකුත් නැහැ. මම ඉතින් පොඩි පොඩි රැකියා කීපයක්ම කළා. ඒවා එකක්වත් හරි ගියේ නැහැ. ඊට පස්සේ අවුරැදු 18 වෙද්දී මට හිතුණා හමුදාවට බැඳෙන්න. ඊට පස්සේ මම අයදුම් කරලා හමුදාවට බැඳුණා. මම පුහුණු වුණේ දියතලාවේ එහිදී මම හොඳම සොල්දාදුවා වුණා. ඊට පස්සේ මාව දැම්මා යාපනයට. සොල්දාදුවා විදියට ගිය මට මුලින්ම ලැබුණේ ලාන්ස් කෝප්‍රල් තනතුර. හැබැයි මට ඒ කාලේ ඕනේ වෙලා තිබ්බේ සල්ලි. ඒත් යුද හමුදාවේ හිටියා කියලා මගේ අරමුණු ඉටු නොවන නිසා මම ආපසු ආවා. ඊට පස්සේ මාව අල්ලන්න හොයනකොට මම හැංගි හැංගි හිටියා. බැරිම තැන මගේ යාළුවන්ගෙන් රැපියල් 800ක් හොයාගෙන ගිහින් දීලා නිත්‍යනුකුලව අස් වුණා.

හරි ඊට පස්සේ කොහොමද සිනමාවට අවේ?
පතිරාජත් මමත් මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ඉගෙන ගත්තේ එකම අවධියක. ඔහු මට වඩා වැඩිමහල්. ඒත් අපි හඳුනනවා. හන්තානේ කතාව චිත්‍රපටයට මම සම්බන්ධ වුණේ ‍ඔහුගේ හඳුන්වා දීමකට අනුව. සුගතපාල සෙනරත් යාපා මහතාගේ හන්තානේ කතාව තමා මගේ මුල්ම චිත්‍රපටය.

ඒ ලැබුණු අවස්ථාව ගැන කතා කළොත්?
ඔව් මට කිව්වා මෙහෙම විශ්ව විද්‍යාල කතාවක් හන්තානේ කතාව කියලා කරනවා, ඒකට කලං ඇප්ලිකේෂන් එකක් දාන්න කියලා. මමත් ඉතින් ඇප්ලිකේෂන් එකක් දැම්මා. ඊට පස්සේ කොළඹ ජුබිලි හෝල් එකේ තිබ්බේ ඉන්ටර්ව් එක. එතැන හිටියා සුගතපාල සෙනරත් යාපා මහතා සහ විජය ධර්ම ශ්‍රී ත් හිටියා. මම එතැනට යද්දී තව ගොඩක් අය හිටිය නිසා මම ගිහින් ඇහුවා මම ගොඩක් දුර ඉඳන් ආවේ ගොඩක් වෙලා යයිද කියලා. ඊට පස්සේ අනිත් අයට පොඩ්ඩක් ඉන්න කියලා මාව අරගෙන මට කිව්වා තමා විසින් තමාගේ භාර්යාව ඝාතනය කරලා ඒකට නඩු තීන්දුව දීලා තියෙනවා කිව්වා එල්ලා මරන්න. ඒත් ඔයාට තියෙනවා මිනිත්තු 5ක් පාපොච්චාරණය කරන්න කියලා. නමුත් මොනවා කිව්වත් දඬුවම වෙනස් වෙන්නේ නෑ කියලා මට දුන්නා. ඊට පස්සේ මම කිව්වා දැන්ම කියන්නම් කියලා ගරු ස්වාමීනි උගත් නීතීඥ මහත්වරැනි මහත්මියණි අර අල්ලපු ගෙදර.... තමා ඔක්කොම කළේ කිව්වම එතැන ඉන්න අය කෑ ගහන්න ගත්තා මල්ලි මල්ලි අපෝ කොහේද මල්ලි ඉස්කොලේ කියලා ඇහුවා. මම කිව්වා ධර්මරාජ කියලා ඉංග්‍රීසි පුළුවන් ද ඇහුවා මම ඔව් කිව්වා. ඊට පස්සේ මට ලියුමක් එවන්නම් කිව්වා. මම ගෙදර ගියා ඊට දවස් කීපයකට පස්සේ ලියුමක් ආවා මාවත් තෝරා ගෙන කියලා. ඊට පස්සේ රැයත් දවාලත්, අක්කර පහළ, නිම් වළල්ල වගේ චිත්‍රපටවල රඟපෑවා.
එතකොට අහස් ගව්වට සම්බන්ධ වුණේ කොහොමද?

ඔව් ඒක හරි අපුරු සිදුවීමක්. මම කාලයක් නුවර මල්ලිකා ස්ටූඩියෝ එකේත් වැඩ කළා. එහි දී කළමනාකරු වීසි කරන්න කියලා දුන්න පරණ නෙගටිව් පටි පාවිච්චි කරලා කෙටි චිත්‍රපටයක් හැදුවා. ඒ දවස්වල ධර්මසේන පතිරාජ, බර්ටි ජයසේකර පේරාදෙණිය විශ්ව විද්‍යාලෙ ඉගෙන ගත්තේ. එයාලා මගෙ හොඳ යාළුවෝ. ඉතින් මම මේ කෙටි චිත්‍රපටය පතිරාජට පෙන්නුවා. එයා මේක බලලා ඒ ගැන හරියට පැහැදුණා. ඊට පස්සේ පතීගෙ යෝජනාවක් අනුව අහස් ගව්ව කරන්න පටන් ගත්තා. ඒකට මම මගේ හිතවත් ව්‍යාපාරිකයකු කැමති කර ගත්තා. අහස් ගව්වෙ තරුණයන්ගෙ ජීවිතේ කියන්නෙ අපේම ජීවිතේ. තරුණයෝ හැටියට අපේ අපේක්ෂා ඉටු කරගන්න දරන උත්සාහය තමයි ඒකෙ තියෙන්නේ.

ඔබ මීට පෙර සඳහන් කරලා තිබ්බා අහස් ගව්වෙ තේමා ගීතය ඔබේ ජීවිතයට සමාන බව?
ඔව්, හැමවෙලාවෙම මට හිතෙන්නේ අහස් ගව්වෙ තේමා ගීතයෙන් කියැවෙන්නෙ මා ගැනම බව. මොකද ජීවිතය ගොඩ නඟා ගැනීමේ අවිනිශ්චිතකම, අධිෂ්ඨානය, මිත්‍රත්වය පිළිබඳ තමා එහි තිබෙන්නේ. ඇත්තම කියනවා නම් ඒ තුළ තියෙන්නේ මනුස්සකම. ඒක තමයි මම කලාව විදියට දකින්නේ. මනුස්සකම නැති කලාව කලාවක් නොවෙයි. කලාකරැවෝ හැටියට ඒ දවස්වල අපි එකිනෙකා අතර දැඩි ආදරයක්, බැඳීමක් තිබුණා. ඒ බැඳීම් අදටත් තිබෙනවා. අද මම අඩුවෙන් දකින්නේ කලාව තුළ ඒ මනුස්සකම නැමැති ගුණයයි. ඒකයි මේ කලාව පිරිහෙන්න පටන් අරන් තියෙන්නේ.‍

ඔබ රඟපෑ චිත්‍රපට අතරින් වැඩිම ප්‍රතිචාරයක් ලැබුණු චිත්‍රපටය?
එහෙම කියන්න අමාරැයි. මොකද එකිනෙකට එකක් සාපේක්ෂ නිසා. එත් අපේක්ෂා චිත්‍රපටය එහෙම සෑහෙන දෙනා අතරට ගියා. 1975 තරංගා සහ 1978 අපේක්ෂා වගේ චිත්‍රපටවල මම රඟපෑවා.
අපේක්ෂා චිත්‍රපටය ඔබේ ජීවිතේ සංධිස්ථානයක් නේද?

ඔව්. මම ඒකෙ සම්ප්‍රදායික පෙම්වතා වුණේ නම් නැහැ. මම ඇන්දෙත් එකම ඇඳුම. ඒ වුණාට වැඩේ හිතුවට වඩා හොඳට ගියා. නොහිතපු තරම් චිත්‍රපටය ජනප්‍රියත් වුණා. ඒ කාලෙ අපේක්ෂා චිත්‍රපටය කීප වතාවක් බලපු අය මට මුණගැහුණා. ඒකෙ ජනප්‍රිය ප්‍රේම ගීත තිබුණා. ඒවා අදටත් මට ඇහෙනවා.

ඔබ සතු රංගන ශෛලිය ඔබ ගොඩ නගා ගත්තේ කොහොමද?
මගේ රංගන ශෛලිය සකස් වුණේ විශ්ව විද්‍යාලයකින් හෝ පාඨමාලාවකින් හැදෑරීම් කරලා නම් නෙවෙයි. ජීවිත අත්දැකීම්වලින්. මට මගේ ජීවිතේ අත්දැකීම් සමුදායක් තියෙනවා. ඒ නිසා මට රඟපෑමක් අවශ්‍ය වන්නේ නෑ. මම මා හැටියටම ඉස්මතු වෙනවා හැරෙන්න. ඒ නිසා රංග අභ්‍යාසයක් අවශ්‍ය වන්නේ නෑ.

යම් දවසක ඔබව අනුකරණය කරන නළුවෙක් බිහි වෙයිද?
මම හිතන්නේ නැහැ. මගේ මතුපිට ස්වරෑපය තියෙන අය නම් බිහිවෙයි. ඒත් එහෙම වුණා කියලා කාටවත් කලං වෙන්න බැහැ. නමුත් කෙනෙක් මම වගේ වෙන්න නම් මගේ සිතුවිලි වටහා ගන්න වෙනවා.

Text – Anusha Ranasinghe / Pic - Internet (deshaya)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "මාව කොපි කරලා කලං වෙන්න බැහැ"

    Post a Comment