28 May, 2017

දවස ගණෙ‍ මිනී මරණ රෝද දෙකේ මාරයා

Bike Acciedent on road

මේ බයික් එක මගේ වාහනයට ඉස්සර කරලා ගියේ පුදුම වේගයකින්... මිනිත්තු පහක් ගියේ නෑ... ඉස්සරහින් ගිය කාර් එක පස්සෙන් හැප්පිලා බයික් එකේ බාගයක් ඒ වාහනය යටට ගිහින්... අපරාදෙ කොල්ලො දෙන්නෙක්ම මැරුණනේ... සිය මෝටර් රථයේ ගමන් කරමින් සිටියදී දුටු මාරක යතුරුපැදි අනතුරක් පිළිබඳව රියැදුරු මහතකු පැවසුවේ එසේය.

පාරේ වාහන පේළියක් තිබුණා... සුදු ඉර නිසා කවුරුත් ඉස්සර කළේ නෑ... පිටිපස්සෙන් ආපු බයික් එක වම් පැත්තෙන් ඉස්සර කරගෙන ආවා... පාරේ වම් පැත්තෙ තිබුණු පස්වැටියක ස්ටෑන්ඩ් එක වැදුණු ගමන් බයිසිකලය පාරට පෙරළුණා... ඒත් එක්කම ආපු වැලි ලොරියේ පස්සෙ රෝද දෙකට ඔළුව යටවුණා... කොල්ලා එතනමයි... පසුගිය දිනෙක කොළඹ නුවර පාරේ සිදු වූ යතුරුපැදි අනතුරක් සියැසින් දුටු වෙළෙඳසල් හිමියෙක් පැවසුවේ මේ අයුරෙනි.

කඩුවෙල විහාර මාවතේ ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට වේගය පාලනය කරගත නොහැකි වීමෙන් මාර්ගයෙන් පැන අසල වූ කොන්ක්‍රීට් කණුවක ගැටී මියගියේ පසුගිය 20 වැනිදාය. ඊට පෙර දින සවස ගාල්ල - මාතර මාර්ගයේ එරමුදුගහ හන්දිය ආසන්නයේදී යතුරුපැදියක් ප්‍රතිවිරුද්ධ දෙසින් ආ වෑන් රථයක මූණට මූණ ගැටීම නිසා යතුරුපැදිකරු බරපතළ තුවාල ලබා රෝහල්ගත කරන අවස්ථාවේ මියගියේය.

මේ ආකාරයට ඉකුත් දින කීපයේ දිවයින පුරා ප්‍රදේශ රැසක දී සිදු වූ යතුරුපැදි අනතුරුවලින් පුද්ගලයන් ගණනාවක් මියගිය බව පොලීසිය සඳහන් කරයි. යතුරුපැදි අනතුරු රටම ගිලගන්නා වසංගතයක් තරමට දරුණු වෙමින් තිබීම කාගේත් සැලකිල්ලට යොමුවිය යුතුය.

යතුරුපැදිය තරුණ පරපුරේ ජනප්‍රියතම වාහනය සහ ශ්‍රී ලංකාවේ බහුලවම භාවිත කෙරෙන වාහනය බවට වාදයක් නැත. ගමන් බිමන්වල පහසුවට නිර්මාණය වූ යතුරු පැදිය විනෝදයට, මිතුදමට, ප්‍රේමයට පමණක් නොව ක්‍රීඩා උපකරණයක් වශයෙන් ද භාවිත වෙයි. ඇතැම් තරුණ තරුණියන්ට යතුරුපැදිය ඉහවහා ගිය විලාසිතාවකි.

කලින් කලට විවිධ අංග උපාංග සහිතව දැකුම්කලු ලෙස යතුරැපැදි වෙළෙඳපොළට එයි. ඒ සියල්ල සඳහා පවතින්නේ අධික ඉල්ලුමකි. ශක්තිමත් වෙළෙඳපොළකි. එසේ වුවද අද රෝද දෙකේ මාරයකු බවට පත්වෙමින් තිබේ. මේවා පැදයන බහුතරයක් තුළ ඇති කෙළිලොල් බව, තරුණ්‍යයේ උන්මාදය, අධික වේගය, සැහැල්ලුව, අපරීක්ෂාකාරී බව සහ අනවශ්‍ය ඉක්මන නිසා මේ තත්ත්වය හටගෙන තිබේ. මෙය සනාථ කරන්නට එදිනෙදා සිදුවන යතුරුපැදි අනතුරු සහ මරණ පිළිබඳ තොරතුරු පමණක් ප්‍රමාණවත්ය.

ඉකුත් 2016 වසර මෙරට රිය අනතුරු බහුලවම සිදු වූ වර්ෂයයි. එහි සමස්ත රිය අනතුරු සංඛ්‍යාව 2838ක් වූ අතර එමඟින් සිදු වූ මරණ ප්‍රමාණය 3020ක් විය. මේ අතුරින් වාර්තා වූ යතුරුපැදි අනතුරු ගණන 1182 කි. ඉන් වාර්තා වූ මරණ සංඛ්‍යාව 1229 කි. මේ තත්ත්වය 2015 වර්ෂය හා සැසඳීමේදී මරණ 157කින් 2016 වර්ෂයේ දී ඉහළ ගොස් ඇතැයි රථවාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති පාලිත ප්‍රනාන්දු මහතා පවසයි. 

ගෙවීගිය අප්‍රේල් 30 වැනිදායින් අවසන් වූ වසරක් පුරාවට යතුරුපැදි අනතුරු 384ක් සිදු වී පුද්ගලයන් 397 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි ද ඒ මහතා සඳහන් කළේය. මේ අතුරින් මියගිය 202ක් දෙනා අවුරුදු 20 – 30 අතර යොවුන් වියේ පසුවන බවත් ඉන් 114 දෙනකු නවතා තිබූ වාහන පසුකරගෙන යාමට ගොස් අනතුරට පත්වූවන් වන බවත් 88 දෙනකු මාර්ගයෙන් පිටත වූ ගස්ගල්වල හැපී මරණයට පත් වූ බවත් ඔහු ප්‍රකාශ කරයි.

අඩු ආදායම් ලබන පවුල්වල බහුතරය සිය ප්‍රවාහනය සඳහා යතුරුපැදිය යොදාගනී. මේ තත්ත්වය දියුණු වෙමින් පවතින රටවලද සුලබය. කොළඹ සහ මහනුවර ආදී අධික රථවාහන තදබදයක් පවතින නගරවල ජනතාවට තදබදයෙන් මිදී පහසුවෙන් ගමන් කරන්නට යතුරුපැදිය හොඳ විසඳුමක් වන නමුත් ඔවුන් නිසා නිර්මාණය වන වාහන තදබදයක් ද විටෙකදී දැකිය හැකිය. 

මෙවැනි ප්‍රධාන නගර ආශ්‍රිතව සහ ප්‍රධාන මාර්ගය තුළ සැහැල්ලුවෙන් සහ කෙළිලොල් අන්දමින් අධික වේගයෙන් මාර්ග නීති පවා උල්ලංඝනය කරමින් පැදයන යතුරුපැදි ඕනෑ තරම් දකින්නට ලැබේ. එසේ පැදයන පිරිස බහුතරය තුරුණු වියේ පිරිස් බවටද හඳුනාගත හැකිය. මේ නිසා සිදුවන අනතුරුවලින් තුවාල ලබන්නේත්, මිය යන්නේත් තරුණ වියේ පිරිස් වීම ගැන පුදුම විය යුතු නැත.

යතුරුපැදියක ගමන් කළ හැකි වන්නේ පුද්ගලයන් දෙදෙනකුට පමණය. ඊට වඩා එහි ගමන් කිරීම නීති විරෝධීය. පාපැදිය පදවන්නාත් පසුපැදිකරුත් ආර්කෂිත හිස්වැසුම් පැළඳීම අනිවාර්යයි. නමුත් ඇතැම් අයට එය වගක් නැති ගාණය. විටෙක මව, පියා යතුරුපැදියේ ගමන් කරන්නේ දරුවකු හෝ දෙන්නකු එහි නංවාගෙනය. ඇතැම් විටෙක මවුපිය දෙදෙනා හිස්වැසුම් පැළඳ දරුවන්ගේ හිසට ආවරණයක් නොමැතිව යන බව දකින්නට ලැබේ. 

නගරාශ්‍රිත ප්‍රදේශවල වාහන තදබදය පවතින විටදී වාහන දෙකක් හෝ කීපයක් අතර පවතින කුඩා ඉඩක් තුළින් යතුරුපැදි රිංගවමින් ධාවනය කිරීම සාමාන්‍ය තත්ත්වයකි. එහිදී පවතින අවදානම පිළිබඳ ඔවුන් තුළ කිසිදු හැඟීමක් නැත. මේ හේතුව මගින් නගරයේ සිදුවන අනතුරු ප්‍රමාණය ඉහළ දමා තිබේ. ඒ අතර යතුරුපැදිවල ගමන් ගන්නා යුවළක කාන්තාවගේ සාරිය හෝ ඇඳුමේ කොටසක් පසුපස රෝදයේ පැටලීම නිසා සිදුවන අනතුරු ද අසන්නට ලැබේ.

මාර්ග හරහා හරක් සහ බල්ලන් වැනි සතුන් ගමන් කිරීමත් යතුරුපැදි අනතුරු බහුල වීමට හේතුවකි. මේ ආකාරයට යතුරුපැදිය අත්‍යාවශ්‍ය සේවයක් සලසා දුන්නත් එය අවදානම්සහගත ප්‍රවාහන මාධ්‍යයක් ද වී තිබේ. ඒ අතර නාගරික බොහෝ දෙනාට මෙන්ම ග්‍රාමීය කාන්තාවන් සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිවලදී ද යතුරුපැදිය ප්‍රමුඛය. ඉකුත් රජය සමයේ රාජ්‍ය සේවයේ නිරත සේවකයන් විශාල පිරිසකට යතුරුපැදි බෙදා දුන්නේ ද එබැවිනි. ඒ අතරට ස්වයංක්‍රීය ගියර් පද්ධතියක් සහිත යතුරුපැදි ප්‍රධානය.

තරුණ වියට එළැඹෙන බොහෝ දරුවන්ගේ ලොකුම සිහිනය හැකි ඉක්මනින් යතුරුපැදියක් මිලට ගැනීමටය. මේ තත්ත්වය ධනවත් පවුල්වල දරුවන්ට ද පොදු කරුණකි. මෝටර් රථයක් මිලට ගැනීමට හැකියාව තිබුණ ද සමහරු යතුරුපැදියක් මිලට ගන්නට ක්‍රියා කරති. මේ හේතු මත පෙනෙන්නේ සමහරුන් යතුරුපැදිය විනෝදය සඳහා භාවිත කරන බවය. මේ අතර ඇතැම් අලෙවි කටයුතුවල නිරත තරුණ පිරිස් සිය ප්‍රවාහන කටයුතු සඳහා යතුරුපැදිය පමණක් භාවිත කරති.

2014 වසර තුළ පමණක් අලුතෙන් යතුරැපැදි 272885ක් ලියාපදිංචි කොට ඇති බවට වාර්තා වී තිබේ. මේ වන විට මෙරට යතුරුපැදි ලක්ෂ 33ක් ඉක්මවා ලියාපදිංචි වී තිබෙන බවද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මේ අතර ත්‍රීරෝද රථ ලක්ෂ 11කට ආසන්න සංඛ්‍යාවක් ලියාපදිංචිය ලබා ඇති බවද වාර්තා වේ.

කොතෙකුත් යතුරුපැදි අනතුරු සිදුවුවද ඉන් ජීවිත හානි සිදුවන්නේ යතුරුපැදිකරුගේ සහ පසුපැදිකරුවන්ගේ නොසැලකිලිමත්කමිනි. ඊට ප්‍රධාන හේතුව ආරක්ෂිත හිස්වැසුම් නොපැළඳීම බව අනාවරණය වී ඇත. අනතුරක් සිදුවුවද ඉන් 50%ක පමණ මියනොයා යුතු පිරිසක් මියගොස් ඇති බවත් ආරක්ෂිත හිස්වැසුම ගැලවී විසිවීම, ගෙල පටි ගිලිහී යාම සහ හිස්වැසුම පිපිරීම සහ නියමිත ප්‍රමිතියෙන් තොර හිස්වැසුම් ඊට හේතුව බවද මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රථවාහන පොලීසිය බාර නියෝජ්‍ය පොලිස්පති පාලිත ප්‍රනාන්දු මහතා,

2016 අවුරුද්ද ලංකාවේ රිය අනතුරු බහුලම වර්ෂය විදිහට හඳුනා ගත්තා. සමස්ත අනතුරු ගණන 2838 යි. මියගිය ගණන 3020 ක්. මේ අතරෙ යතුරුපැදි අනතුරු ගණන 1182 යි. ඒවායෙන් මියගිය ගණන 1229 ක්. මේ සියලුම පුද්ගලයන් අවුරුදු 20 – 30 අතර අය. අපරීක්ෂාකාරී ධාවනය, අධික වේගය, මාර්ග නීති පිළිනොපැදීම, වාහනය පාලනය කරගැනීමට නොහැකි වීම ප්‍රධාන හේතු විදිහට අපි දකිනවා. මේ අතර 88 දෙනෙක් ජීවිතක්ෂයට පත්වෙලා තිබෙන්නේ පාරෙන් ඉවතට පැන ගස්ගල්වල හැප්පීමෙන්. යැයි පැවසීය.

මේ ආකාරයට සිදුවන යතුරුපැදි අනතුරු හේතුවෙන් කොළඹ ජාතික රෝහලට රෝගීන් විශාල සංඛ්‍යාවක් ඇතුළත් කෙරෙති. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පුහුණු කිරීමේ හෙද නිලධාරිනී පුෂ්පා රමණානි ද සොයිසා මහත්මිය මෙසේ සඳහන් කරයි.

යතුරුපැදි අනතුරුවලට ලක්වෙන පිරිස ගොඩාක් තරුණ වියේ අය. ඒ අය යතුරුපැදියක් මිලට ගෙන පළමු වසර තුළම බරපතළ අනතුරකට ලක්වෙලා ජීවිතක්ෂයට පත්වෙලා තිබෙනවා. මේ තත්ත්වය දුම්රිය, ගුවන් ගමන් හෝ බස් රථ වලින් සිදුවන අනතුරුවලට වඩා විශාල වැඩිවීමක්. ගිය වසරේ ජාතික රෝහලට පැමිණි අනතුරුවලට ලක් වූ අයගෙන් 1167ක් මියගියා. මාර්ග නීති පිළිපදින්නේ නෑ. හෙල්මට් පළඳින්නේ නෑ. අධික වේගය සහ අවධානයක් නැති නිසා අනතුරු වීම බහුලයි. 

සමහර අයට මාර්ග අවබෝධයක් නෑ. ක්ෂණික තීරණ ගැනීමට පැකිලෙනවා. මත්පැන් පානය කරලා පදවනවා. විනය පිරිහිලා. මේ වගේම දේශගුණික තත්ත්වයන් ද අනතුරුවලට හේතු වෙනවා. ඇතැම් අය මරණයට පත්වෙනවා. තවත් අය සදාකාලික ආබාධිත වෙනවා. මේ අයගෙන් බහුතරය පිරිමි පුද්ගලයන්. විවාහක නම් පවුල ආර්ථික වශයෙන් කඩා වැටෙනවා. ඖෂධ වියදම්, පොලීසියට, උසාවියට කාලය වැය කරලා රෝහල්ගත වීම දක්වා අධික වියදමක් දරන්න වෙනවා. මේක ජාතික වශයෙන් රටට බලපාන කාරණයක්.

මේ අතර ගත වූ දින 10ක් තුළ දිවයින පුරා සිදු වූ යතුරුපැදි අනතුරුවලින් පුද්ගලයන් රැසක් තුවාල ලබා 15 දෙනකුට ආසන්න පිරිසක් මියගොස් ඇති බව වාර්තා වී තිබිණි.

ලංකාවේ මෝටර් රථවලට පනවා ඇති අධික බදු නිසා අඩු ආදායම්ලාභීන්ට මෝටර් රථයක් මිලට ගැනීම සිහිනයකි. ක්‍රමවත් පොදු ප්‍රවාහන සේවයක් ද නොමැති රටේ යතුරුපැදිය පහසු ප්‍රවාහන ක්‍රමයකි. ඊඨ සරිලන මාර්ග පද්ධතියක් සැකසීම රජයේ යුතුකමය. මාර්ග නීති පිළිපැදීම, විනයගරුකව පැදවීම සහ ආර්කෂිත හිස්වැසුම් ප්‍රමිතියෙන් යුතු ඒවා පැළඳීම යතුරුපැදි අනතුරුවල හානිය අවම කරගත හැකි ක්‍රියාමාර්ග වෙයි.

 සමන්ත ප්‍රදීප් විල්තෙර (deshaya)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "දවස ගණෙ‍ මිනී මරණ රෝද දෙකේ මාරයා"

    Post a Comment