27 May, 2017

ෆයර්බෑන්ක්ස් උඩින් පාත්වීම අර්බුදයක් වෙයි

Alex Fairbanks

ශ්‍රී ලංකාව සහභාගි වන ප්‍රධානතම ජාත්‍යන්තර ටෙනිස් තරගාවලිය වන ඬේවිස් කුසලාන තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම තෝරාගැනීම සඳහා පැවැත්වෙන තේරීම් තරගාවලියට ශ්‍රේණිගත ලයිස්තුවට ඇතුළත් නොවන ක්‍රීඩකයකුද ඇතුළත් වීම නිසා ටෙනිස් ක්ෂේත්‍රය් අර්බුදයක් හටගෙන තිබේ.

ටෙනිස් තේරීම් කමිටුව විසින් හදිසියේම තේරීම් තරගාවලියට කැඳවනු ලැබ ඇති බව කියන ඇලෙක්ස් ෆයර්බෑන්ක්ස් ශ්‍රී ලංකාවේ උපත ලද අයකු වූවත් ඔහු විදෙස් රටක වාසය කරන අතරම ශ්‍රී ලංකාවේ තරග වලට සහභාගි නොවන අයකු බවද වාර්තා වේ.

ගෙවී ගිය වසර කිහිපය තුළදී දිවයිනේ කිසිදු ටෙනිස් තරගාවලියක් සඳහා ඔහු සහභාගි වී නොමැති බැවින් එකවරම ඔහුව තේරීම් තරගාවලියේ අවසන් වටයට කැඳවීම සම්බන්ධයෙන් මේ වන විටත් විවිධ පාර්ශවයන්ගෙන් තේරීම් කමිටුවට චෝදනා එල්ල වී තිබේ.

ඬේවිස් කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයන් සිවුදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගිවීමට නියමිතය. අතර හර්ෂණ ගොඩමාන්න, ශාමල් දිසානායක සහ යසිත ද සිල්වා මේ වන විට ඍජුවම කණ්ඩායමට ඇතුළත්ව සිටිති. සිවුවැනි ක්‍රීඩකයා තෝරා ගැනීම සඳහා තේරීම් තරගාවලිය පැවැත්වේ. මෙම තනි ස්ථානයට ක්‍රීඩකයකු තෝරා ගැනීම සඳහා පැවැත්වෙන තේරීම් තරගයට ක්‍රීඩකයෝ 9 දෙනෙක් තරග වදිති.

පසුගිය වසර කිහිපයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානම ක්‍රීඩකයා ලෙස කටයුතු කළ හර්ෂණ ගොඩමාන්න, මෙවරද කණ්ඩායමට කැඳවා ඇති අතර කැනඩාවේ වෙසෙන ඔහු ඬේවිස් කුසලාන තරගාවලිය වෙනුවෙන් කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයන් සමග පුහුණුවීම් වල නිරත වීම සඳහා ලබන මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

ඉකුත් වසරේ පැවැති ජාතික ටෙනිස් ශූරතාවලියේදී පිරිමි කේවල ශූරතාව දිනාගැනීම නිසා ශාමල් දිසානායකටද, අවසන් වරට පැවැති එස්. එස්. සී. විවෘත ටෙනිස් තරගාවලියේදී ත්‍රිත්ව ශූරතා (පිරිමි කේවල, පිරිමි යුගල, සහ මිශ්‍ර යුගල) දිනාගැනීම නිසා යසිත ද සිල්වාටද ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථාන දෙකක් වෙන්කර දීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

ඉකුත් වසරේ ජාතික ශූරතාව දිනාගැනීමෙන් අනතුරුව ශාමල් දිසානායක කිසිදු දේශීය ටෙනිස් තරගාවලියකට සහභාගි වී නොමැති අතර මෑතකදී සහභාගි වූ එස්. එස්. සී. විවෘත ටෙනිස් තරගාවලියේදීද ඔහුට අර්ධ අවසන් පූර්ව වටයෙන් ඉවත්වීමට සිදුවිය.

අදියර 3 කින් සමන්විත එම තේරීම් තරගාවලියේ පළමු අදියර සඳහා ක්‍රීඩකයෝ සිවුදෙනෙක්ද (දුමිදු දිලුම්, අනීෂ් වීරසිංහ, නෙනුක ජයතිලක සහ අවින්ද්‍ර පෙරේරා), දෙවැනි අදියර සඳහා ක්‍රීඩකයන් තිදෙනෙක්ද (ප්‍රසන්න අතාවුද, මදූෂ විජේසූරිය, චෙස්කා රාකොටොන්ද්‍රම්බේ), තෙවැනි අදියර සඳහා ක්‍රීඩකයන් දෙදෙනෙක්ද (නිෂාංගන් නඩරාජා සහ ඇලෙක්ස් ෆයර්බෑන්ක්ස්) නම් කර තිබිණ.

පළමු අදියරේදී වැඩිම ජයග්‍රහණ ප්‍රමාණයක් අත්කරගන්නා ක්‍රීඩකයා දෙවැනි අදියරටත්, දෙවැනි අදියරේදී වැඩිම ජයග්‍රහණ ප්‍රමාණයක් අත්කරගන්නා ක්‍රීඩකයා තෙවැනි අදියරටත් සුදුසුකම් ලබාගන්නා ලෙස තේරීම් තරගාවලියේ තරග අනු පිළිවෙල සකස් කර තිබිණ. අනතුරුව තෙවැනි අදියරේදී වැඩිම ජයග්‍රහණ ප්‍රමාණයක් අත්කරගන්නා ක්‍රීඩකයා ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් සාමාජිකයා ලෙස නම් කිරීමටද තේරීම් කමිටුවේ ක්‍රමවේදයයි.

ඒ අනුව පළමු අදියරේදී වැඩිම ජයග්‍රහණ ප්‍රමාණයක් අත්කරගත් ක්‍රීඩකයා ලෙස අවින්ද්‍ර පෙරේරා දෙවැනි අදියරට සුදුසුකම් ලබාගත් අතර දෙවැනි අදියරේදීද වැඩිම ජයග්‍රහණ ප්‍රමාණයක් අත්කරගනිමින් ඔහු තෙවැනි අදියර සඳහා සුදුසුකම් ලබාගත්තේ වැඩි දෙනාගේ අවධානයද දිනාගනිමිනි.

එහෙත් මුල් අදියර දෙකේදීම වැඩි ජයග්‍රහණ ප්‍රමාණයක් අත්කරගනිමින් තෙවැනි අදියරට සුදුසුකම් ලබාගත් අවින්ද්‍රට, එම අදියරේදී නිෂාංගන් නඩරාජාට එරෙහිව මෙන්ම ඇලෙක්ස් ෆයර්බෑන්ක්ස්ට එරෙහිවද තරග වැදීමට සිදුව තිබේ.

යම් හෙයකින් තෙවැනි අදියරේදී අවින්ද්‍ර පෙරේරා සහ නිෂාංගන් නඩරාජා පරජය කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ සිවුවැනි ක්‍රීඩකයා බවට පත්වීමට ඇලෙක්ස් ෆයර්බෑන්ක්ස් සමත් වුවහොත් එය දේශීය ටෙනිස් තරගාවලි සඳහා සහභාගි වන සෙසු ක්‍රීඩකයන්ට කෙරෙන අසාධාරණයකි. ඇලෙක්ස් ෆයර්බෑන්ක්ස් ජාතික ටෙනිස් ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවට ඇතුළත් නොවන අතර අවින්ද්‍ර පෙරේරා මේ වන විට ශ්‍රේණිගත කිරීම්හි 7 වැනි ස්ථානයේද, නිෂාංගන් නඩරාජා එහි 5 වැනි ස්ථානයේ පසුවෙති.

ශානුක අරවින්ද (kelimandala)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ෆයර්බෑන්ක්ස් උඩින් පාත්වීම අර්බුදයක් වෙයි"

    Post a Comment