17 April, 2017

"පිරිසක් එක්ක ලබන අත්දැකීම විඳින්නත් මට ඕනෑ වුණා - කොළඹ අවට තමයි බොහෝ දුරට කරන්නෙ"

Piyumi Botheju-00

තාරුණයේ රංගන ශිල්පිණියන් අතර සිය හැකියාවෙන් කැපී පෙනෙන චරිතාංග නිළියක් වන පියුමි බොතේජු මේ දිනවල හිරු මෙගාස්ටාර් වේදීකාවේ දකින්නට ලැබෙනවා.

විවිධ ටෙලි මාලා නාටක හරහා සිය රංගන කෞෂල්‍යයෙන් රසික ප්‍රතිචාර තමන් සතුකරගත් ඇගේ නවතම තොරතුරු පහතින් දැක්වෙනවා.

කොහොමද ඉතිං ජීවිතේ?

මේ දවස්වල නම් හුඟක් කාර්යබහුලයි. දෙව්ලියේ ටෙලි නාට්‍යයේ රූගත කිරීම් කෙරෙනවා. ඊට අමතරව හිරු මෙගා ස්ටාර් වේදිකාවේ අවසාන වටයට අපි තේරිලා ඉන්නවා. ඉතිං ඒකේ පුහුණු වීම් කටයුතුවලටත් සහභාගි වෙනවා. මාස හතරක් තිස්සෙ එකදිගට කාර්යබහුල ජීවිතයක් තමයි ගත කරන්නෙ.

පියුමි රියැලිටි වේදිකාවේ දැකපු කෙනෙක් නෙවෙයි. හිටි හැටියේ රියැලිටි වැඩසටහනකින් වැඩ පෙන්වන්න හිතුවේ?

මට මුලදි රියැලිටිවලට කතා කළත් ඒ ඒ කාලවලදී මම ඒවට කැමැති වුණේ නැහැ. ඒවට තරඟ කරන්න මට අවශ්‍ය නැහැ කියන තැන මම හිටියේ. මේකට කැමැති වුණේ හිරු නාළිකාව නිසා. පිරිසක් එක්ක එකට වැඩ කරද්දි ලබන අත්දැකීම විඳින්නත් මට ඕනෑ වුණා. ඒත් එක්කම ජීවිතේටත් අත්දැකීම් ගොඩක් ලබා ගන්න පුළුවන් ඒ වගේ දේකින්.

ඔය දේවල්වලට සැමියගෙන් තහංචි නැද්ද?

ඇත්තටම නෑ. සුනෙත් කියන්නෙ හොඳ සැමියෙක්. මේ රියැලිටි අත්දැකීමත් එක්ක මම හුඟක් කාර්යබහුල වුණා. ඒ අවස්ථාවලදී මාව ගිහින් දාන්න එක්කගෙන එන්න ඒ වගේ එයාට කරන්න පුළුවන් හැම උදව්වක්ම කරනවා. ඉතිං මම හිතන්නෙ ඒක මට ලොකු ශක්තියක්.

පියුමිව දන්නෙ නිළියක් විදියටනේ රියැලිටි වේදිකාවේ රංගනයට අමතරව නර්තනය, ගායනය වගේ දේවලුත් ඉදිරිපත් කරන්න වෙනවා. මේ ඔක්කොම පියුමිට කරන්න පුළුවන්ද?

ඇත්තටම මම නර්තනය කියන දේ පුළුවන් කෙනෙක් නෙවෙයි. විශේෂයෙන්ම ගයාන් ශ්‍රී මාල්, සංක අබේසිංහ මතක් කරන්න ඕනෙ. මොකද මම බෑ කියලා පස්සට තියන අඩිය, මට පුළුවන් කියලා ඉස්සරහට තියන්න මට පුරුදු කළා. ඒ සහයෝගය නිසා දැන් මට ටිකක් නටන්න පුළුවන්. ගීත ගායනයටත් මම අකමැති කෙනෙක්.

ලැබෙන චරිතයට පියුමි වෙනසක් එකතු කරනවද?

ටානියාගෙ චරිතයට මම වෙනසක් එකතු කළා. මොකද මට Script එකේ ලියලා දුන්නේ නෑ චරිතයේ හඬ වෙනස් කරන්න කියලා. ඒකයි මම කියන්නෙ ලැබෙන චරිතයට මම වෙනසක් එකතු කරනවා කියලා. අනෙක මම හිතන්නෑ නිකම්ම කතා කළා නම් ප්‍රේක්ෂකයෝ ටානියට ඔච්චර කැමැති වෙයි කියලා.

රිදී තිරයේ දැක්කෙ නැත්තෙ ඇයි?

සමහර විට මගෙන් වැඩක් ගන්න පුළුවන් චරිත ආවේ නැද්ද දන්නෑ. ඒක නිසා මට කතා කළේ නැතිව ඇති කියලා හිතනවා. මට කතා කරපු සමහර චරිතවලදී මට මුදල් ප්‍රශ්න ආවා. මම යම් චරිතයක් කරනකොට වටිනාකමක් ඉල්ලනවා. නමුත් උපරිමයෙන් කරන්න තියෙන චරිතවලට මම වටිනාකමක් ඉල්ලන්නෙ නැහැ.

ඉස්සර නම් පියුමි පුංචි තිරයේ නිතර පේන්න හිටියා. දැන් පුංචි තිරයේ වැඩ ගොඩක පේන්න නැහැ. එහෙම වෙන්නේ ආරාධනා අඩු නිසාද?

රංගනයට ආරාධනා නැත්තෙ නැහැ. මේ වෙනකොට මම කරපු කොටස් විස්සෙ, තිහේ ටෙලි නාට්‍ය 7ක් තියෙනවා තව එන්න. නාට්‍ය විකාශය වෙන්න කාලය මදිකමක් තියෙනවා. සමහර නාට්‍ය කොටස් 100 කියලා පටන් අරන් 200 - 300 දක්වා ඇදෙනවා. ඉතිං මේ කාරණා එක්ක තමයි වැඩිය පේන්න නැහැ කියන්නෙ. නමුත් මම සතියෙ දවස් හතේම පේන්න ඉන්නවා. එතකොට ඉතිං මාව පේන්න නැහැ කියන්න බැහැ.

පියුමිට අලුත් නිළියන් එක්ක තරගයක් තියෙනවද?

මට කිසිම කෙනෙක් එක්ක තරගයක් නැහැ. මට තරගයක් තියෙන්නෙ මගෙත් එක්කමයි. පිටපත ලැබුණම මම Script Writer එක්ක කතා කරනවා. මොකද මම මට අභියෝගයක් කර ගන්නෙ මාවමයි. කලින් චරිතවලට වඩා අලුතෙන් ලැබෙන චරිතයෙ වෙනසක් කරන්න ඕන කියල තමයි මම නිතරම හිතන්නෙ.

පියුමි නිර්මාණවලට දායක වෙන්නෙ තෝරා බේරාගෙනද?

එච්චරටම නැහැ. එකම දිනයක රූගත කිරීම් වැටෙද්දි බැහැ කියන්න වුණු අවස්ථා තියෙනවා. නමුත් ඒවා හොඳ නිර්මාණ. කනගාටුවෙන් තමයි ඒවා අතහරින්න වුණේ. අනෙක මම කොළඹින් පිට වැඩ කරනවා අඩුයි. ඒක තමයි තියෙන ලොකුම ප්‍රශ්නෙ. කොළඹ අවට තියෙන ඒවයේ තමයි මම බොහෝ දුරට වැඩ කරන්නෙ.

රංගන කටයුතුවලට දායක වෙනකොට පවුල් ජීවිතයේ වගකීම් අතපසු වෙන්නේ නැද්ද?

අතපසු වෙන්නෙ නැහැ. බොහෝ දුරට මගෙන් ඉටුවෙන්නේ ගේ අස් කරන කටයුතු, රෙදි හෝදන කටයුතු වගේ දේවල්. උයන කාර්යය කරන්නෙ අපේ අම්මා.

මොනවද අලුත් වැඩ?

වෙළෙඳ දැන්වීම්වලට හඬකැවීම් කටයුතු කරනවා. අවුරුදු සීසන් එක නිසා වෙනස් විදියෙ වැඩවලට සම්බන්ධ වෙන්න තියෙනවා. ඊට අමතරව අවුරුදු වැඩසටහන්වලට සහභාගි වෙනවා.

මෙම සටහන පුවත්පතක පළවී තිබුණා.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to ""පිරිසක් එක්ක ලබන අත්දැකීම විඳින්නත් මට ඕනෑ වුණා - කොළඹ අවට තමයි බොහෝ දුරට කරන්නෙ""

    Post a Comment