24 April, 2017

කුණු කන්දට විසිවන සොසේජස් යළි වෙළඳපොළට – මීතොටමුල්ලේ මහා ජාවරමක් හෙළිවෙයි!

Meethotamulla sausage smuggling

මිනිස් ජරිභෝජනයට නිසුදුසු තත්වයට පත්වීම හේතුවෙන් ආහාර ද්‍රව්‍ය ආනයන සමාගමකින් මීතොටමුල්ල කුණු කන්දට බැහැර කෙරුණු සොසේජස් විශාල තොගයක් කුණු කන්දට අරක්ගත් කල්ලියක් විසින් සොදා යළි ඇසුරුම් කොට කුඩා වෙළෙඳසල් වලට විකිණීමේ සිද්ධියක් අනාවරණය වී තිබේ.

මේ පිළිබඳ තොරතුරු කුණු කන්ද කඩාවැටීමෙන් පසුව ඒ ප්‍රදේශයට ගොස් විමර්ශනයක් සිදුකළ නිලධාරීන් පිරිසක් විසින් රජයේ ප්‍රභල කැබිනට් අමාත්‍යවරයෙකුට දැනුම් දී තිබේ .

නරක්වී ඉවත දැමූ සොසේජස් මිනිසුන්ගේ බත් පිඟානට එවීමෙන් පමණක් නොව වෙනත් සටකපට ක්‍රියාවලින්ද කුණු කන්ද නිධානයක් කරගත් දේශපාලකයන් සහ නිලධාරීන් පිළිබඳ තොරතුරු රැසක් මෙම විමර්ශනයේදී හෙළි වී ඇත.

මීතොටමුල්ලට කුණු බැහැර කිරීමට අවසර නොතිබුණු උතුරු කොළඹ ප්‍රදේශයේ පළාත් පාලන ආයතනයක් මගින් රාත්‍රී කාලයේදී ට්‍රැක්ටර් පිටින් මීතොටුමුල්ල කුණු ගෙනැවිත් දැමූ හැටිද අනාවරණය වී ඇත. එම පළාත් පාලන ආයතනය මෙම සිදුකර ඇත්තේ ට්‍රැක්ටර් හිමියාට එක කුණු ට්‍රැක්ටරයකට රුපියල් 9,000 බැගින් ගෙවීමෙනි. මේ ආකාරයට දිනකට කැළිකසළ ටොන් 300ක් පමණ මීතොටමුල්ලට ගෙනැවිත් දමා ඇතත් කුණු කන්දේ වැඩකළ මිනිසුන්ට ගෙවා ඇත්තේ රුපියල් දාහක් පමණි.

කුණු කසළ බැහැර කිරීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා මහ නගර සභා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය මගින් මීට මාස කීපයකට ඉහත දී යෝජනා කැඳවූ අවස්ථාවේදී 123 දෙනකු විසින් යෝජනා ඉදිරිපත් කර තිබූ අතර මෙම ටෙන්ඩරය දිනා ගැනීම සඳහා බලපෑම් එන්ට එන්ටම වැඩිවූයෙන් යෝජනා ඉදිරිපත් කරන්නන් විසින් ඇමෙරිකානු ඩොලර් 50,000ක තැන්පතුවක් තැබිය යුතු යැයි අමාත්‍යාංශය නියම කර ඇත.

ඉන්පසුව දේශීය ටෙන්ටර්කරුවන්ගේ සංඛ්‍යාව බෙහෙවින් පහත වැටී ඇත. මෙහිදී සිදුවී ඇති පුදුමාකාර සිද්ධියක් නම් යෝජනා ඉදිරිපත් කළ පිරිස අතර රජයේ ඉතාම ජ්‍යෙෂ්ඨ දේශපාලකයන්ගේ කර්යාලවල ඉහළ තනතරු දරන නිලධාරීන්ද සිටීමයි. 

ඔවුන් විදේශීය ඉල්ලුම්කරුවන්ට මෙම ටෙන්ඩරය ලබාදීමට උත්සාහ දැරූ අතර මෙම නිලධාරීන් කවුරුන්දැයි හෙළිවීමෙන් පසුව එම උත්සාහය අතහැර දැමීමට ඔවුන්ට සිදුවී ඇත. මේ අතර කුණු ප්‍රශ්නයට විසඳුමක් නොලැබීම නිසා උසින් මීටර් 30ක උපරිමයකට යටත්විය යුතුයැයි නියම කර තිබූ මීතොටමුල්ල පොතුවිල් කුඹුරේ කුණු කන්ද මීටර් 42.5 දක්වා ඉහළ ගොස් තිබිණි.

කුණු කන්ද කඩාවැටීමෙන් පසුව සිදු කෙරුණු විමර්ශනයේදී හෙළිවී ඇති බොහෝ දෙනකුනොදන්නා කරුණක් වන්නේ මීතොටමුල්ල කුණු කන්ද අවට පදිංචිකරුවන් එම ස්ථානයෙන් ඉවත් කිරීම සඳහා කොළඹ මහනගර සභාව රුපියල් කෝටි 60ක මුදලක් වෙන්කර තිබුණත් එසේ ඉවත් වන අයට සොච්චම් මුදලක් පමණක් ගෙවීමට ඉදිරිපත්වීමය. 

කුණු කන්ද කඩාවැටීමට සති දෙකකට කලින් කොළඹ මහනගර සභාව මගින් ඒ ප්‍රදේශයේ නිවාස 25ක දැන්වීම් අලවා තිබූ අතර එම දැන්වීම්වල සදහන් වූ යේ මෙම නිවාසවලින් ඉවත්වන්නන්ට රුපියල් 25,000 බැගින් ගෙවන බවය. ඒ මුදල බාරගෙන නිවාසවලින් ඉවත්වීමට එකඟ වී ඇත්තේ පවුල් 14ක් පමණය.නිවාසවල ඇලවූ දැන්වීම්වලින් කොටසක් තවමත් දකින්නට ලැබේ.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "කුණු කන්දට විසිවන සොසේජස් යළි වෙළඳපොළට – මීතොටමුල්ලේ මහා ජාවරමක් හෙළිවෙයි!"

    Post a Comment