24 April, 2017

ප්‍රසන්න රණතුංග සිදුකළ නීති විරෝධී ක්‍රියාවන් කිහිපයක් මෙන්න: තව ත් තොරතුරු බලාපොරොත්තුවන්න

Prasanna Ranatunga-05

බස්නාහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පසුගියදා සිරස මාධ්‍ය ආයතනයට අපහාස කරමින් ප්‍රසිද්ධියේ අදහස් පල කළේය.

සිරසට අපහාස කළ හිටපු මහඇමති ප්‍රසන්න රණතුංග මහතා සිදුකළ නීති විරෝධී හා සමාජ විරෝධි ක්‍රියාකාරකම් රැසක් පිළිබඳව තොරතුරු අප සතුයි.

එම තොරතුරු නිව්ස්ෆස්ට් පියවරින් පියවර මෙම සතියේ ඔබ හමුවේ තබන්නට බලාපොරොත්තු වේ.

ව්‍යාපාරිකයෙකු බිය වැද්දිම ඇතුළු චෝදනා කිහිපයකට අදාළව ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයාට හා ඔහුගේ බිරිඳට එරෙහිව 2016 වසරේ ජුනි මාසයේදී නීති පතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කළේය.

2010 වසරේ අප්‍රේල් මස 10 වැනිදා හෝ ඊට ආසන්න දිනවලදී සුරංජිත් ක්‍රිස්ටියන් ගිහාඩ් මෙන්ඩිස් නමැත්තා බියවද්දා, චෙක්පත් පහක් මගින් රුපියල් මිලියන 64ක් ලබාගැනීමට කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 15ක් ඊට ඇතුළත් ය.

ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයාත් ඔහුගේ බිරිඳවන මොරින් ස්ටෙලා රණතුංග සහ ව්‍යාපාරික නරේෂ් කුමාර් මෙහි විත්තිකරුවන් වන අතර මෙලෙස මුදල් ලබාගෙන ඇත්තේ කොළොන්නාව මීතොටමුල්ලේ පිහිටි අනවසර පවුල් 24ක් පදිංචි රජයට අයත් ඉඩම් කොටසක් එම පදිංචිකරුවන් ඉවත්කර ගිහාඩ් මෙන්ඩිස් නැමැත්තාට ලබාදෙන බවට පොරොන්දු වෙමිනි.

මෙම නඩුව ලබන මස 23වැනිදා යළි කැඳවීමට නියමිත ය.

මේ අතර, හිටපු ප්‍රධාන අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා තලවතුගොඩ පිහිටි තම ඉඩමකට යාබද නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩමක් ද බලෙන් පරිහරණය කිරීමට උත්සාහ කළේය.

මේ සම්බන්ධයෙන් චෝදනා එල්ල වීම නිසා නාගරික සංවර්ධන අධිකාරිය එම ඉඩමේ මායිම් නිරවුල් කර ඉඩම බේරාගත් බව එම අධිකාරියේ සභාපතිවරයා සඳහන් කළේය.

මෙරට ඇතැම් දේශපාලනඥයින් මේ ආකාරයෙන් විවිධ දූෂණ හා අක්‍රමිකතාවල යෙදීමට ප්‍රධාන හේතුවක් වන්නේ ඔවුන් නිසි අධ්‍යාපනයක් නොලැබීමබ නිසා බව විද්වතුන් පවසයි.

දේශපාලන නියෝජිතයින්ගේ අධ්‍යාපන සුදුසුකම් සලකා බැලෙන යෝජනා අලුතින් සකස් කෙරෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්තියකට ඇතුළත් කළ යුතු බව ඔවුන් පෙන්වා දෙන්නේය.

ප්‍රසන්න රණතුංග මහතා

"බනිනවා තමයි පොලිස්කාරයන්ට මං. අපිට ගැහුවම අපි බැනලා ඉවර කරන්නේ නැහැ. එදා ගහන්න බැරිවුනා. ඊළඟ පාර ගැහුවොත් එහෙම අනිත් පැත්තට හැරිලා ගහන තත්ත්වයට අපි පත්වෙනවා"

මෙලෙස හැසිරෙන දේශපාලනඥයින් පළාත් පාලන ආයතනවලට හෝ පාර්ලිමේන්තුව අසලටවත් කැඳවීම නුසුදුසු බව මෙරට ජනතාව තේරුම්ගත යුතුයි.

කතිරයට පෙර සිතන්න තේමාව යටතේ මෙරට ජනතාව මැතිවරණ කාල සමයේදි නිව්ස්ෆස්ට් අද ඔබ දැනුවත් කළේ ඒ නිසයි.


හිටපු බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා පිළිබද තව ත් තොරතුරු හෙට…..

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ප්‍රසන්න රණතුංග සිදුකළ නීති විරෝධී ක්‍රියාවන් කිහිපයක් මෙන්න: තව ත් තොරතුරු බලාපොරොත්තුවන්න"

    Post a Comment