13 March, 2017

හේරත් බංග්ලාදේශය කරකවා අත්හරියි

Rangana-Herath-Bangladesh

ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී තම 79 වැනි ටෙස්ට් තරගයට සහභාගි වෙමින් ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වයද ලබාදුන් රංගන හේරත් බංග්ලාදේශ දෙවැනි ඉනිමේදී කඩුලු 6ක් දවා ගනිමින් ලොව වමත් දඟ පන්දු යවන්නකු ලබාගත් වැඩිම කඩුලු ප්‍රමාණය (කඩුලු 366ක්) වාර්තා කළ අතර ශ්‍රී ලංකාව ප්‍රථම ටෙස්ට් තරගයෙන් ලකුණු 259ක ජයග්‍රහණයක් ලබාගැනීමටද සමත් විය.

ශ්‍රී ලංකා බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියේ ගාල්ලේ පැවැති ප්‍රථම ටෙස්ට් තරගයේ අවසන් දිනය හෙවත් පෙරේදා (11දා) දිනයේ දිවා භෝජනයෙන් පසුව තරගය අරඹා පැයක් ගතවන්නටත් කලින් බංග්ලාදේශ පිතිකරුවෝ සියලුදෙනා දෙවැනි ඉනිම වෙනුවෙන් ලකුණු 197කට දැවී ගියහ. 

එසේ පන්දුවාර 61ක් තුළ ප්‍රතිවාදීන් සියලුදෙනා දැවී යන්නට එදින ලකුණු 59ට කඩුලු 6ක්ම දවාගත් රංගන හේරත්ගේ දඟ පන්දු යැවීම දායක වූ අතර හේරත් එවන් කඩුලු 5ක් ලබා ගැනීමේ දස්කම ටෙස්ට් තරගයකදී වාර්තා කළේ 29 වැනි වතාවටය.

තරගයේ සිවුවැනි දිනය අවසානයේ ටෙස්ට් කඩුලු 360ක් සම්පූර්ණ කර සිටි හේරත්ට නවසීලන්ත ජාතික ඩැනියෙල් චිටෝරි සතුව තිබූ වමත් දඟපන්දු යවන්නකුගේ
වාර්තාව සම කිරීමට තවත් කඩුලු 2ක් පමණක් අවශ්‍ය තිබිණි. ඒ අනුව බංග්ලාදේශ දෙවැනි ඉනිම පරාජිතව නිමා කරන විට හේරත් නව ලෝක වාර්තාව සතුකර ගත් අතර තරගයේ අවසන් දිනය ආරම්භ වන විට බංග්ලාදේශය දෙවැනි ඉනිමට කිසිවකු නොදැවී ලකුණු 67ක් ලබා සිටියේය.

ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 6කට ලකුණු 274ක් ලබා පසුගිය සිකුරාදා (10දා) තේ පානයෙන් පැයකට පමණ පසු ඉනිම අත්හිටුවීමට තීරණය කළ අතර එදින අවසන් වනවිට ඔවුන්ගේ ආරම්භක පිතිකරුවන් වන තමීම් ඉක්වබාල් ලකුණු 13ක්ද සවුමියා සාර්කාර් ලකුණු 53ක්ද ලබා ජයග්‍රාහී ඉලක්කය වූ ලකුණු 457 හඹා යන්නට අඩිතාලමක් දමා තිබිණි.

බංග්ලාදේශය දෙවැනි ඉනිමේ පන්දුවාර 15ක් අවසානයේ කිසිවකු නොදැවී පැමිණ අවසන් දිනයට තරගයට අවතීර්ණ වුවද දිනයේ පළමු පන්දුවාරය යැවූ අසේල ගුණරත්නගේ දෙවැනි පන්දුවේදීම තම 3 වැනි ටෙස්ට් අර්ධ ශතකය රැස්කර ගෙන සිටි සාර්කාර් තවත් එකම ලකුණක් හෝ එකතු නොකර දැවී ගියේය.

ගාල්ල ටෙස්ට් තරගයේදී ඉනිම දෙකේදීම අර්ධ ශතක රැස්කළ බංග්ලාදේශ එකම පිතිකරුවා වූ සවුමියා සාර්කාර් 16 වැනි පන්දුවාරයේ දෙවැනි පන්දුවේදී පළමු කඩුල්ල ලෙස එසේ දැවී යන විට මුළු ලකුණු 67ක් සටහන් වූ අතර තවත් ලකුණු 130ක් එකතුවත්ම ඉතිරි කඩුලු 9ම දවාගන්නට හේරත්, ඩිල්රුවන් පෙරේරා හා ලක්ෂාන් සඳකැන් සමත් වූහ.

-සිරිනාම රාජපක්ෂ_මව්බිම

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "හේරත් බංග්ලාදේශය කරකවා අත්හරියි "

    Post a Comment