25 February, 2017

ඇගේ වෛරයේ ප්‍රධාන චරිතයට විජය

vijaya-age-wairaya

කාලයෙන් කාලයට විවිධ විදිහේ රැලිි සිනමාවේ ඇතිවෙනවා. අනෙක් හැම රැල්ලක්ම පරාජය කරලා වැඩිහිටියන්ට පමණක් සීමාවූ චිත්‍රපට රැල්ල රජකරපු කාලයකුත් සිංහල සිනමාවේ තිබුණා. ඇගේ වෛරය චිත්‍රපටය නිර්මාණය කරමින් එකී චිත්‍රපට රැල්ල බිහිකිරීමට අත්තිවාරම දැමූ අධ්‍යක්ෂවරයා විදියට සැලකෙන්නේ ලුවී වැන්ඩස්ට්‍රාටන්. පසුකාලීනව ළමා කතා, ඉතිහාස කතා ආදී වෙනත් රැලිවලින් වැසී ගිය 'වැඩිහිටියන්ට පමණයි' චිත්‍රපට රැල්ල ගැන කියන්නට ලුවී වැන්ඩස්ට්‍රාටන් රිද්ම සමග කෙළින් කතාවට එක්වූයේ බොහෝ දෙනා නොදන්නා තතු රැසක්ද හෙළිදරව් කරමිනුයි.

ඔබ දැන් සිනමාවෙන් ඈත්වෙලා ඉන්නේ වැඩිහිටියන්ට පමණක් සීමාවූ චිත්‍රපට රැල්ලක් සිංහල සිනමාවේ මේ වෙනකොට නැති නිසාද?

මම තමයි සිංහල සිනමාවේ දෙවැනියට වැඩිම චිත්‍රපට සංඛ්‍යාවක් හදපු අධ්‍යක්ෂවරයා. මම කොහෙත්ම සිනමාවෙන් ඈත්වෙලා නැහැ.

නමුත්, ඔබේ අලුත් සිනමා නිර්මාණ ළඟදි දකින්නට ලැබුණේ නැහැ?

මම ටික කාලයක් විදේශගතවෙලා හිටියා. මේ අවුරුද්දේ මගේ අලුත් චිත්‍රපට 3ක් ප්‍රදර්ශනය කරන්න බලා‍පොරොත්තුවෙනුයි ඉන්නේ.

මොනවාද ඒ චිත්‍රපට?

එකක් තමයි 'බුද්ධි අලි ළමයා' චිත්‍රපටය. ඒ චිත්‍රපටය නිර්මාණය කළේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන දිනාගත් මගේ කෘතියක් වන ඕභඤඤඪ බඩඥ ජ්තඥනඩචදබ ඇසුරෙන්. තවත් චිත්‍රපට දෙකක් තියෙනවා 'පැරෂුට්' සහ 'රන් කිරුළ' යන නම්වලින්.

අවසන්වරට ප්‍රදර්ශනය වූ ඔබේ චිත්‍රපටය අසාර්ථක වුණා නේද?

ඒක ඇත්ත. ‍පොරොන්දු වූ සිනමාහල් සංඛ්‍යාව ප්‍රදර්ශන මණ්ඩලයෙන් නොදුන් නිසයි 'බෝනික්කා' චිත්‍රපටය ආදායම අතින් අසාර්ථක වුණේ. ඩී.වී.ඩී. ගහලයි ඒකෙන් ආදායමක් උපයාගත්තේ.

ඒ චිත්‍රපටය වැඩිහිටියන්ට පමණක් සීමා වූ චිත්‍රපටයක් ‍නෙවෙයි?

අ‍පොයි නැහැ. දැන් වැඩිහිටින්ට පමණයි චිත්‍රපට රැල්ලක් නැති නිසා මම ඒ විදිහේ චිත්‍රපට හදන්නේ නැහැ.

නමුත් ලංකාවේ කාම චිත්‍රපට රැල්‍ලේ නිර්මාතෘවරයා ඔබයි?

වැඩිහිටියන්ට පමණයි චිත්‍රපට ලංකාවේ මුලින්ම හැදුවේ මම ‍නෙවෙයි. හංසවිලක්, සුද්දිලාගේ කතාව වගේ චිත්‍රපට පවා වැඩිහිටියන්ට පමණක් සීමා වූ ඒවා. නමුත් මම වැඩිහිටියන්ට පමණයි චිත්‍රපට හදන්න පටන්ගත්තාම මට කලින් ඒවා හදපු අයත් මට බනින්න පටන් ගත්තා.

ඒ විවේචනය සාධාරණයි නේද?

කොහෙත්ම නැහැ. මොකද, ඇගේ වෛරය කියන්නේ මුල, මැද, අග සහිත කතාවක් තිබුණු චිත්‍රපටයක් මිස නිකම්ම නිකං නිල් චිත්‍රපටයක් ‍නෙවෙයි.

ඔබේ චිත්‍රපට කලින් හදපු චිත්‍රපටවලට සමාන කරන්න බැහැ නේද?

මගේ චිත්‍රපටවල වැඩිපුර ලිංගික දර්ශන තිබුණු බව මම පිළිගන්නවා. නමුත්, මම තමයි ඒ විදිහේ චිත්‍රපට රැල්ලක් ඇතිකරලා හරි ඒකා‍ලේ සිනමාවෙන් ඈත්වෙලා හිටපු ප්‍රේක්ෂකයන් නැවත සිනමාවට ගෙනාවේ.

ඇගේ වෛරයෙන් ඔබ විශාල මුදලක් හම්බ කළා නේද?

නිෂ්පාදක සුනිල් ටී. ප්‍රනාන්දුට නම් ලොකු ලාභයක් ලැබුණා. අධ්‍යක්ෂවරයා විදිහට මට ලැබුණේ කලින් ‍පොරොන්දු වූ මුදල විතරයි.

ඇගේ වෛරයෙන් ආරම්භ කළ රැල්ල කොහෙන්ද ඔබ නතර කළේ?

ප්‍රේක්ෂක ප්‍රතිචාර නිසා ඇගේ වෛරය කොටස් 4ක් නිර්මාණය කළා. ඊට පස්සේ තවත් එවැනි චිත්‍රපට 6ක් හැදුවා.

ඒ වෙනකොට ඔබට රටේ තිබුණේ මොනවිදිහේ පිළිගැනීමක්ද?

සුනිල් සෝම පීරිස් වගේ අධ්‍යක්ෂවරු වැඩිහිටියන්ට පමණයි රැල්ලටම කසිකබල් චිත්‍රපට හදන්න පටන් ගත්තා. ඒ චිත්‍රපට හැදුවෙත් මමයි කියලා හිතලා හැමෝම බැන්නේ මටයි.

'ඇගේ වෛරය' හදද්දී චිත්‍රපටය එතරම් සාර්ථක වේවි කියලා හිතුණාද?

එවැනි සුළු විශ්වාසයක්වත් මට චිත්‍රපටය ගැන තිබුණේ නැහැ. 'ඇගේ වෛරය' ගැන බොහෝ අය නොදන්නා කතාවකුත් තියෙනවා. ඒ තමයි එහි ප්‍රධාන නළුවා විදිහට තෝරාගෙන තිබුණේ විජය කුමාරණතුංග බව. නමුත් රූගතකිරීම් පටන් ගන්න සති දෙකකට කලින් විජය ඝාතනය වුණා.

එහි ඇත්ත නැත්ත විමසන්න විජය අද ජීවතුන් අතර නැහැ. එම නිසා ඔබේ ඔය කතාව විජයට අපහාසයක් කියලත් සමහරුන්ට හිතෙන්න පුළුවන්?

මම කලිනුත් කිව්වා වගේ ඇගේ වෛරය කියන්නේ කවුරුවත් රඟපෑම ප්‍රතික්‍ෂේප කරන විදිහේ කසිකබල් චිත්‍රපටයක් ‍නෙවෙයි. විමල් කුමාර ද කොස්තා. විල්සන් කරු වගේ නළුවොත් එහි රඟපෑවා. 'ඇගේ වෛරය' ප්‍රධාන නිළිය වුණු චන්දි රසිකාගේ හීනයක් තිබුණා විජය එක්ක රඟපාන්න. ඇගේ ඉල්ලීමට අනුව තමයි විජයව චිත්‍රපටයට තෝරාගත්තේ. බොරු නම් චන්දි රසිකාගෙන් අහන්න. ඇය ඊට සාක්ෂි දරනවා.

ඔබේ චිත්‍රපටවල විජය ඊට පෙර රඟපා තිබුණේ නැහැ නේද?

මොකද නැත්තේ. මගේ 'බිඳුණු හදවත්' චිත්‍රපටයෙනුයි විජය සිනමාවට පිවිසුණේ. රොබින් ප්‍රනාන්දුගේ ඉල්ලීමටයි මම විජයව ඒ චිත්‍රපටයට තෝරාගත්තේ. නමුත් 'හන්තානේ කතාව' ‍පෝලිම පැනපු නිසා අද ඒ චිත්‍රපටය විජයග පළමු චිත්‍රපටය කියලයි හැමෝම හිතන්නේ.

-කිෂාන් කනංකෙ / ඡායාරූප: තුෂාර අතපත්තු_ලක්බිම

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ඇගේ වෛරයේ ප්‍රධාන චරිතයට විජය"

    Post a Comment