04 February, 2017

‘‘මං තාම හොඳට කළේ නෑ කියලා මගෙ හිත මටම වද දෙනවා“ - සීකුගේ ප්‍රසන්න

seekkuge-prasanna-01

‘‘ඒක ඇඟෙන්ම ආපු දෙයක්..“

‘‘සතුට වැඩිකමට ඒ අවස්ථාවේ නිකන්ම එහෙම වුණා“

‘‘බෝලෙ වදියිද කියලා හිතන්නෙ නෑ. ගේම ගහන්නයි ඕනේ. “

මේ දිනවල ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා සංචාරයේදී වැඩිපුරම ක්‍රීඩාලෝලීන්ගේ අවධානය දිනාගත් ක්‍රිකට් තරුවක් තමයි සීකුගේ ප්‍රසන්න කියන්නෙ. දකුණු අප්‍රිකාව සමග පැවති අවසන් 20-20 විස්ස තරගයේදී සීකුගේ දකුණු අප්‍රිකානු පන්දු යවන්නන්ට දිගට හරහට බැට දෙමින් ශ්‍රි ලංකා පිල ජයග්‍රහණය කරා රැගෙන ගියා.

එම තරගයේදී තමන් ක්‍රීඩා කළ ආකාරය වගේම තවත් විස්තර රැසක් සීකුගේ සති අන්ත පුවත්පතකට කියලා තිබුණේ මේ විදිහට.

සීකුගේ ප්‍රසන්න පිතිකරුවෙක්ද.. පන්දු යවන්නෙක්ද..?
පන්දු යවන්නෙක්.

පන්දු යවන්නෙක් විදිහට ටීම් එකට ආපු ප්‍රසන්න පිතිකරුවෙක් වුණේ..?
මට බැට් කරන්න පුළුවන්, ඒක දැකපු පුහුණුකරු හා නායකයා මට කලින් බැට් කරන්න චාන්ස් එක දුන්නා. ඒකෙන් තමයි අවස්ථාව ලැබුණේ.

දකුණු අප්‍රිකාව එක්ක තිබුණ අන්තිම 20-20 තරගය ගැන මතක් කළොත්..?
මං බැට් කරන්න එද්දි බෝල 24 ට 50 ක් තිබුණා. එවැනි අවස්ථාවල ක්‍රීඩා කරන්න මං ගොඩක් ආසයි. මැච් එකේදි මට ඕන විදිහට කරන්න ලැබුණා. ඒ ගැන ගොඩක් සතුටුයි.

බැට් කරන්න එනකොට කොහොම හරි ගේම ගහනවා කියලද ආවේ..?
ඔව්. මං බැට් කරන්න එන්න කලින් ටීම් එකේ දෙන්නෙක් තුන් දෙනෙක්ට කියලා ආවේ බෝල 18 කට 40 ක් ගහනවා කියලා.

ඒ මැච් එකේදි ලොකු ආත්ම විශ්වාසයකින්ද ක්‍රීඩා කළේ..?
ගිය දවස්වල බංග්ලාදේශ් ප්‍රිමියර් ලීග් එකේ හොඳින් දස්කම් දක්වලා හිටියේ. ඒ නිසා හොඳ ආත්ම විශ්වාසයකින් හිටියෙ.

අන්තිම විස්සයි - විස්ස තරගය අවසන් කළේ යුද හමුදා ක්‍රීඩා සමාජයේ අසේල ගුණරත්න එක්ක..?
අසේලගේ දක්ෂතාව ගැන මං හොඳට දන්නවා. ඒ නිසා ආපු ගමන් කිව්වෙ ගේම ගහමු කියලා. එයා ඒ අවස්ථාවේ හොඳටම කළා.

ලකුණු 5 ක් ඕන වෙලා තියෙද්දි අසේල 4 ක් ගහලා ස්ටම්ප් එක ගැලෙව්වා. දිනන්න තව ලකුණක් තිබ්බා කියලා දෙන්නටම අමතක වුණා නේද..?
මං දැනගෙන හිටියා. ඒත් අසේල හිතුවෙ දිනුම් කියලා.

ඒ වෙලාවේ විනිසුරු සහ දකුණු අප්‍රිකානු නායකයා කිව්වෙ මොනවද..?
දකුණු අප්‍රිකානු නායකයා අවුට් එක ඉල්ලුවා. ඒත් විනිසුරු දෙන්නා කිව්වා ඒක ප්‍රශ්නයක් කරගන්න එපා කියලා. මොකද ඒ පහර හතරේ සීමාවට ගිහින් තිබුණ නිසා ගැටලුවක් වුණේ නෑ.

සීකුගේ ප්‍රසන්න ග්‍රවුන්ඩ් එකේදී ගොඩක් ‘මොරාල්‘ ක්‍රීඩකයෙක් කිව්වොත්..?
ඔව් ඒක ඇත්ත. මට දිනන්නම ඕනේ. පරදිනවට කැමතිම නෑ. පැරදිලා ගෙදර ආවොත් ඒ ගැනම කියවන එක තමයි කරන්නෙ.

ඒත් ග්‍රවුන්ඩ් එකෙන් පිට එහෙම නෑලු..?
ඒක ඇත්ත. එළියෙදි මම සාමාන්‍ය චරිතයක්. විහිලු කරලා සතුටින් ඉන්නවා.

තරගය දිනුවට පස්සෙ අමුතු ඩාන්ස් එකක් දැම්මා. හරියට කොදෙව් ක්‍රීඩකයන් ඩාන්ස් කරනවා වගේ..?
ඒක ඇඟෙන්ම ආපු දෙයක්. මං ආසයි ඩාන්ස් කරන්න. සතුට වැඩිකමට ඒ අවස්ථාවේ නිකන්ම එහෙම වුණා.

ඩාන්ස් එක බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් එකේදී ඩ්වේන් බ්‍රාවෝ, ඇන්ඩ්‍රෙ රසල්ගෙන් ආපු දෙයක්ද..?
එයාලත් එක්ක නැටුවා. ඒත් මේක නම් මටම ආවේණිකයි.

දකුණු අප්‍රිකා තණතීරු වේගවත්, ආම්ගාඩ් එකක්වත් නැතිව බැට් කරන්න බය නැද්ද..?
ආම් ගාඩ් එක නැතුව ක්‍රීඩා කරන එක මට පහසුවක්. බෝලෙ වදියිද කියලා හිතන්නෙ නෑ. ගේම ගහන්නයි ඕනේ.

වැඩියෙන්ම කැමති විස්සයි - විස්සද..?
එහෙම නෑ. රට වෙනුවෙන් ඕනම අංශයක තරගවදිනවා.

IPL වලින් අවස්ථාවක් ලැබුණොත්..?

ඒ දිනවල ජාතික කණ්ඩායමේ මැච් නැත්තම්, ක්‍රිකට් බෝඩ් එකෙන් අහලා බෝඩ් එකෙත් ප්‍රශ්නයක් නැත්නම් ඔවුන්ගෙන් අහලා සහභාගී වෙනවා.

මේ ආපු දුර ගැන තෘප්තිමත්ද..?
තෘප්තිමත්. ඒත් මම හිතනවා මීට වඩා දෙයක් කරන්න පුළුවන් කියලා.

තව මොනවද තියෙන අනාගත බලාපොරොත්තු..?
මං තාම හොඳට කළේ නෑ කියලා මගෙ හිත මටම වද දෙනවා. ඒ නිසා හිතේ හැටියට දක්ෂතා දක්වන්න තමයි බලාපොරොත්තුව.

පවුලේ විස්තර..?
විවාහකයි. බිරිඳයි දුවලා තුන් දෙනයි එක්ක ඉන්නෙ.

බිරිඳගෙන් කොයි වගේ සහයෝගයක්ද ලැබෙන්නෙ..?
ඇය තමයි සේරම හොයලා බලලා කරන්නෙ. ඒ නිසා මට ක්‍රීඩා කටයුතුවලට පීඩනයක් නෑ.

ලොකු දුව මොකද කිව්වෙ මැච් එක දින්නට පස්සෙ..?
තාම එයාට වයස අවුරුදු පහමාරයි. එයා කිව්වා තාත්තා හොඳට සෙල්ලම් කළා. මැච් එක දිනුවා නේද කියලා.

ක්‍රිකට් හැර කැමතිම ක්‍රීඩාව..?
සොෆ්ට් බෝල් වලට කැමතියි.

ප්‍රසන්න ක්‍රිකට් ක්‍රීඩකයෙකු නොවුණා නම්..?
හිතාගන්න අමාරුයි...

දකුණු අප්‍රිකා - ශ්‍රී ලංකා අවසන් 20-20 තරගයේ සීකුගේ ඉනිම..

seekkuge-prasanna-02

seekkuge-prasanna-03

seekkuge-prasanna-04

seekkuge-prasanna-05

seekkuge-prasanna-06

seekkuge-prasanna-07

seekkuge-prasanna-08

_හිරුගොසිප්

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "‘‘මං තාම හොඳට කළේ නෑ කියලා මගෙ හිත මටම වද දෙනවා“ - සීකුගේ ප්‍රසන්න"

    Post a Comment