27 February, 2017

ටෙස්‌ට්‌ පිලේ ඔටුන්න යළිත් හේරත්ට

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ලබන මස පැවැත්වීමට නියමිත තරග දෙකකින් සමන්විත ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගයේ නායකත්වය රංගන හේරත්ට ලැබී තිබේ.

නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස්‌ගේ ආබාධය සුවවීමට සති තුනක පමණ කාලයක්‌ වැය වෙන බවට වෛද්‍යවරු නිගමනය කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා ටෙස්‌ට්‌ නායකත්වය යළිත් රංගන හේරත්ට ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ තේරීම් කමිටුව මෙසේ තීරණය කර ඇත.

මේ පිළිබඳව 'දිවයින' විසින් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතාගෙන් විමසන ලදුව, ' මැතිව්ස්‌ට ටෙස්‌ට්‌ තරගාවලිය ගහන්න වෙන්නේ නෑ. එක්‌දින තරගාවලියෙත් අවසන් තරග දෙකේදී තමයි ගොඩක්‌ වෙලාවට කණ්‌ඩායමට එන්න පුළුවන් වෙන්නේ. ඔහුගේ ආබාධය ඒ වන විටත් සුව නොවන නිසා එක්‌ දින නායකත්වයටත් වෙනත් කෙනෙක්‌ නම් කරනවා' යි හෙතෙම පැවසීය.

දකුණු අප්‍රිකාව සමග පැවැති දෙවැනි විස්‌සයි විස්‌ස තරගය අතරතුරදී මැතිව්ස්‌ගේ දකුණු පාදයේ කලව ප්‍රදේශයේ අදාළ ආබාධය ඇති විය.

බංග්ලාදේශය සමග ටෙස්‌ට්‌ තරගාවලියට සහභාගි වීමට මැතිව්ස්‌ සූදානමින් සිටියද ඔහුගේ ආබාධය පරීක්‌ෂාකර බැලූ මහාචාර්ය අර්ජුන සිල්වා ඇතුළු වෛද්‍ය කණ්‌ඩායම විසින් මැතිව්ස්‌ට සම්පූර්ණ සුවය ලැබීමට තවත් සති තුනක පමණ කාලයක්‌ විවේක ගැනීමට නියමකළ හෙයින් ටෙස්‌ට්‌ තරගාවලිය ඔහුට අහිමි වී තිබේ.

එන සතියේ දිවයිනට පැමිණෙන බංග්ලාදේශ කණ්‌ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්‌ට්‌ තරගය 7 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

rangana-herath-03

-අසේල විතාන_දිවයින

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ටෙස්‌ට්‌ පිලේ ඔටුන්න යළිත් හේරත්ට"

    Post a Comment