27 February, 2017

පූර්ණිමාගෙන් නව තරග වාර්තා දෙකක්

poornima-jayamali-gunaratne

දින තුනක් පුරා දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන 17 වැනි ජාත්‍යන්තර පාසල් මලල ක්‍රීඩා තරගාවලියේදී බාලිකා අවුරුදු 20න් පහළ උස පැනීමේ සහ දුර පැනීමේ ඉසව් නියෝජනය කරමින් නව තරග වාර්තා දෙකක් පිහිටුවීමට පානදුර ලීඩ්ස් ජාත්‍යන්තර පාසලේ පූර්ණිමා ජයමාලි ගුණරත්න ක්‍රීඩිකාව සමත් වූ අතර තරගාවලියේ දෙවැනි දිනය වූ ඊයේ දිනය නිමා වන විට වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල ලකුණු 891ක් සමඟින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත්ව සිටී.

තරගාවලියේ පළමු දිනය වූ පෙරේදා අවුරුදු 20න් පහළ බාලිකා දුර පැනීමේ ඉසව්වට සහභාගි වූ පූර්ණිමා මීටර් 5.69ක දුරක් සටහන් කරමින් පළමු නව තරග වාර්තාවට හිමි කම් කියූ අතර දෙවැනි දිනය වූ ඊයේ එම වයස් කාණ්ඩයේම උස පැනීමේ ඉසව්වට එක් වී මීටර් 1.75ක උසක් සටහන් කරමින් තරගාවලියේ බාලක සහ බාලිකා යන දෙපාර්ශ්වයෙන්ම නව තරග වාර්තා 2ක් බිහිකළ එකම බාලිකාව බවට පත්වූවාය.

මේ අතර තරගාවලියේ පළමු දින 2ක අවසන් වනවිට නව තරග වාර්තා 14ක් බිහි කිරීමට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත්ව සිටින අතර එක් තරග වාර්තාවක් සම කර ඇත. ඉන් තරග වාර්තා 7ක් වත්තල ලයිසියම් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සටහන් කරද්දී, නව තරග වාර්තා 5ක් කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසල හිමි කර ගැනීමට සමත්ව සිටීම විශේෂත්වයකි.

තවද මේ දක්වා එක් එක් පාසල් දැක්වූ දක්ෂතා විශ්ලේෂණය කිරීමේදී වත්තල ලයිසියම් පාසල ලකුණු 891ක් සමඟින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටින අතර කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසල ප්‍රසාද ලකුණු 605ක් සමඟින් දෙවැනි ස්ථානයටත් සහ ප්‍රසාද ලකුණු 448ක් සමඟින් නුගේගොඩ ලයිසියම් පාසල තුන්වැනි ස්ථානයටත් පත්ව සිටී.

මේ දක්වා බිහි වූ නව තරග වාර්තා-

පිරිමි-
19න් පහළ මීටර් 100×4 _ තත්.43.3 (කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසල)
20න් පහළ මීටර් 800 _ මිනි.1 තත්.58.5 (ගයාන් බණ්ඩාර _වත්තල ලයිසියම්)
20න් පහළ මීටර් 110 කඩුලු _ තත්.15.1 (ශානක පෙරේරා - වත්තල ලයිසියම්)
20න් පහළ දුර පැනීම _ මීටර් 6.91 (ශෙම් ඩොමීනියස් - වත්තල ලයිසියම්)
20න් පහළ මීටර් 100×4 _ තත්.45.0 (වත්තල ලයිසියම්)

කාන්තා-
15න් පහළ මීටර් 100×4 _තත්.52.9 (වත්තල ලයිසියම්)
15න් පහළ යගුළිය විසි කිරීම _ මීටර් 8.35 (දෙහාලි සෙනෙවිරත්න - කොළඹ ගේට්වේ)
17න් පහළ මීටර් 100×4 _ තත්.50.5 (කොළඹ ගේට්වේ)
19න් පහළ මීටර් 200 _ තත්.25.2 (නතාලි මල්පාන - කොළඹ ගේට්වේ)
19න් පහළ මීටර් 800 _ මිනි.2 තත්.30.5 (දෙව්මිනි කුඩාවිතානගේ _ වත්තල ලයිසියම්)
19න් පහළ දුර පැනීම _ මීටර් 5.35 (ශර්මිලා ජාන් - කොළඹ ගේට්වේ)
20න් පහළ උස පැනීම _ මීටර් 1.75 (පූර්ණිමා ජයමාලි - ලීඩ්ස් පානදුර)
20න් පහළ දුර පැනීම _ මීටර් 5.69 (පූර්ණිමා ජයමාලි - ලීඩ්ස් පානදුර)
20න් පහළ හෙල්ලය විසි කිරීම _ මීටර් 27.22 (ක්‍රිෂ්මිතා මනිවානන් _ ලයිසියම් වත්තල)

-කෝසල ගමගේ_මව්බිම

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "පූර්ණිමාගෙන් නව තරග වාර්තා දෙකක්"

    Post a Comment