26 February, 2017

කැට හොලවල සල්ලි හොයන් ගත්තු පේරාදෙණිය වධකාගාරේ



අයුක්තියට අසාධාරණයට එරෙහිව පළමු වෙඩිමුර සරසවි සිසු ප්‍රජාව විසින් එල්ල කළ කාලයක් තිබිණි. පාලකයන්ගේ අත්තනෝමතික තීරණ නිසා සිසු අයිතිවාසිකම් උල්ලංඝනය වන විට සරසවි සිසුහු පාරට බැස්සහ. නිදහස් අධ්‍යාපනය රැක ගැනීම සඳහා ජීවිත පරදුවට තබා සිසු නායකයෝ ක්‍රියාකළ අභිමානවත් සරසවි ඉතිහාසයක් ගැන අපට මතකය.

නිවටකම් බිඳ දමමින් සාධාරණ අරමුණක් උදෙසා කැප වූ අතීත සරසවි සිසුන්ට අප හදවතේ ගෞරවයක්ද ඇත.

වර්තමානය වන විට සරසවිවලින් ඇසෙන කතා හේතුවෙන් වත්මන් සරසවි සිසු පරපුර ගැන අපට ආඩම්බර විය නොහැකි තත්ත්වයකට පත්ව තිබේ.

සරසවි සිසුන් පමණක් නොව පාසල් සිසුන්ද ශිෂ්‍ය භාවයට පටහැනි ක්‍රියාවන් කිරීම හේතුවෙන් වත්මන් පාසල් සිසුන් ගැනද අපට ඇත්තේ කලකිරීමකි.

පොලු - මුගුරු අතැතිව තවත් පාසලකට පහරදීම්, ආදරය වෙනුවට ලිංගිකත්වයට මුල් තැන දී ක්‍රියා කිරීම ආදී පාසල් සිසුන්ගේ නොමනා ක්‍රියාකාරකම් ගැන පසුගිය කාලසීමාවේම අපට අසන්නට දකින්නට ලැබිණි.

ශිෂ්‍ය ප්‍රජාවේ ආසන්නතම නොමනා ක්‍රියාව පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ඉකුත් 19 වැනි දින වාර්තා වුණේ තිරශ්චීන සරසවි නවක වධය උඩු යටිකුරු කරවමිනි.

මෙතෙක් කල් සරසවි තුළ ශිෂ්‍ය නේවාසිකාගාර තුළ සිදුවූ නවක වධය ඉන් ඔබ්බට ගොස් නිවෙසක් කුලියට ගෙන සිදු කරන බවට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඇදුරුවරුන්ට තොරතුරු ලැබෙන්නට විණි.

"ළමයි රංචු රංචු ගෙනත් රෑ ඉඳන් එළිවෙනකල් දස වධ දෙනවා" ආචාර්යවරුන්ට කුලී නිවෙසේ පවත්වාගෙන ගිය වධකාගාරය ගැන තොරතුරු ලැබිණි.

හොර රහසේ පවත්වාගෙන ගිය වධකාගාරය වැටලීමේ මෙහෙයුම විශ්වවිද්‍යාල ආචාර්යවරු විසින් සකස් කළහ.

දිනය ඉකුත් 19 වැනිදා ඉරුදිනය. ඇඳිරි වැටෙත්ම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි පීඨයේ පීඨාධිපති මහාචාර්ය ගාමිණී පුෂ්පකුමාර, විශ්වවිද්‍යාලයේ ප්‍රධාන විනය පාලක ආචාර්ය ගාමිණී හිටිනායක, නියෝජ්‍ය විනය පාලක (කෘෂි පීඨය) ආචාර්ය සුරංග කොඩිතුවක්කු, විශ්වවිද්‍යාලයේ වැඩබලන ආරක්ෂක ප්‍රධානී දීපාල් රත්නායක යන ඇදුරුවරුන් සහ නිලධාරීන් කුලී නිවෙස පිහිටි පේරාදෙණිය ‍දොලුව, මෙගොඩ කළුගමුව ප්‍රදේශයට පිටත් වූහ.

මෙම කණ්ඩායමට විශ්වවිද්‍යාලයේ ආරක්ෂක අංශයේ නිලධාරීන් විස්සකට අධික පිරිසක් සහභාගි වූ අතර සියල්ලෝම කුලී නිවෙස ආසන්නයට ගොස් දැඩි විපරමින් කටයුතු කළෝය.

නිවෙස තුළ සිදුවන හිංසනයේ ක්‍රියා වීඩියෝ ගත කිරීමටද සූක්ෂම වූ එම කණ්ඩායම රාත්‍රි දහය පසුවී විනාඩි කිහිපයක් පමණ ගත වනවාත් සමඟම නිවෙසට කඩා පැන්නේය.

සිසුන් අට දෙනකු නිරුවතින්ය. තවත් සිසුන් පහළොස් දෙනකු ඔවුනට දසවධ දෙමින්ය.

ආචාර්යවරුන්ගේ දැනුම් දීමකට අනුව පේරාදෙණිය පොලිසියේ කණ්ඩායමක්ද කුලී නිවෙසට පැමිණියහ.

සිදුවූයේ කුමක්දැයි සිතා ගත නොහැකි නවක වධය ලබාදුන් සිසුන් පහළොස් දෙනා සියලු තතු පොලිසිය හමුවේ පාපෝච්චාරණය කරන්නට වූහ.

එම සිසුහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි පීඨයේ දෙවැනි වසරේ ඉගෙනුම ලබති.

"අද උදේ අපි නුවර නගරයේ කැට ව්‍යාපාරයකට සහභාගි වුණා. ඒ වැඩේ ඉවර කරලා හවස දෙකට වගේ තමයි මල්ලිලාට මේ ගෙදරට එන්න කිව්වේ" සියලු විස්තර පොලිස් පොතෙහි සටහන් වන්නට පටන් ගත්තේය.

'කැට ව්‍යාපාර' යනු සරසවි සිසුන් මහජනතාවගෙන් මුදල් එකතු කිරීමය. 'ඉගෙන ගන්න ළමයිනේ' යන අදහස් ඇතිව බහුතරයක් වූ දෙනා සරසවි සිසුන් ඔවුන් ළඟට රැගෙන එන කැටයට මුදල් ආධාර ලබා දෙති.

මිනිසුන්ගෙන් මුදල් එකතු කොට අවසානයේදී මොවුන් පැමිණ ඇත්තේ ඔවුන් හොර රහසේ පවත්වාගෙන යන කුලී නිවෙසේ වධකාගාරයටය.

ඉන් අනතුරුව දුරකතන ඔස්සේ ඔවුන් කෘෂි පීඨයේ පළමු වසරේ සිසුන් අට දෙනකුට විවිධ ස්ථානවලට පැමිණ සිටින ලෙසට දන්වා ඇත.

සමහර සිසුන්ට නුවර මාලිගාවටත්, නුවර රෝහල අසලටත්, ගලහ මංසන්ධිය අසලටත් පැමිණෙන ලෙසට දන්වමින් පැය කිහිපයක් ඔවුහු සිය නවක සිසුන්ව රස්තියාදු කර තිබේ.

"මාලිගාව ගාවද ඉන්නේ, ඔතැන ඉන්න එපා. හොස්පිට්ල් එක ගාවට එන්න. එතැන තව කෙනෙක් ඉන්නවා. එතැනට යන්න" නවක සිසුවකු එලෙස රස්තියාදු කරයි.

"කැම්පස් එක ගාවද දැන් ඉන්නේ, බස් එකේ නැඟලා ‍ෙදොලුවට එන්න" තවත් නවක සිසුවකු එලෙස රස්තියාදු කරයි.

ජේ‍යෂ්ඨ සිසුන්ගේ අණට කීකරු වූ නවක සිසුන් අට දෙනා පැය කිහිපයක් මහමඟ රස්තියාදු වෙන්නට විය.

රාත්‍රිය එළැඹෙත්ම දෙවැනි වසරේ සිසුන් මුහුණ වසා ගත් හෙල්මට් පැලඳ යතුරුපැදි තුනක නැඟී වධකාගාරයට නවක සිසුන් අට දෙනා කඳවාගෙන පැමිණියහ.

"රෑ 8.30 ට වගේ අපිව ගෙදරකට එක්කන් ආවා. අපෙන් එක එක ප්‍රශ්න ඇහුවා. ප්‍රශ්නයකට උත්තර දෙන්න බැරි වුණොත් එක ප්‍රශ්නයකට එක ගාණේ ඇඳුම් ගලවන්න අණ කළා."

නවක වදයට ලක්වූ සිසුන් පොලිසිටය පැවසුවේය.

නවක සිසුන් අට දෙනාගේ කමිස, බැනියම්, කලිසම්, යට ඇඳුම් ගැලවූ දෙවැනි වසරේ සිසුන් ඉන් අමුතු තාලයේ සතුටක් ලැබූහ.

පොලු තුනක් අතැතිව නවක සිසුන්ට පහර දෙමින්, ඔවුන්ව බිම නිදි කරමින් අමානුෂික ලෙස වධ හිංසාවන්ට ලක් කළහ.

ජේ‍යෂ්ඨ සිසුන්ගේ නියෝගවලට අවනත වෙමින්, මරණයට බියවූ මුව පොව්වන් ලෙසින් කටයුතු කිරීමට සිදුවූ නවක සිසුන් අවසානයේදී විශාල ඛේදවාචකයක් වීමට පෙර බේරා ගැනීමට සරසවි ආචාර්යවරුන්ට හැකි විය.

නවක සිසුන් පිරිස ආචාර්යවරුන්ගේ භාරයටත් නවක වධය ලබා දුන් කෘෂි පීඨයේ දෙවැනි වසරේ සිසුන් 15 දෙනා පොලිස් අත්අඩංගුවටත් ගත්තේය.

අදාළ කුලී නිවෙසද ගලහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ කනිෂ්ඨ සේවකයකුගේය.

තවමත් සම්පූර්ණයෙන් වැඩ නිම කොට නැති එම නිවෙස මසකට රුපියල් දස දහසක මුදලකට එම සිසුන් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් ගෙන ඇති බවද පරීක්ෂණවලදී හෙළි විය.

ඉකුත් ජනවාරි 06 වැනි දින සිට මාස තුනක කාලයකට එම නිවෙස කුලියට ගෙන ඇත.

ගෘහ නිර්මාණ ශිල්පීන් යැයි පවසමින් සිසුන් හත් දෙනකු එම නිවෙස මෙලෙස කුලියට ගෙන තිබූ බවද පොලිස් පරීක්ෂණවලදී හෙළි විණි.

මාස තුනකට අදාළ මුදල්ද ඔවුන් විසින් ගෙවූ බව නිවෙසේ හිමිකරු පොලිසියට පවසා ඇත.

ඉතා සංවිධානාත්මක ලෙස මුදල්ද වියදම් කරමින් කුලී නිවාසය ගෙන නවක සිසුන්ට හිංසා කිරීම සඳහා කටයුතු කළ සරසවි සිසුන් පහළොස් දෙනා මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාර්තු 02 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

පේරාදෙණිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කමල් ආරියවංශ මහතාගේ උපදෙස් හා මෙහෙයවීම මත එහි අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චන්ද්‍රපාල, උප පොලිස් පරීක්ෂකවරුන් වන තුෂාර කරුණාරත්න, බන්දුල විජේකෝන්, පොලිස් සැරයන්වරුන් වන සෙනවිරත්න (11547), වජිර (30508) ඇතුළු පොලිස් කණ්ඩායම මේ පිළිබඳ විමර්ශන කටයුතු මෙහෙයවනු ලබයි.

විශ්වවිද්‍යාල පාලන අධිකාරිය විසින් නවක වධය ලබා දුන් සිසුන් පහළොස් දෙනාට පන්ති තහනමක්ද මේ වන විට පනවා ඇත.

මෙකී නවක වධ සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේද විශේෂ අවධානය යොමුවී ඇත.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පමණක් ගතවූ මාස තුනක කාල සීමාව තුළ නවක වධය ලබා දීමේ සිද්ධීන් තුනක් පේරාදෙණිය පොලිසියට පැමිණ තිබිණි.

එම සිද්ධිවලට අදාළව සරසවි සිසුන් හත් දෙනකු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

"ලැජ්ජාව නැති කරන්නයි අපි රැග් කළේ" කුලී නිවෙසේ වධකයෝ අවසානයේදී පොලිසියට පැවසූහ.

බල්බයක් කටින් පිඹ නිවීමට දීම, ගසක් සමඟ තනියෙන් කතා කිරීම, ගැහැනු ළමයකුට ආදරේ ප්‍රකාශ කිරීම ආදී සුන්දර නවක වධ අතීතයේ සරසවි සම්ප්‍රදායේ තිබිණි.

නමුත් සියල්ල උඩු යටිකුරු වෙමින් නවක සිසුන් කෘෘරත්වයට හා මානසික හිංසනයන්ට පමුණුවමින් කරන නවක වධ හේතුවෙන් සරසවි සිසුන්හට ජීවත්වීමේ අයිතිය පවා අහිමි වූ අවස්ථා ඇත්තේය. සමහර සිසුන් නවක වධය ඉවසිය නොහැකිව සියදිවි හානිකර ගත්තේය. තවත් සමහරු විශ්වවිද්‍යාලවලට සමුදී යළි නිවෙස්වලට පැමිණියහ.

නවක සිසුන්ට සරසවි ජීවිතයට හුරු කිරීම, මිතුරන් සමඟ සුහදව කටයුතු කිරීමට හුරු කිරීම, නව මිතුරන් හඳුනා ගැනීමට අවස්ථා එක්කර දීම, නම්බුනාම පසෙකලා එකාවන්ව සරසවි තුළ ජීවත්වීම ආදියට සුන්දර ලෙස 'නවක වධය" භාවිත කිරීම සාපේක්ෂිතය.

නමුත් 'වධ' යන අරුතටම නවක සිසුන් ශාරීරික සහ මානසික හිංසනයන්ට, පීඩාවන්ට පත් වන්නේ නම් එය මනුෂ්‍ය සමාජයකට උචිත නැත.

බුද්ධිමතුන් බිහිවන සුන්දර සරසවිය නවක වධයන් නිසා අපායක් කර ගත යුතුද.....?

තීරණය ජේ‍යෂ්ඨ සිසුන් අතේය.

_මව්බිම

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "කැට හොලවල සල්ලි හොයන් ගත්තු පේරාදෙණිය වධකාගාරේ"

    Post a Comment