23 February, 2017

හර්ෂණ අමුතු වෙනසකට ලෑස්තියි

harshana-bethmage-article23

හර්ෂණ මේ දවස්වල ටෙලිවල පේන්න නෑනේ?

ටෙලි ඩ්‍රාමා නම් මේ ටිකේ කළේ නැහැ. මම සම්බන්ධ වුණ ටෙලි නාට්‍ය කිහිපයක් විකාශනය වෙලා ඉවර වුණා. දැන් ඉන්දියන් සහ කොරියන් නාට්‍ය ගොඩක් නාළිකාවල විකාශය කරන නිසා ලංකාවේ ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂවරුන්ට ඔළුව කෙළින් තියාගෙන වැඩක් කරන්න ලැබෙන්නේ නෑ. ලස්සන සිංහල ටෙලි නාට්‍ය බලපු කාලය එනකල් අපිට බලන් ඉන්න වෙලා තියෙනවා.

ඒ කියන්නේ දැන් ලංකාවේ නළුවන්ට නිළියන්ට වැඩ අඩුවෙලාද?

ඔව්. අපිට, අධ්‍යක්‍ෂවරුන්ට, නිෂ්පාදකවරුන්ට වැඩ අඩුවෙලා. තව ඉස්සරහට මේ තත්ත්වය තවත් වැඩි වෙයි. ඉන්දියන් කොරියන් නාට්‍ය විකාශය කරන නිසා ප්‍රේක්‍ෂකයොත් ඒ පැත්තට හැරිලා. ඒකෙන් ලංකාවේ සංස්කෘතියත් නැතිවෙලා යනවා. අද සිංහල ටෙලි නාට්‍ය කෙරෙන්නේ අඩුවෙන්. ඉස්සර අපි මාසෙකට ටෙලි නාට්‍ය හතරක් කළා නම් දැන් මාසෙකට කරන්නේ එක නාට්‍යයයි.

රංගනය වෘත්තිය කරගත්තට දැන් දුක් වෙනවද?

නැහැ. රංගනය කියන්නේ උතුම් රැකියාවක්. ආසාවට, තෘප්තියට කළ දේ අද මගේ රැකියාව වෙලා තියෙනවා. රංගනය වෘත්තිය විදියට තෝර ගත්ත එක ගැන මම දුක්වෙන්නේ නැහැ. මම මේ තැනට ආවේ රියැලිටි ෂෝවලින් ඇවිත්වත් මොඩ්ලින් කරලාවත් නෙවෙයි. පුංචි කාලේ ඉඳන් රංගනය හදාරලා මේ තැනට ආවේ. ප්‍රශ්නෙකට තියෙන්නේ මේ ක්‍ෂේත්‍රය පරිස්සම් කර ගන්න බැරි එක.

ටෙලි නාට්‍යවලට සම්බන්ධ නොවුණට හර්ෂණ වැඩ නොකරන්නෙම නෑනේ?

මම මේ දවස්වල ෆිල්ම්වල වැඩ කරනවා. ඒ සුරංග ද අල්විස්ගේ කිඩ්නැප් චිත්‍රපටයේ සහ සනත් ගුණතිලකගේ 'මංගල තෑග්ග' දෙවැනි කොටසේ. ගීත රූප රචනාවලටත් සම්බන්ධ වෙනවා.

දැන් මියුසික් වීඩියෝ පැත්තට වැඩි බරක් දීලද?

මියුසික් වීඩියෝ වෙනම කලාවක් වෙලා. මම කොහොමත් මියුසික් වීඩියෝවලට සම්බන්ධ වුණා. ලංකාවේ මිනිස්සුනේ මියුසික් වීඩියෝ කරන්නේ. ලංකාවේ මිනිස්සු කරන වැඩකට අපි සම්බන්ධ වෙන්නේ හෘදයාංගම බැඳීමකින්. මම රංගන ශිල්පියෙක් නිසා මට මියුසික් වීඩියෝවලට ආරාධනා ලැබෙනවා. ඒ තුළ කළ යුත්තේ නොකළ යුත්තේ මොනවද බලලා වැඩ කරනවා.

ඒ කියන්නේ හර්ෂණ දාගත්ත සීමා තියෙනවද?

ඔව්. කළ යුත්තේ නොකළ යුත්තේ මොනවද කියලා මම බලනවා. හැබැයි මම නිර්මාණයට අවශ්‍ය සාධාරණය කරනවා. චරිතයට අදාළ දේ මම කරන්නේ මගේ සීමාව ඇතුළේ.

ලිප්කිස් දෙන සීන් එකකට හර්ෂණට ආරාධනා ලැබුණොත් කරනවද?

මම එහෙම දෙයක් කරන්නේ නැහැ. මියුසික් වීඩියෝව කලාවක්. ඒකේ කරන්න තියෙන්නේ ඔය වගේ දේවල් නෙවෙයි. ඒ තුළ කරන්න අවශ්‍ය දේවල් තියෙනවා.

විවාහ වෙලා නොහිටියා නම් ඒ වගේ දෙයකට සම්බන්ධ වෙනවද?

ඒත් නැහැ. මම 2011දී තමයි මියුසික් වීඩියෝවකට හොඳම නළුවා සම්මානය ගන්නේ. මම මේ වෙනකල් එහෙම දෙයකට සම්බන්ධ වෙලා නැහැ. ඒ වගේ දේවල්වලට සම්බන්ධ නොවුණා කියලා මට වැඩ අඩුවෙලත් නැහැ. මගේ කොලිටි එකේ වෙනසක් වෙලා නැහැ.

වොල්ගා හර්ෂණට සීමා දාලම නැද්ද?

අපි ගොඩක් කල් ඉඳන් දැන හඳුනාගෙන ඉඳලා විවාහ වුණ දෙන්නෙක්. ඒ නිසා අපි අපිට සීමා දාගන්නේ නැහැ. හැබැයි මට වැඩක් ලැබුණම මම එයාට කියනවා. එයාට වැඩක් ආවම මට ඒක කියනවා. එයා මට දේවල් කරන්න එපා කියලා නැහැ. හැබැයි සමහර දේවල් ලැබුණම ඒවා ඔයාට ගැළපෙන්නේ නෑ නේද කියලා අහනවා. මමත් මගේ බිරියට මගේ පවුලේ අයට පාරට බැහැලා යන්න බැරි දෙයක් කරන්නේ නැහැ. මට ඒ වගේ දේවල්වලට ආරාධනා ලැබිලත් නැහැ. ආරාධනා ලැබුණත් මම සම්බන්ධ වෙන්නෙත් නැහැ.

හර්ෂණ ස්ථාවරයක් හදාගෙන ඉන්න නිසාද තෝරා ගැනීමකින් වැඩ කරන්නේ?

මගේ ස්ථාවරය මම හදාගෙන ඉවරයි. හැබැයි මට ගමනක් යන්න තියෙනවා. මම පොරක් කියලා කියන්නේ නැහැ. මම ඉන්න විදිය ගැන මම තෘප්තිමත්. හම්බ කරගෙන ජීවත් වෙන්නම මම රංගනය කරන්නේ නැහැ. මට රංගන ක්‍ෂේත්‍රයේ වැඩ නැති වුණත් ජීවත් වෙන්න ක්‍රම තියෙනවා. ඒ නිසා මට ලැබෙන හැමදේම කරන්න ඕනේ නෑ.

මොනවද අලුත් වැඩ?

අප්‍රේල් මාසේ ටෙලි නාට්‍යයකට සම්බන්ධ වෙන්න සාකච්ඡා කරමින් ඉන්නේ. ඊට අමතරව අමුතුම වෙනසක් කරන්න හිතාගෙනත් ඉන්නවා. ඒක කරන්න ළං වෙද්දිම කියන්නම්.

(තිළිණි කෞශල්‍යා විජේසිංහ_මව්බිම)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "හර්ෂණ අමුතු වෙනසකට ලෑස්තියි"

    Post a Comment