03 February, 2017

මම එකතැන පල් වෙන්න කැමැති නැහැ

chandrasena-hettiarachchi

මේ දවස්වල ඔබේ අලුත් වැඩ කටයුතු මොනවාද..?

මේ දවල්වල අලුත් ගීත කිහිපයක් නිර්මාණය කරනවා. එකක් මවුගුණ ගීතයක්. අනෙක ආදර ගීතයක්. ආදර ගීතය නම් පටිගත කරලා ඉවරයි. මවුගුණ ගීතයත් තව සති දෙකකින් විතර එළියට දාන්න සූදානම් කරලා තියෙනවා.

ඔබ ක්ෂේත්‍රයට ඇවිත් දැන් දශක හතරකටත් වැඩියි නේද..?

ඔව්. මම ක්ෂේත්‍රයට ආවේ 1970 ගණන්වල. නමුත් මම ජනප්‍රිය වුණේ 1980 වසරේදි. ඒත් ඊට කලින් මම ප්‍රසිද්ධ වේදිකාවේ ගීත ගායනා කරලා ගම් ප්‍රදේශයේ ගොඩක් ජනප්‍රියත්වයට පත්වෙලා හිටියේ.

මේතාක් ආපු ගමන්මඟ ගැන මතකය අවදි කළොත්..?

ඇත්තටම මගේ ගමන්මඟ ගැන මම ආපසු හැරිලා බලද්දි හුඟාක් සතුටුවෙනවා. මොකද මම යටියන්තොට ගරාගොඩ කියන ගමක ඉඳලා ඇවිල්ලා මේ ක්ෂේත්‍රය දිනාගන්න ලැබුණ එක ගැනම සතුටු වෙනවා. ඒකට හැබැයි ගොඩාක් ස්තුතිවන්ත වෙන්න ඕන මගේ අම්මට, අප්පච්චිට. ඒ වගේම ජාතික තරුණ සේවා සභාවට, මගේ රසික රසිකාවියන්ට සහ මට ගුරුහරුකම් දුන්න මගේ ගුරුවරුන්ට. ගීත හදලා දුන්න, ගීත පද රචනය කරලා දුන්න හැමෝටමත් මගේ ගෞරවය හිමිවෙනවා.

දැනට ගීත කීයක් විතර කරලා තියෙනවද..?

එහෙම නම් කියන්න මතක නැහැ. මම කැසට් පට 43කට ගීත ගායනා කරලා තියෙනවා තරුණ සේවා සභාවේ. ඊට අමතරව කැසට්පට 10ක් 15ක් අතර ප්‍රමාණයකට ගීත ගායනා කරලා තියෙනවා. සංගීත තැටිත් හත අටක් විතර කරලා තියෙනවා. ගීත ඔක්කොම 300කට ආසන්න ප්‍රමාණයක් කරලා ඇති කියලා හිතෙනවා.

ඒ ගීත අතරින් ඔබව ජනප්‍රිය තලයක තිබ්බ ගීතත් තියෙනවානේ..?

මම ගායනා කළ ගීත අතරින් ගොඩාක් ගීත ජනප්‍රිය වුණා. මුලින්ම ජනප්‍රිය වුණේ "තවලම් අපි යනවා" කියන ගීතයෙන්. ඒ ගීතය තුළින් තමයි මුළු රටම මාව හඳුනාගත්තේ. ඊට පස්සේ "අම්මා ජීවන උයන් තෙරේ, යෙහෙළියක සේ, ටික කලක සිටන්, කෙලෙසක කීවත් හා මල් මල් විලේ" වගේ ගීත රාශියක් ජනප්‍රියත්වයට පත්වුණා.

ඔබ නව යුගයටත් ඔබින ගීත ගායනා කරනවා..?

ඔව්. මේ වෙනස් වෙන යුගයටත් මම ගීත ගායනා කළා. ඒ කියන්නේ දැන් ඉන්න මේ තරුණ තරුණියන්ට ගැළපෙන ආකාරයේ ගීතත් ඒ කාලයේ තරුණ තරුණියන්ට ගැළපෙන ගීතත් මම ගායනා කළා. ඒ වගේම ඉදිරියටත් මේ වගේ කටයුතු කරගෙන යනවා.

ඇයි ඔබ එහෙම වෙනස් වුණේ..?

මෙහෙමයි. මම කැමති නැහැ එක තැන පල්වෙන්න. ඒ කියන්නේ මගේ "තවලම්" කියන ගීතය ගත්තොත් ඒක බොහොම හොඳ රසවත් ගීතයක් කියලා මම ඒක පැත්තකට කරලා තියාගෙන හිටියොත් වෙන්නේ මේ ගීතය මිනිසුන්ට කාලයක් යනකොට අමතක වෙන එක. එතකොට අපේ මේ ගීතය යුගයෙන් යුගයට අරන් යනවද නැත්නම් මේක හොඳ, පරණ ගීතයක් කියලා පෙට්ටියක දාලා වහලා තියාගන්නවද..? ගීතයක් කියන දේ අපි සමාජ ගත කරන්න ඕනෙ. පැරැණි ගීත වුණත් මේ යුගයටත් ගළපගන්න ඕන. එතකොට තමයි දැන් ඉන්න අයත් එක්ක ජනප්‍රිය බවක් තියාගෙන ගමනක් යන්න පුළුවන් වෙන්නෙ. මම හිතන්නෙ එහෙමයි.

ඒ වෙනස්වීමට මොනවගේ ප්‍රතිචාරද ඔබට ලැබුණේ..?

මම චුට්ටක් අදිමදි කළා ඒ විදියට මුලින්ම ගීත ගායනා කරන්න වගේම නිර්මාණය කරන්නත්. නමුත් ඊට පස්සේ මම කල්පනා කළා මගේ ජනප්‍රියත්වය මම රැකගන්න ඕන කියලා. මම තරුණ තරුණියො එක්ක ගැටිලා "ඔයා නිසා" ගීතය ගායනා කළා. ඇත්තටම ඒ ගීතය අලුත් අයත්, පරණ අයත්, පුංචි දරුවො පවා රස වින්දා. මම හිතුවේ මට බනියි කියලා. නමුත් හැමෝම ඒ ගීතය වැලඳගත්තා.

ඒ වෙනසට චෝදනා තිබ්බෙම නැද්ද..?

චෝදනා තිබ්බෙ බොහොම අල්පයක්. දෙන්නෙක් තුන්දෙනෙක් ඇරුණුකොට වෙන කිසි කෙනෙක් ‍දොස් කිව්වෙ නැහැ.

රසිකයෝ ඔබෙන් ඉල්ලන්නෙ පරණ ගීතද..? අලුත් ගීතද..?

ඇත්තටම රසිකයෝ ගත්තම ඒ කාලේ හිටිය තරුණයො දැන් වයසට ගිහිල්ලා. ඒ වුණාට මගේ පරණ ගීතවලටත් ඒ වගේම අලුත් ගීත වලටත් හැමෝම කැමතියි. සමහර අය කියනවා "යෙහෙළියක සේ" ගීතය කියන්න කියලා. සමහර අය කියනවා "ඔයා නිසා" ගීතය කියන්න කියලා. ඒ වගේ මේ රසික රසිකාවියො විවිධයිනේ. ඉතින් වේදිකාවට ආවම හැමෝටම ගැළපෙන්න විවිධ ගීත ගායනා කරනවා.

ඔබ නිර්මාණය කළ බොහෝ ගීත ජනප්‍රිය වුණා. ගීත ජනප්‍රිය කරගන්න සල්ලි විසි කරන්න ඕන කියලා කතා ඇහෙන කාලෙක ඔබත් ගීත ජනප්‍රිය කරගන්න සල්ලි විසි කරනවද..?

මෙහෙමයි. මගේ ගීත මම සල්ලි දීලා ප්‍රචාරය කළේ නැහැ. මම හැමෝත් එක්කම සුහදයි. අනෙක ගුවන් විදුලිය, රූපවාහිනිය හෝ රජයේ මාධ්‍ය ආයතන හෝ වේවා කලාකරුවකුට ඒ නිසි තැන දෙන්න ඕන. කලාකරුවා ගීතයක් නිර්මාණය කරලා ආයතනයකට භාර දුන්නාම එයාලා අපෙන් මුදල් ඉල්ලනවා නම් ඒ තරම් නරක ක්‍රියාවක් නැහැ ඇත්තටම. මොකද ඒ අය දිනන්නෙත් අපි සිංදු කිව්වොත් තමයි. එයාලට සේවයක් වෙනවා වගේම අපේ ගීත ප්‍රචාරය කළොත් අපිටත් සේවයක් වෙනවා.

ප්‍රසංග වේදිකාවෙන් ඔබට ලොකු තැනක් ලැබිලා තියෙනවා නේද..?

ඇත්තටම ඔව්. ගොඩාක් ප්‍රසංග නැති වුණත් තියෙන ප්‍රසංගවලට මට ඉල්ලුම තියෙනවා.

පෞද්ගලික ජීවිතය ගැනත් කතා කරමු?

මගෙ බිරිය මංගලිකා හෙට්ටිආරච්චි. දුව ළිහිණි හෙට්ටිආරච්චි, පුතා ගයන හෙට්ටිආරච්චි. ඇත්තටම එයාලගෙන් ලැබෙන සහාය ගොඩාක් හොඳයි. මොකද මගේ හැමදේකටම මට උදව්වෙනවා මේ තුන්දෙනාම. ඉතින් අපි සතුටින් ඉන්නවා.

සංගීත ජීවිතයේ වැඩ කටයුතුවලට කාර්යබහුල වෙද්දී සැමියෙක් පියෙක් විදියට වගකීම් මඟහැරෙන්නේ නැද්ද..?

මම මගේ වගකීම් ඉෂ්ට කරනවා. මම ඒ අයව කඩේටවත් යවන්නේ නැහැ. අවශ්‍ය හැමදේම මම කොහොම හරි කරනවා.

කලා ශිල්පීන් තම දරුවන්වත් ක්ෂේත්‍රයට ගේනවා. ඔබත් දරුවන්ව ක්ෂේත්‍රයට ගේන්න හදනවා වගේ..?

මම කියන්නේ නෑ මගේ දරුවෝ සිංදු කියන්නම ඕන කියලා. නමුත් මගෙ දරුවො දෙන්නා සිංදු කියනවා. හැබැයි එයාලා තෝරගන්න ඕනේ සිංදු කියනවද රැකියාවක් කරනවද කියන එක. එයාලට ඕනේ නම් මගේ ගීත ගායනා කරන්න පුළුවන්. ඒ වගේම අපිත් උදව් කරනවා නව නිර්මාණ කරන්න. මොකද අපේ ගීත කියලම එන්න ඕනෙ නැහැ.

ඔබේ දුව නම් පසුගිය කාලේ එළියට බැස්සා. ඒත් පුතාව දැක්කේ නැහැ. ඔහු සංගීතයට කැමැත්තක් නැද්ද..?

ඔහුත් ගීත ගායනා කරනවා. තාම එළියට ආවේ නැහැ. එයාත් එළියට එයි අනිවාර්යෙන්ම. දුව නම් ගීත ගායනා කරනවා. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නෙ කියලා.

-ලක්ෂිකා දිව්‍යාංජලි වීරකෝන්_මව්බිම

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "මම එකතැන පල් වෙන්න කැමැති නැහැ "

    Post a Comment