25 February, 2017

හිට්ලර්ගෙන් පසුව නරකම දවස්

soliders-aginst-women

ක්ෂමා සංවිධානයේ වාර්තාව කියයි...

මියන්මාරයේ සිට ප්‍රංශය දක්වා ලොව රටවල් 159 ක සිවිල් නිදහස උල්ලංඝනය වී ඇති අයුරු පෙන්වාදෙමින් ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය හෙවත් ඇම්නස්ටි ඉන්ටර්නැෂල් හි 2016 වර්ෂය සඳහා වන වාර්ෂික වාර්තාව නිකුත් විය. එවැනි බොහෝ තත්ත්වයන්ට ආයතනික විරෝධී දේශපාලනඥයන් වගකිවයුතු බව ඉන් පෙන්වා දේ. අමෙරිකා නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, මෙන්ම තුර්කි, හං‍ගේරියානු සහ පිලිපීන නායකයන්ගේ නම් ද එහි සඳහන් කර ඇත. පිටු 40 කින් යුතු එම වාර්ෂික වාර්තාව අවධාරණය කරන පරිදි 2016 වසර, ඇ‍ඩොල්ෆ් හිට්ලර් බලයට පත්වූ 1930 වර්ෂයෙන් පසු මානව හිමිකම් සම්බන්ධයෙන් උදා වූ අභාග්‍යසම්පන්න වසරකි.

ඇම්නස්ටි ඉන්ටර්නැෂනල් හි මහ ලේකම් ෂලීල් ෂෙට්ටි පෙන්වා දෙන්නේ නව ලෝක රටාව තුළ මානව හිමිකම් යනු ජාතික අභිලාෂයන්ට එරෙහි බාධකයක් ලෙස සලකා ක්‍රියාකරන බවය. මේ පසුබිම මනුෂ්‍යත්වය සම්බන්ධයෙන් සලකනවිට අඳුරු කාලසීමාවක් උදාකිරීමට හේතුවී තිබේ.

ජනාධිපති ට්‍රම්ප් සිය මැතිවරණ ව්‍යාපාරය තුළ උපයෝගීකරගත් වදන් විෂසහිත ඒවා බවද එය සඳහන් කරන්නේ හංගේරියා අගමැති වික්ටර් ධර්බාන්, තුර්කි ජනාධිපති එර්ඩොගාස් සහ පිලිපීන ජනාධිපති රොඩ්‍රිගෝඔටරෙට් ද විෂසහිත න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කරමින් සිටිතැයි චෝදනා නඟමිනි.

මේ තත්ත්වය වඩාත් බෙදුණු මෙන්ම අන්තරාදායක ලෝකයක් බිහිවීමට බලපා ඇති බව ඇම්නස්ටි ජාත්‍යන්තරයේ අදහසය. ඇතැම් මිනිසුන් අන් අයට වඩා පහත් අය යන අන්තරාදායක අදහස ලජ්ජාවකින් තොරව ඉදිරිපත් වෙමින් පවතී . එය සමාජගත කිරීමේ වගකීම පැවරෙන්නේද දේශපාලනඥයන්ටමය .

සංක්‍රමණිකයන් මුහුණ දී සිටින තත්ත්වය ගැනද වාර්තාවෙන‍් පෙන්වා දී ඇත. සරණාගතයන් සහ සංක්‍රමණිකයන් ආපසු හරවා එවීමට රටවල් බොහොමයක් කටයුතු කරයි. නීතියට පටහැණි අන්දමින් ඔවුන් හරවා එවන රටවල් 36ක් සංක්‍රමණිකයන්ගේ සහ සරණාගතයන‍ගේ අයිතීන් අනතුරේ හෙළා ඇති බවද වාර්තාවෙන් පෙන්වා දී තිබේ. ජනාධිපති ට්‍රම්ප් පසුගියදා අත්සන් කළ විධායකය නියෝගය ද මෙහිදී අවධානයට ලක්ව ඇත.

ජනතාවගේ අයිතීන් වෙනුවෙන් අරගල කිරීම වෙනුවට බොහෝ නායකයන් මානුෂීය විරෝධී න්‍යායපත්‍රයක් අනුගමනය කරමින් ‍දේශපාලනික පැවැත්ම කෙරෙහි උනන්දුවන බවටද ඇම්නස්ටි ජාත්‍යන්තරය සිය වාර්ෂික වාර්තාව මඟින් චෝදනා කර සිටී. ආර්ථික සහ සමාජයීය අයිතීන් තහවුරු කිරීමට ඔවුන්ට නොහැකිවී තිබේ.

ගෝලීය දේශපාලනය හැසිරී ඇති ආකාරය විමසනවිට 2016 වසරේදී මනුෂ්‍යත්වයට අත්වී ඇති ඉරණම කනගාටුදායකය. මෙහිදි දේශපාලනඥයන් ක්‍රියාකර ඇත්තේ ලජ්ජාවකින් තොරවය.

සමාන අයිතීන් සහිත මනුෂ්‍යයන් ලෙස සැලකීමට වඩා ජාතිය, ආගම, ස්ත්‍රී - පුරුෂභාවය ආදිය මත පදම්ව කටයුතු කිරීමට ලෝකය වැඩි නැඹුරුවක් දක්වමින් සිටී.

සිරියාව, යේමනය, ලිබියාව, ඇෆ්ගනිස්තානය, මධ්‍යම අමෙරිකාව, මධ්‍යම අප්‍රිකානු ජනරජය, බුරුන්ඩි, ඉරානය, දකුණු සුඩානය සහ සුඩානය වැනි තැන්වල ගැටුම්කාරී අර්බුද දිග්ගැස්සෙමින් තිබේ. 2016 වසරේදී අවම වශයෙන් රටවල් 23ක යුද අපරාධ වාර්තාවූ බවද ඉන් පෙන්වා දී ඇත. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය පවා එහි නිත්‍ය සාමාජික රටවල් අතර ඇති ප්‍රතිරෝධතා ‍හේතුවෙන් මේ පිළිබඳ ක්‍රියා කිරීමේදී සතුටුදායක මැදිහත්වීමක් කිරීමට අපොහොසත්ව සිටී.

2017 වර්ෂය ආරම්භයත් සමඟ ලොව බලවත් රටවල් සිය ජාතික අභිලාෂයන් පිළිබඳ දක්වන සැලකිල්ල තියුණු වී ඇති පසුබිමක වඩා බිහිසුණු ලෝකයක් නිර්මාණය වෙමින් ඇති බව ඇම්නස්ටි ජාත්‍යන්තරයේ අදහසය.

සිරියාවේ අලෙප්පෝ නුවර පවතින තත්ත්වය පිලිපීනයේ මත්ද්‍රව්‍ය විරෝධී සංග්‍රාමය, චර්ෆුර්හිදී රසායනික අවි භාවිත වෙමින් තිබීම වැනි කාරණා ගැනද එම වාර්තාව විශේෂයෙන් සඳහන් කර තිබේ.

ඇම්නස්ටි වාර්ෂික වාර්තාව මඟින් මතුකර ඇති කාරණා ගැන ධවල මන්දිරය මෙතෙක් ප්‍රතිචාර දක්වා නැත. එක්සත් රාජධානියට වාර්තා මඟින් එල්ලවී ඇත්තේ විවේචනයකි. ගෝලීය සරණාගත අර්බුදය සම්බන්ධයෙන් ඔවුන්ගේ ක්‍රියා පිළිවෙත ඉන් දෝෂදර්ශනයට ලක්කර ඇත.

2016 වසරේදී මානම හිමිකම් කඩවීම් ලෙස වාර්තාවූ රටවල් අතර බංග්ලාදේශය, තායිලන්තය, හොන්ඩියුරාස් හ මියන්මාරයද ඇත.

ලන්ඩනය කේන්ද්‍රකොටගත් ඇම්නස්ටි ජාත්‍යන්තරය සිය වාර්තාව එළිදැක්වූයේ පැරීසියේදීය. ප්‍රංශය මුස්ලිම් ජාතිකයන් කෙරෙහි අනුගමනය කරන පිළිවෙතද ඉන් විවේචනය කර තිබේ. විරෝධතාකරුවන් 140 ක් නිවාස අඩස්සියේ තැබීමට හෝ ඔවුන්ට තහංචි පැනවීමට ප්‍රංශය පියවරගෙන ඇති බවද වාර්තා පෙන්වා දී ඇත.

මූලික මිනිස් අයිතිවාසිකම් සම්බන්ධයෙන් ලොව බොහෝ රටවල් අනුගමනය කරන පිළිවෙත ගැන සතුටු විය නොහැකිය. සෙසු රටවල මානව හිමිකම් උල්ලංඝනය වීම ගැන උස්හඬින් කතා කරන බලවත් රටවල මානව හිමිකම් වාර්තාවද ඊටත් වඩා අයහපත් එකක් බවට ඇම්නස්ටි වාර්තාව සාක්ෂි දරයි.

ඇම්නස්ටි ජාත්‍යන්තරය 2016 වාර්ෂික වාර්තාව මඟින් මානව හිමිකම් පිළිබඳ තත්ත්වය අළලා වත්මන් ප්‍රවණතා මෙන්ම පුරෝකථනයක්ද කරමින් ප්‍රධාන කාරණා 7ක් මතු කරයි.

රටවල් 1/5 ක පමණ සන්නද්ධ කණ්ඩායම්වල ක්‍රියාකාරිත්වය ඉන් එකකි. යුදායුධ වෙළෙඳාම තවත් කාරණයකි. ඉරාකය, ඊශ්‍රායලය, රුසියාව, දකුණු සූඩානය සහ සිරියාව යන රටවලට විශාල වශයෙන් අවි ආයුධ අලෙවි වී තිබේ. ජනාකීර්ණ ප්‍රදේශවලදී විශාල පිපුරුමක් ඇතිකරන අවි භාවිතය ගණනය කළ නොහැකි තරම් සිවිල් ජීවිත විනාශවීමට හේතුවක් වීම තවත් කාරණයක් ලෙස එහි සඳහන් ය.

ඉරානය, සෞදි අරාබිය, ඊජිප්තුව මෙන්ම තවත් රටවල අත්අඩංගුවට ගන්නා ඇතැම් ක්‍රියාකාරීන්ට හිංසාකාරී ලෙස සැලකීම, ඔවුන් අතුරුදහන්වීමද බොහෝ ආණ්ඩු උද්ඝෝෂණ වැනි ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් අනුගමනය කරන ප්‍රතිරෝධී පිළිවෙත ගැනද වාර්තාවෙන් අවධානය යොමුකර තිබේ. ඊජිප්තුව එක්සත් අරාබි එමීර් රාජ්‍ය, ක්වේටය ඉරානය වැනි රටවල් කෙරෙහි වාර්තාවෙන් අවධානය යොමු කරයි. ඉරානයේ ජනමාධ්‍යවේදීන්, ශිෂ්‍ය ක්‍රියාකාරීන් සහ කාන්තා අයිතීන් පිළිබඳ හඬ‍නඟන ක්‍රියාකාරිණියක් අත්අඩංගුවේ සිටින බවද වාර්තාවේ සඳහන්ය.

සිරියානු සරණාගතයන්ගෙන් 95% කටම රැකවරණ ලබාදී ඇත්තේ රටවල් 5ක් පමණක් බවද වාර්තාවෙන් පෙන්වා දී ඇත.

සිරියාවේ පවතින ගැටුම් හේතුවෙන් සිවිල් වැසියන් 190,000ක් මිය ගොස් දසලක්ෂ සංඛ්‍යාත පිරිසක් සරණාගතයන් බවට පත්වුවද එ. ජා. ආරක්ෂක මණ්ඩලය අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට අපොහොසත් ව සිටින බවද වාර්තාව තවදුරටත් පෙන්වාදී ඇති කාරණයකි. සිරියාවේ පමණක් නොව ඉරාකයේ ගාසා තීරයේ සහ ඊශ්‍රායලයේ තත්ත්වය පිළිබඳ ආරක්ෂක මණ්ඩලය ක්‍රියාත්මක වී නැත.

2016 වර්ෂය සඳහා වූ ඇම්නස්ටි ජාත්‍යන්තරයේ මෙම මානව හිමිකම් වාර්තාව මනුෂ්‍යත්වය මැන බැලීම පිළිබඳ දර්ශකයක් ලෙස සලකන්නේ නම් ලෝකය සිටින්නේ සතුටුවිය හැකි තැනක නොවන බව ඉතා පැහැදිලිය. මානව හිමිකම් ගැන බොහෝ රටවලට ඇත්තේ දෙබිඩි කියැවීමක් බවද ඉන් ගම්‍ය වේ. සෑම වර්ෂයකට නිකුත් වන මෙම වාර්තාවෙන් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග ගැනද යෝජනා කරතත් තත්ත්වය වඩා අයහපත් අතට හැරීම මිස ප්‍රගතියක් ඇතිවී නැත.

මිනිස්කමට ගරු කරන්නැයි උස් හඬින් කෑ ගසා කියද්දී කන් වසා සිටින, නොමිනිස්කමට එරෙහිවන්නැයි අතදිගු කර පෙන්වද්දී ඇස් වසා සිටින ලෝක රටාවක් අප ඉදිරිපිට තිබේ. ඛේදවාචකයේ තරම කෙතරම් දැයි 2017 වාර්ෂික වාර්තාව නිකුත් වූ විට ලෝකයට තවත් දැනෙනු ඇත.

-ධම්මික සෙනෙවිරත්න_දිනමිණ

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "හිට්ලර්ගෙන් පසුව නරකම දවස්"

    Post a Comment